12. තිත්තිර ජාතකය (438)
යො තෙ පුත්තකෙ යන මේ ගාථාව බුදුරජාණන් වහන්සේ ගිජුකුළු පව්වෙහි වාසය කරන සේක් දේවදත් තෙරුන්ගේ (තමන් වහන්සේ) මරණු පිණිස උත්සාහ කිරිම අරබයා දේශනා කළ සේක. එසමයෙහි දම්සභාවෙහි කථාවක් උපදවාලූහ. ඇවැත්නි, දෙව්දත් තෙමේ ලජ්ජා රහිතය. ලාමකය. මෙසේ උතුම් ගුණ දරන්නා වූ සම්මා සම්බුදු රදුන්ට අජාසත් සමග එක්වී ධනුර්ධයන් යෙදවීම, ගල්විදීම නාලාගිරි මෙහෙයවීම ආදියෙන් නස්නට උපාය කරයි යි යනුයි. බුදුරජු අවුත් මහණෙනි, කිනම් කථාවකින් මෙහි හුන්නහු දැයි විමසා ‘මෙනම් වූවකනැයි’ කී කල්හි මහණෙනි, දෙව්දත් මා නැසීම පිණිස උත්සාහී වූයේ දැන් පමණක් නොවේ. පෙරද උත්සාහී වූයේ ය. දැන් වනාහි මට තැති ගැනීම් පමණද කරන්නට නොහැකි යයි වදාරා අතීත ප්‍රවාත්තිය ගෙනහැර පෑය.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි එක් දිසාමොක් ආචාර්ය කෙනෙක් පන්සියයක් මානවකයන්ට ශිල්ප උගන්වනුයේ එක් දිනයක මෙසේ සිතුවේය. මෙහි වසන්නා වූ මට බාධා වෙයි. මානවකයන්ගේද ශිල්ප නොනිමවෙයි. හිමවත පෙදෙසෙහි වනගතයට පිවිස එහි වසන්නේ උගන්වමි යනුවෙනි. හෙතෙම මානවකයනට කියා තල සහල් තෙල් වස්ත්‍ර ආදින් ගෙන්වාගෙන වනයට පිවිස මාර්ගයෙන් නුදුරු තන්හි පන්සලක් කරවා වාසය කෙළේය. මානවයෝද තමාගේ පන්සල කළාහුය. මානවකයන්ගේ ඤාතීහු සහල් ආදිය එවත්. තමාගේ රටවාසීහුද දිසාපාමොක් ආචාර්ය තෙමේ වනයෙහි අසවල් තැන වසන්නේ ශිල්ප උගන්වයි යයි ඔහුට සහල් ආදිය ගෙන යත්. කාන්තාරයට පිළිපන්නාහුද දෙත්. එක්තරා පුරුෂයෙක් කිරිබීම සඳහා වසුපැටියා සහිත දෙනක්ද දුන්නේය. ආචාර්යයන්ගේ පන්සල සමීපයෙහි පැටවුන් දෙදෙනෙකු සමග එක් තලගොයෙක් වසයි. සිංහ ව්‍යාඝ්‍රයෝද ඔහුට උපස්ථාන පිණිස පැමිණෙත්. එක් වටුවෙක්ද එහි නිතර වසන්නේ වීය. ඔහු මානවකයන්ට මන්ත්‍ර උගන්වන්නා වූ ආචාර්යයන්ට ඇහුම්කන් දී වේද තුනම උගත්තේය. මානවකයෝ ඔහු සමග ඉතා විශ්වාසනීය වූහ.
මෑත කාලයෙහි මානවකයන් (ඉගෙනුමෙහි) නිමාවට නොගිය කල්හිම ආචාර්ය තෙමේ කළුරිය කළේය. මානවකයෝ ඔහුගේ සිරුර දවා වැලිවලින් ස්ථූපයක් කර නොයෙක් මල්වලින් පුදා හඩත් වැළපෙත්. ඉක්බිති තිත්වටුවා කුමක් හෙයින් හඬව්දැයි කීය. අපගේ ආචාර්යවරයා ශිල්පයන් නොනිමි කල්හිම කළුරිය කළේය. එහෙයින් හඬමු යයි කීහ. මෙසේ ඇතිකල්හි (නපුරක්) නොසිතව. මම තොපට ශිල්පය උගන්වමියි කීය. තෝ කෙසේ දන්නෙහිදයි. මම ආචාර්යයන් තොපට කියවන කල්හි අසාම තුන්වේදයන් ප්‍රගුණ කළෙමි යයි කීය. එසේ නම් තමාගේ ප්‍රගුණ අපට දක්වවයි. තිත්වටුවා එසේ නම් අසව් යැයි ඔවුන්ගේ ගැටළු සහිත තැන් පර්වත මුදුනෙන් නදියක් බසින්නාක් මෙන් පැහැදිලි කළේය. මානවකයෝ තුටුපහටු වී තිත්වටු පඩුවා සමීපයෙහි ශිල්පය පිහිටුවාලූහ. ඔහු ද දිසාපාමොක් ආචාර්යයන්ගේ තැනෙහි සිට ඔවුන්ට ශිල්පය කියවීය. මානවකයෝ ඔහුම රන් කූඩුවක් කර මත්තෙහි වියනක් බැඳ රන්තැටියෙහි මී විළඳ ආදිය එළවන්නාහු නොයෙක් පැහැ ඇති මල්වලින් පුදන්නාහු මහත් සත්කාර කළහ. තිත්වටුවා වනගතයෙහි පන්සියයක් මානවකයන්ට මන්ත්‍ර කියවයි යයි සියළු දඹදිව ප්‍රකට වීය.