7. ලෝමසකස්සප ජාතකය (433)
අස්ස ඉන්‍ද සමො රාජා යන මේ ගාථාව ශාස්තෘන් වහන්සේ දෙව්රම්හි වාසය කරන සේක් එක්තරා උකටලී වූ භික්‍ෂුවක අරබයා දේශනා කළ සේක. බුදුරජු ඒ භික්‍ෂුවගෙන් ඔබ උකටලී වූයේ සැබවදැයි විමසා සත්‍යයයි කී කල්හි මහණ! මහමෙර සොළවන වාතය කිම පැරණි පත්‍රයන් (කොල) කම්පා නොකරයිද? මේ ක්ලේශයෝ කීර්තිමත් ඇත්තෝද අපකීර්තියට පමුණුවත්. පිරිසිදු සත්වයෝද කිළිටු වූවන් කරත් ඔබ වැන්නවුන් පිළිබඳ කවර කථාදැයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පෑය.
අතීතයෙහි බරණැස රජ වූ බ්‍රහ්මදත්තගේ පුතු බ්‍රහ්මදත්ත කුමාර නම් වී. පුරෝහිතගේ පුත්‍රයා කස්ස්ප නම් වී. (දෙදෙනාම) යහළුවෝ වී එක් ගුරුවරයෙකුගේ නිවෙස්හිදී සියළු ශිල්පය උගත්හ. මෑත කාලයෙහි බ්‍රහ්මදත්ත කුමාරයා පියා ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටියේය. කස්සප මෙසේ සිතීය. මගේ යහළුවා රජවීය. දැන් මට මහත් වූ සම්පත් දෙන්නේය. මට සම්පතින් කවර ප්‍රයෝජනයක්ද? මම මව්පියන්ගෙන්ද රජුගෙන්ද විමසා පැවිදි වන්නෙමැයි. හෙතෙම රජුගෙන්ද මව්පියන්ගෙන්ද විමසා හිමවතට පිවිස තවුස් පැවිද්දෙන් පැවිදි වී සත්වන දවස්හි අභිඥාවන්ද සමාපත්තීන්ද උපදවා පිඬු පිණිස හැසිරීමෙන් යැපෙන්නේ වාසය කෙළේය. පැවිදි වූවහු ලොමසකස්සප යයි හැඳින්වූහ. උත්කර්ෂවත් ලෙස දිනන ලද ඉදුරන් ඇති කර්කෂ තවුස්දම් ඇති තාපසයෙක් වීය. ඔහුගේ තවුස් තෙදින් ශක්‍රභවනය කම්පා වීය. ශක්‍රයා විමසා බලනුයේ ඔහු දැක (මෙසේ) සිතීය. මේ තවුසා අතිශයින් උග්‍ර තේජස් ඇත්තෙකි. මා ශක්‍ර භවනයෙන්ද ගිලිහිය හැක්කෙක. බරණැස් රජු සමග එකතු වී මොහුගේ තපස බිඳින්නෙමියි කියාය. හෙතෙම ශක්‍රානුභාවයෙන් මැදියම් රෑ සමයෙහි බරණැස් රජුගේ සිරියහන් ගැබට ගොස් මුළු සිරියහන් ගැබම ශරීරාලෝකයෙන් බබුළුවා රජු සමීපයෙහි අහස්හි සිටියේ “මහරජ, නැගී සිටුව”යි රජු පුබුදුවාලීය. ඔබ කවරෙක්දැයි කී කල්හි මම ශක්‍රයා වෙමියි කීය. කවර කරුණක් සඳහා ආවෙහිදැයි? මහරජ සියළු දඹදිව එකම රාජ්‍යයක් කොට කැමැත්තෙහිද නොකැමැත්තෙහිදැයි විචාළේය. කවර හෙයකින් නොකැමති වන්නෙම්ද? ඉක්බිති ශක්‍රයා ඔහුට (කියනුයේ) එසේ නම් ලොමස කස්සප තවුසා ගෙන්වා තිරිසනුන් නස්නා යාගය කරවව. ශක්‍රයා හා සමානව අජරාමර වී සියළු දඹදිව රාජ්‍යය කරන්නෙහි යයි කියා පළමු ගාථාව කීය.
