11. පූතිමංස ජාතකය (437)
න ඛො මෙ රුච්චති යන මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම්හි වාසය කරන්නේ ඉඳුරන්ගේ සංවරණය අරබයා දේශනා කළ සේක. එක් සමයෙක්හි බොහෝ භික්‍ෂූහු ඉඳුරන්හි නොරක්නා ලද දොරටු ඇත්තෝ වූහ. බුදුරජු මේ භික්‍ෂූන්ට අවවාද කරන්නට වටනේයයි ආනන්‍ද තෙරුන්ට කියා නියම වශයෙන් නොව භික්‍ෂු සංඝයා රැස්කරවා අලංකාර කරන ලද උතුම් පළඟ මැද වැඩසිටි සේක් භික්‍ෂූන් අමතා මහණෙනි, භික්‍ෂුව විසින් රූපාදී අරමුණුවල ශුභ වශයෙන් නිමිති ගැනීමට නුසුදුසුය. ඉදින් එකල්හි කළුරිය කෙරේද නිරය ආදියෙහි උපදී. එහෙයින් රූපාදීන්හි සුභනිමිති නොගනිවු. භික්‍ෂුව විසින් රූපාදිය ගොදුරුකර ගන්නෙකු නොවිය යුතුය. රූපාදිය ගොදුරු කරගන්නාහු මෙලොව මහා විනාශයකට පත් වෙති. එහෙයින් මහණෙනි, කෙළෙස් හා වැකුණු චක්ඛු ඉන්‍ද්‍රියය රත්වූ යකඩ කැබැල්ලක් සේ ගැනීම උතුම්ය. ආදීන් විස්තර කර තෙපි රූපය බලන වේලාවක්ද ඇත. නොබලන වේලාවක්ද ඇත. බලන කල්හි ශුභ වශයෙන් නොබලා අශුභ වශයෙන් බලව්. මෙසේ තමන්ගේ ගොදුරු නොපිරිහෙළව්. තොපට කවරක් නම් ගොදුරු වේද? සතර සතිපට්ඨානයෝය. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. නවලෝකෝත්තර ධර්මයෝය. මේ ගොදුරෙහි හැසිරෙන්නා වූ ඔබලා මරුගේ බැස ගැන්මක් නොබලයි. ඉදින් කෙලෙස් වසඟ වූවෝ වී ශුභ නිමිති වශයෙන් බලව්ද පූතිමංස (කුණු වූ මස් බුදින) සිවලා මෙන් තම ගොදුරෙන් පිරිහෙලව් යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි හිමවත පෙදෙසෙහි වනයෙහි පර්වත ගුහාවෙක නොයෙක් සියගණන් එළුවෝ වෙසෙති. ඔවුන් වසන තැනින් නුදුරෙහි එක් ගුහාවක පූතිමංස නම් සිවලෙක් වේණි නම් වූ බිරිඳ සමග වසයි. හෙතෙම එක් දවසක් බිරිඳ සමග හැසිරෙන්නේ ඒ එළුවන් දැක එක් උපායකින් මොවුන්ගේ මස් කෑමට වටනේ යයි සිතා උපක්‍රමයෙන් එක් එක් එළුවෙකු මැරීය. ඒ දෙදෙනාම එළුමස් කන්නාහු බලසම්පන්න වූවාහු මහත් වූ ශරීර ඇත්තාහු වූහ. පිළිවෙලින් එළුවෝ ක්‍ෂයවීමට ගියාහුය. ඔවුන් අතර දක්‍ෂ වූ උපායෙහි බුහුටි වූ ‘මෙළමාතා’ නම් එළිස්සියක් වූවාය. සිවලා ඇය මරන්නට නොහැකි වන්නේ එක් දවසක් බිරිඳ සමග කථාබහ කරනුයේ සොඳුර, එළුවෝ ක්‍ෂය වූවාහ. මේ එළිස්සිය එක් උපායකින් කන්නට වටනේය. එහිලා මේ උපායයි. නුඹ හුදකලාව ගොස් ඇය සමග යෙහෙළියක වෙහි. ඉක්බිති ඇය සමග විශ්වාසය උපන් කල්හි මම මළවූවෙකු මෙන් වැදහොවින්නෙම්. ඔබ ඇය වෙත එළඹ එළිස්සියෙනි, මගේ සැමියා මළේය. මම අනාථ වූයෙමි. ඔහු හැර අන් නෑයෙක් මට නැත. එවයි හඬා වැළපී ඔහුගේ ශරීරකෘත්‍යය කරමු යයි කියා ඇය ගෙන එන්නේය යයි. ඉක්බිති මම ඇය වෙත පැන බෙල්ලෙහි සපා කා මරන්නෙමියි.
ඇය ‘මැනවයි’ පිළිගෙන ඇය සමග යහළු බව කොට විශ්වාසය උපන් කල්හි එළිස්සියට එසේ කීවාය. එළිස්සිය යෙහෙළියනි, ඔබගේ සැමියා විසින් මගේ සියළු නෑයෝ කන ලදහ. බිය වෙමි. යන්නට නොහැක්කෙමැයි කීය. යෙහෙළිය බිය නොවව. මියගිය තැනැත්තේ කුමක් කරන්නේදැයි කීවාය. තොපගේ සැමියා රළු පැවැත්ම ඇතියෙක. මම බියවෙමියි කීය. ඇය මෙසේ කියාද ඇය විසින් නැවත නැවතත් අයදිනු ලබන්නී ඒකාන්තයෙන් මියගියේ වන්නේ යයි පිළිගෙන ඇය සමග පිටත්වීය. යන්නීද කවරක් දනීද කුමක් වන්නේදැයි ඇය කෙරෙහි සැකයෙන් සිවලිය පෙරටු කර සිවලා පරීක්‍ෂා කරන්නීම යයි. සිවලා ඇයගේ පා ශබ්දය අසා එළිස්සිය ආවාමය යි හිස ඔසවා ඇස් පෙරලා බැලීය. එළිස්සිය ඔහු දැක පවිටු ස්වභාව ඇති මැය මා රවටා මා මරනු කැමැත්තේ මළ සෙයක් දක්වා හොත්තේ යයි ආපසු හැරී පලා යන්නී, සිවලිය විසින් කුමක් හෙයින් පලා යන්නෙහි දැයි කී කල්හි ඒ කරුණ කියන්නේ පළමු ගාථාව කීය.
න ඛො මෙ රුච්චති ආළි - පූතිමංසස්ස පෙක්ඛණ,
එතාදිසා සඞ්ඛාරස්මා - ආරකා පරිවජ්ජයෙ