8. චක්කවාක ජාතකය (434)
කාසාය වත්ථෙ යන මේ ගාථාව ශාස්තෘන් වහන්සේ දෙව්රම්හි වාසය කරන සේක් එක් ලෝභී භික්ෂුවක අරබයා දේශනා කළ සේක. හෙතෙම වනාහි ලෝභී වූයේය. ආහාරයෙහි ලොල් වීය. ආචාර්ය උපාධ්යායයන් පිළිබඳ වත් ආදිය හැර උදෑසනම සැවතට පිවිස විශාඛාවගේ නිවසෙහි නොයෙක් කැවිලි සහිතව කැඳ බී නොයෙක් අග රසයෙන් යුත් හැල් මාංශ බොජුන් අනුභව කර ඉන් තෘප්තිමත් නොවූයේ එතැනින් සුළු අනේපිඬු සිටාණන්ගේද මහ අනේපිඬු සිටාණන්ගේද කොසොල් රජුගේදැයි ඔවුන් ඔවුන්ගේ නිවෙස් සඳහා හැසිරෙයි. ඉක්බිති එක් දවසක් ඔහුගේ ලෝභී බව අරබයා දම්සභා මණ්ඩපයෙහි කථාවක් උපදවාලූහ. ශාස්තෘන්වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් කථාවකින් යුක්තව හුන්නාහුදැයි විමසා මෙනම් වූවකැයි කී කල්හි ඒ භික්ෂුව කැඳවා “තෙපි ලෝභීය යනු ඇත්තදැයි” විමසා “ස්වාමීනි, සත්යය”යි කී කල්හි “මහණ කුමක් ලොල් වෙහිද? තොප පෙර ලොල් බව නිසා බරණැස ඇතුන්ගේ මළසිරුරු ආදියෙන් අතෘප්තිමත් වූයේ ඉන් නික්මී ගංගා නදී තෙර හැසිරෙන්නේ හිමවතට පිවිසියේ යයි කියා අතීත ප්රවෘත්තිය ගෙනහැර පෑ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්රහ්මදත්ත රජු රාජ්යය කරවන කල්හි එක් ලෝභී කවුඩෙක් බරණැස් නුවර ඇත් මළසිරුරු ආදිය කා හැසිරෙන්නේ ඉන් තෘප්තිමත් නොවූයේ ගංගා තීරයෙහි මසුන් කමියි කියා එහි මළ මසුන් කන්නේ කිහිප දිනක් වැස හිමවතට පිවිස නන් වැදෑරුම් ලොකු කුඩා ගෙඩි කන්නේ බොහෝ මසුන් කැසුබුවන් ඇති මහත් වූ පියුම් විලකට පැමිණ එහි රන්වන් වූ සක්වා ලිහිණියන් දෙදෙනෙකු සෙවෙල් කා වසන්නවුන් දැක මොවුහු අතිශයින් වර්ණවත් වූවාහු වෙති. ඉතා දර්ශනීය වෙති. මොවුන්ගේ බොජුන් ප්රියමනාප වන්නේය. මොවුන්ගේ ආහාරය විමසා මමද එයම අනුභව කර රන්වන් වන්නෙමියි සිතා ඔවුන්ගේ සමීපයට ගොස් පිළිසඳර කථාකොට එක් අතු කෙළවරක සිට ඔවුන්ට පැසසීම් මිශ්රකොට පළමු ගාථාව කීය.
කාසාය වත්ථෙ සකුණෙ වදාමි- දුවෙ දුවෙ නන්දිමනෙ චරන්තෙ,
කං අණ්ඩජං අණ්ඩජා මානුසෙසු- ජාතිං පසසන්ති තදිඞ්ග බ්රෑථාති
කං අණ්ඩජං අණ්ඩජා මානුසෙසු- ජාතිං පසසන්ති තදිඞ්ග බ්රෑථාති
1. කසාවත් හැඳගත්තවුන් වැනි යුගල යුගලවැ සතුටු සිතින් හැසිරෙන කුරුල්ලනි (ඔබට) කියමි. කුරුල්ලනි මිනිසුන් අතර කවර කුරුල්ලෙකැයි ඔබගේ ජාතිය පසසත්දැයි කියව.