අස්ස ඉන්‍දසමො රාජ අච්චන්තං අජරාමරො,
සචෙ තං යඤ්ඤං යාජෙය්‍ය ඉසිං ලොමසකස්සපන්ති
1. ඉදින් රජතුමනි, ලොමස කස්සප තවුසා ලවා පශු ඝාතක යාගය කරවන්නේ නම් ඒකාන්තයෙන් අජරාමර වන්නේය. ශක්‍රයා හා සමාන රජෙක් වන්නෙහිය.
එහි අස්සා යනු වන්නෙහිය. යාජෙය්‍යා යනු ඉදින් ඔබ වන සෙනසුනෙන් ලොමස කස්සපං යනු තවුසා ගෙන්වා යාගය කරන්නෙහි.
රජු ඔහුගේ වචනය අසා මැනවයි පිළිගත්තේය. ශක්‍රයා එසේ නම් ප්‍රමාද නොකරව යි කියා ගියේය. රජු දෙවන දවස්හි සය්හ නම් වූ ඇමතියා කැඳවා යහළුව, මාගේ ප්‍රිය යහළු වූ ලෝමසකස්සප සමීපයට ගොස් මාගේ වචනයෙන් මෙසේ කියව. රජු ඔබ ලවා යාගයක් කරවා සියළු දඹදිව එකම රජු වන්නේය. ඔබතුමන්ටද යම් පමණ පෙදෙසක් කැමති වන්නහු නම් එපමණක් දෙන්නේ යයි. මා සමග යාගය කරන්නට, හෙතෙම “දේවයන් වහන්ස, මැනවයි” තාපසයා වසන ඉසව්ව දැනගනු පිණිස නගරයෙහි බෙර හසුරුවා එක් වනයෙහි හැසිරෙන්නෙකු විසින් “මම දනිමි”යි කී කල්හි ඔහු පෙරටු කොට මහත් පිරිවර සමඟ එහි ගොස් තවුසා වැඳ එකත්පස්ව හුන්නේ එම පණිවුඩය දැන්වීය. ඉක්බිති හෙතෙම ඔහුට “සය්හ ඇමතිතුමනි, මේ කවරක් නම් කියහිදැයි කියා ප්‍රතික්‍ෂේප කරනුයේ ගාථා සතරක් කීය.
2. සය්හ ඇමතිතුමනි, මෙය මෙසේ දනුව. මුහුද සීමාකොට ඇති, මුහුදෙන් වටවූ පොළොව වත් සත්ව ඝාතනයෙන් ලැබෙන නින්දාව සමග (ලබන්නට) නොකැමති වෙමි.
3. බමුණ, අපායට පමුණුවන්නා වූ පැවැත්මෙන් හෝ අධර්ම චර්යාවෙන් හෝ යුත් යම් පැවැත්මක් වේද (ඉන් ලබන) කීර්ති ලාභයටද ධනලාභයද නින්දා වේවා!
4. අධර්මයෙන් යම් සෙවීමක් වේද ඊට වඩා යම් අනගාරිකව, පාත්‍රයක් ගෙන අහර පිණිස හැසිරීමක් වේද ඒ වූම දිවිපැවැත්ම උතුම්ය.
5. අනගාරිකව අන්‍යයන්ට හිංසා නොකර, පාත්‍රයක් ගෙන අහර පිණිස යම් හැසිරීමක් වේද ඒ පැවැත්ම ලොව රජකමට වඩා අගනේයයි.
එහි සසමුද්ද පරියාය යනු මුහුද වටකොට මහිංසාගර කුණ්ඩලං යනු සිව්දිවයින් වටකොට සිටි සාගරයන්ගෙන් කන්වැල්හි තබන ලද කුණ්ඩලාභරණයන්ගෙන් මෙන් යුක්ත වූයේ. සහනින්‍දාය යනු මොහු විසින් සත්ව ඝාතනය කරන ලදැයි යන මේ නින්දාව සමග සක්වළ කෙළවර කොට ඇති මහපොළොව ද නොකැමැත්තෙමියි කියයි. යා වුත්ති විනිපාතෙන යනු නිරයෙහි වැටෙන කර්මයෙන් යම් දිවි පැවැත්මෙක් වේද එයට නින්දා වේවා! ඒ පැවැත්මට ගර්හා කරමි යයි දක්වයි. යා යෙව ජීවිකා යනු පැවිදි වූවහුට මැටි පාත්‍රය ගෙන අනුන්ගේ ගෙවල් වෙත එළඹ අහර සෙවීමේ දිවිපැවැත්මම කීර්ති හා ධන ලාභයට වඩා සිය ගුණයෙන් උතුම්යයි යන අර්ථයි. අපි රජ්ජෙන තං වරං යනු අන්‍යයන් නොපෙළන්නා වූ අනගාරිකයාගේ අහර සොයා යෑම මුළු දඹදිව රාජ්‍යයටද වඩා අගනේය යි අර්ථයි.
