6. පදමානවක ජාතකය (432)
“බහුස්සුතං” යන මේ ගාථාව ශාස්තෘන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වාසය කරන සේක් එක් දරුවෙකු අරබයා දේශනා කළ සේක. සැවැත්නුවර කෙළෙඹි පුතෙකු වූ හෙතෙම සත්වයස් කාලයේදීම පියවර ශාස්ත්රයෙහි දක්ෂයෙක් වීය. ඉක්බිති ඔහුගේ පියා මොහු විමසමියි ඔහුට නොදන්වාම මිතුරෙකුගේ ගෙදරකට ගියේය. හෙතෙම පියා ගිය තැන නොවිමසාම ඔහුගේ පියවර අනුසාරයෙන් ගොස් ඔහු සමීපයෙහි සිටියේය. ඉක්බිති එක්දිනක් පියා ඔහුගෙන් විමසීය. “දරුව, ඔබ මා ඔබට නොදන්වා ගිය කල්හිද කෙසේනම් මා ගිය තැන දන්නෙහි”දැයි “පියාණෙනි, (මම) ඔබගේ පියවර හඳුනමි. මම පියවර ශාස්ත්රයෙහි දක්ෂයෙක්මි” යි කීය. ඉක්බිති ඔහු විමසනු පිණිස (ඔහුගේ) පියා අනුභව කරන ලද උදය ආහාර ඇත්තේ ගෙන් නික්ම ඇතුල්ගම අසල්වැසියෙකුගේ ගෙට ගොස් එතැනින් දෙවන ගෙට ගොස් තෙවන ගෙයින් නික්ම නැවත තමාගේ ගෙදොරට අවුත් එතැනින් උතුරු දොරට ගොස් දොරින් නික්මී නගරය වම්පසට කරන්නේ දෙව්රමට ගොස් බුදුන් වැඳ ධර්මය අසමින් හුන්නේය. දරුව “මගේ පියා කොහිදැ”යි විමසා “නොදනිමු”යයි කී කල්හි ඔහුගේ පියවර අනුසාරයෙන් ඇතුල්ගම අසල්වැසියාගේ ගෙය ආදී කොට පියා ගිය තැන් මගින්ම දෙව්රමට ගොස් පියා වැඳ පියා සමීපයෙහි සිටියේය. පියා විසින්ද “දරුව, මම මෙහි පැමිණි බව කෙසේ නම් දැනගත්තෙහිදැ”යි විමසන ලදුයේ පියවර හැඳින පියවර අනුසාරයෙන් පැමිණියෙම් යයි කීය. බුදුරජ “උපාසකය, කුමක් කියහිදැ”යි විචාරා “ස්වාමීනි, මේ දරුවා පියවර ශාස්ත්රයෙහි දක්ෂයෙක. මම මොහුව විමසන්නේ මේ ක්රමයෙන් පැමිණියේ (වෙමි) මෙතෙමද මා ගෙහි නොදැක මාගේ පියවර අනුවම ආවේ”යයි කී කල්හි “උපාසකය, භූමියෙහි පියවර දැනීම ආශ්චර්යයක් නොවේ. පැරණි පඬුවෝ අහස්හි පියවර හැඳුනුවෝ”යයි පවසා ඔවුන් විසින් ඉල්වන ලද්දේ අතීත ප්රවෘත්තිය ගෙනහැර පෑවේය.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි ඔහුගේ අගමෙහෙසිය වරදවා හැසිර රජු විසින් විමසන ලද්දී “ඉදින් මම ඔබ කෙරෙහි වරදවා හැසිරෙම්ද අශ්වමුව ඇති යක්ෂණියක් වෙමි” යි දිවුරා කළුරිය කලා එක් පර්වතයක් පාමුල අශ්වමුව ඇති යක්ෂණියක වී ලෙන් ගුහාවෙහි වසන්නී මහවනයෙහි පෙරදිගින් අපරදිගට යන මාර්ගයෙහි හැසිරෙන මිනිසුන් ගෙන කන්නීය. ඇය තෙවසරක් වෛශ්රවණයක් රජුට උපස්ථාන කර දිගින් තිස් යොදුන්හිද