එහි කාසාය වත්ථ යනු රන්වන් වූ කහට වස්ත්රයන් හැඳගත්තවුන් මෙන්. දුවෙ දුවෙ යනු යුගල යුගලවැ. නන්දිමනෙ යනු සතුටු සිත් ඇතිවැ. කං අණ්ඩජං අණ්ඩජා මනුස්සෙසු ජාති පසංසන්ති යනු එම්බා කුරුල්ලනි, මිනිස්සු අතර තෙපි ප්රසංසා කරන්නාහු කං අණ්ඩජං කවර නම් පක්ෂියෙකැයි කියා පසංසන්ති. කවර කුරුල්ලෙකැයි කියා මිනිසුන් අතර වර්ණනා කරත් දැයි අර්ථයි. කං අණ්ඩජං අණ්ඩජ මානුසෙසු යනුද පෙළයි. එහි අර්ථය - තෙපි කුරුල්ලන් අතරෙහිද මිනිසුන් අතරෙහිද කිනම් කුරුල්ලෙකැයි ප්රශංසා කරත්දැයි.
ඒ අසා සක්වාලිහිණියා දෙවන ගාථාව කීය.
2. මිනිසුන්ට හිංසා කරන තැනැත්ත. ඔවුනොවුන්ට ප්රිය වාසයන් ඇති අපි මිනිසුන් අතර සක්වා ලිහිණියෝ යයි කියති. පක්ෂීන් අතර යහපත් පැවතුම් ඇත්තාහ යයිද සම්මත වූවෝ වෙමු. බිය නැතිව විලෙහි හැසිරෙමු.
එහි මනුස්ස හිංස යනු කපුටා මිනිසුන්ට හිංසා කරයි. පෙළයි. එහෙයින් ඔහුට මෙසේ අමතයි. අනුබ්බතෙ යනු එකට හැසිරෙන්නවුන් ඔවුනොවුන් සතුටු වන්නාහු ප්රිය වූ විසීම් ඇත්තාහු. චක්කවාකෙ යනු ඒ පක්ෂි වර්ගය සක්වාලිහිණි යයි ප්රසංසා කරත්. වර්ණනා කරත්. කියත්. ද්විජයන් අතර යම්තාක් පක්ෂීහු වෙත්නම් ඔවුන් අතර අපි යහපත් පැවතුම් ඇත්තෝයි මිනිසුන් අතර සම්මතයහ. දෙවන විකල්පාර්ථයෙහි අපි මිනිසුන් අතර සක්වාලිහිණියයි කියති. ද්විජයන් අතර අපි යහපත් පැවතුම් ඇත්තේ යයි සම්මතයහ. අපට යහපත් පැවතුම් ඇති පක්ෂීහු යයි කියති. අණ්ණවො යනු මෙතැන්හි විල “අණ්ණව” යයි කියන ලදි. මේ පියුම් විලෙහි අපි දෙදෙනාට අනිකෙකුගේ හිංසා කිරීමක් නොමැති හෙයින් බිය නැත්තා වූ තැනැත්තෝ මෙන් හැසිරෙමුයි අර්ථයි. මේ ගාථාවෙහි සිව්වන පදය න ඝාසහෙතුම්පි කරොම පාපං යනුද කියත්. එහි අර්ථය - යම් හෙයකින් අපි ආහාර හේතුවෙන්ද පවක් නොකරමු. එහෙයින් යහපත් පැවතුම් ඇත්තෝයි. අපි මිනිසුන් අතරද පක්ෂීන් අතරද සම්මත වූවාහු වෙති.
ඒ අසා කපුටා තෙවන ගාථාව කීය.
3. සක්වා ලිහිණියෙනි, තොපගේ බලයද වර්ණයද බොහෝය. අලාමකය. කිම? මේ විලෙහි කවර ගෙඩිවර්ග අනුභව කරන්නෝද, කවරෙකුගෙන් මස් කව්ද? කෙබඳු ආහාරයක් අනුභව කරව්ද?
එහි කිං යනු පිළිවිසීම් වශයෙන් ඇමතීමයි. කිම? එම්බා සක්වා ලිහිණියෙනි යි කියන ලද්දේ වෙයි. අණ්ණවෙ යනු මේ විලෙහි. භුඤ්ජෙ යනු අනුභව කරයි අර්ථයි. මංසං කුතො ඛාදථ යනු කවර ප්රාණීන්ගේ සිරුරින් මස් කව්ද? අනුභව කරව්ද “වො” කාරය නිපාත මාත්රයකි. පෙරපදය හා එහි සම්බන්ධය වේ. බලයද රූපයද බොහෝය යනුයි.