ඇමති තෙමේ ඔහුගේ කථාව අසා (රජු වෙත) ගොස් රජුට (ඒ බව) දැන්වීය. රජු ඒ අසා (තවුසා) නොපැමිණෙන කල්හි කුමක් කරන්නට හැකිදැයි (සිතා) නිශ්ශබ්ද වීය. ශක්‍රයා නැවත මධ්‍යම රාත්‍රියෙහි අවුත් අහස්හි සිට මහරජතුමනි, කිම ලෝමක කස්සප තවුසාට අණකර යාගය නොකරන්නෙහිදැයි කීය. පණිවුඩ යවන ලද්දේ නමුත් නොඑයි. මහරජ, එසේනම් තමාගේ දුව වන චන්‍ද්‍රවතී කුමාරිය සරසවා සය්හ සමග යවා ඉදින් පැමිණ යාගය කරන්නෙහි නම් රජු ඔබට මේ කුමරිය දෙන්නේ යයි කියවව. හෙතෙම ඒකාන්තයෙන් කුමරිය පිළිබඳ බැඳුන සිත් ඇත්තේ වී එන්නේය යනුයි. රජු මැනවයි පිළිගෙන දෙවන දවස්හි සය්හ ඇමතියා සමග තම දියණිය යැවීය. ඔහුට දියණිය ගෙන එහි ගොස් තවුසා වැඳ පිළිසඳර කථා කොට දෙවඟනක් හා සමාන වූ රජදුවණිය ඔහුට පෙන්වා එකත්පස්ව සිටියේය. ඉක්බිති ඔහු ඉඳුරන් බිඳ ඇය දෙස බැලීය. බැලීමත් සමගම පිළිබඳ සිත් ඇත්තේ වී ධ්‍යානයෙන් මිදුනේය. ඇමතිතෙමේ ඔහුගේ බැඳුන බව දැන ස්වාමීනි, ඉදින් යාගය යදින්නහු නම් රජු තොපට මැය පාදපරිචාරිකාව කොට දෙන්නේයයි කීය. හෙතෙම කෙලෙස් වශයෙන් කම්පා වන්නේ ‘මැය මට දෙන්නේය’යි කීය. එසේය. යාගය යදින්නහුට දෙන්නේයයි. හෙතෙම මැනවයි මැය ලබන්නේ යාග කරමි යයි කියා ඇය ගෙන ජටාවන් සමගම අලංකාර කරන ලද රියට නැගී බරණැසට ගියේය. රජුද එන්නේලු යයි අසා යාගය සඳහා කරවන වළෙහි කටයුතු ආරම්භ කළේය. ඉක්බිති පැමිණියා වූ ඔහු දැකලාම ඉදින් යාග කරන්නාහු නම් මම ඉන්‍ද්‍රයා හා සමාන වෙමි. යාගය අවසානයෙහි ඔබට දුව දෙමියි කීය. කස්සප තෙමේ මැනවයි පිළිගත්තේය. ඉක්බිති රජු දෙවන දවස්හි ඔහුද ගෙන චන්‍ද්‍රවතියද සමගින්ම යාග වළ වෙත ගියේ එහි ඇත්, අස්, ගොන් ආදී සියළු සිව්පාවෝ පිළිවෙලින් තබන ලද්දෝද වූහ. කස්සප තෙමේ ඒ සියල්ලන් ගණන් කරද නසාද යාගය කරන්නට පටන් ගත්තේය. ඉක්බිති එහි පැමිණි මහජනයා එය දැක ලෝමක කස්සපය, මෙය තොපට නොයුතුය. නුසුදුසුය. මේ කුමක් නම් කරහි දැයි කියා හඬන්නේ ගාථා දෙකක් කීය.