පළලින් පස් යොදුන්හිද තැන්හි මිනිසුන් කෑමට ලැබුවාය. ඉක්බිති එක් දවසක් ආඪ්ය වූ මහත් ධනය ඇති මනාරූපී බ්රාහ්මණයෙක් බොහෝ මිනිසුන්ගෙන් පිරිවරන ලද්දේ ඒ මගට පිළිපන්නේය. ඒ දැක යක්ෂණිය සිනාසී ඉදිරියට පැන්නීය. පිරිවර මිනිස්සු පලා ගියහ. ඇය වාත වේගයෙන් ගොස් බ්රාහ්මණයා ගෙන පිටින් හොවා ගුහාවට යන්නී පුරුෂ ස්පර්ශය ලබා කෙලෙස් වශයෙන් ඔහු කෙරෙහි සෙනෙහෙ උපදවා ඔහු තමාගේ ස්වාමියා බවට පත් කළේය. ඔවුහු එකිනෙකා එක්ව විසූහ. එතැන් පටන්ද යක්ෂණිය මිනිසුන් ගන්නී, වස්ත්ර සහල් තෙල් ආදියද ගෙන ඔහුට නන් වැදෑරුම් අග්ර රස බොජුන් එළඹවා තමා මිනිස් මස් කයි. (පිටතට) යන කල්හි ඔහුගේ පලායන බියෙන් මහත් වූ ගලකින් ගුහාදොර වසා යයි. මෙසේ ඔවුන් සතුටු සිතින් වසන කල්හි බෝධිසත්වයෝ උපන් තැනින් චුත වී බමුණා නිසා ඇගේ කුසෙහි පිළිසිඳ ගත්හ. ඇය දසමසක් ඇවෑමෙන් පුතෙකු උපදවා පුත්රයා කෙරෙහිද බ්රාහ්මණයා කෙරෙහිද බලවත් සෙනෙහෙ ඇතිවැ දෙදෙනාම පෝෂණය කළාය. ඇය මෑත කාලයෙහි පුතු වැඩුණු කල්හි පියා සමග ඇතුළත කර දොර වසාලයි.
ඉක්බිති එක් දවසක් බෝධිසත්ව තෙමේ ඇය ගිය බව දැන ගල ඉවත් කර පියා පිටතට කළේය. ඇය (පෙරළා) පැමිණ කවරෙකු විසින් ගල ඉවත් කළේදැයි කියා “මෑණියනි, මා විසිනැයි. අඳුරෙහි සිටින්නට නොහැක්කමුයයි ඉවත් කරන ලදි”යි කී කල්හි පුත්ර ස්නේහයෙන් කිසිවක් නොකීවාය. ඉක්බිති එක්දිනයක බෝසත් තෙමේ පියාගෙන් “පියාණෙනි, මගේ මවගේ මුහුණ අන් සෙයකි. ඔබගේ වූ කලී අන් සෙයකි. කරුණු කිමැ”යි විචාළේය. “දරුව, ඔබේ මව මිනිස් මස් කන යක්ෂණියකි. අපි දෙදෙනා මිනිස්සු වෙමු”යි කීය. ඉදින් මෙසේ නම් කුමක් හෙයින් මෙහි වසමුද? එව, මිනිස් වාසස්ථානයකට යමු”යි හේ කීය. “දරුව, ඉදින් පලා යන්නමෝ නම් අප දෙදෙනාම මව මරන්නීය”යි පියා කීය. බෝසත් තෙමේ “පියාණෙනි, බිය නොවන්න. මිනිස් වාසස්ථානයට පැමිණවීම මට භාරය”යි පියා අස්වසා දෙවන දවස්හි මව ගියකල්හි පියා ගෙන පලා ගියේය. යක්ෂණිය පැමිණ ඔවුන් නොදැක වාත වේගයෙන් පැන ඔවුන් ගෙන “බ්රාහ්මණය, කිම පලායෙහිද? තොපට කුමක්නම් මෙහි නැත්දැ”යි කියා “සොඳුර, මා පිළිබඳව කෝප නොවව. ඔබගේ පුතා මා ගෙන යයි” යි කී කල්හි පුත්ර ස්නේහයෙන් කිසිවක් නොකියා ඔවුන් අස්වසා තමා වසන තැනටම ඔවුන් ගෙනගොස් මෙසේ නැවත දින කිහිපයක් පලා යන්නවුන් ගෙන ආවේය.