5. හාරිත ජාතකය (431)
සුතං මෙතං මහා බ්‍රහ්මෙ යන මේ ගාථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් උකටලී වූ භික්‍ෂුවක් අරබයා දේශනා කළ සේක. ඒ භික්‍ෂුව (අබරණින්) සැරසුණ මාගමක් දැක උකටලී වූයේ දික්කොට වවන ලද ලොම් නිය කෙස් ඇතිවැ උපැවිදි වනු කැමතිවැ (සිටිනුයේ) ආචාර්ය උපාධ්‍යායන් විසින් නොකැමැත්තෙන්ම (බුදුන් හමුවට) ගෙන එන ලදි. බුදුරදුන් “භික්‍ෂුව, ඔබ උකටලී වූයේ සැබවදැ” යි විචාළ විට “සැබෑව ස්වාමීනි” යි ඔහු කීවේය. “කුමන කරුණකින්දැ”යි විචාළ විට ‘සැරසුන මාගමක් දැක කෙලෙස් වශයෙන් ස්වාමීනි” යි කී කල්හි “මහණ! කෙලෙස් නම් ගුණ නසන්නෙකි. ආස්වාද රහිතය. නිරයෙහි උපදවන්නේය. මෙම කෙලෙස් තෙමේ කුමන කරුණින් ඔබ නොපෙළන්නේද? මහමෙර පැහැර හමනා වාතය වියලි පත් පිළිබඳව ලජ්ජා නොවේමය. මෙම කෙලෙස් නිසා සත්‍යාවබෝධය සඳහා පිළිවෙත් පුරන්නා වූ පඤ්ච අභිඥා අෂ්ට සමාපත්තීන් ලැබුවා වූ පිරිසිදු මහා පුරුෂයෝද සිහිඑළවා ගැනීමට අපොහොසත් වන්නාහු, (තමා උපදවා ගත්) ධ්‍යානය අතුරුදහන් කරවූවාහු යයි වදාරා අතීත කථා ප්‍රවෘත්තිය ගෙනහැර පෑ සේක.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝසතුන් වහන්සේ එක් නියම් ගමෙක්හි අසූකෙළක් ධන ඇති බ්‍රාහ්මණ කුලයක උපන් සේක. රන්වන් සම් ඇති බැවින් ඔහුට “හරිත්තච කුමාර” යැයි නම් කළාහුය. සුදුසු වයසට පත් හෙතෙම තක්‍ෂිලාවෙහි උගන්නා ලද ශිල්ප ඇත්තෝ කුලය මනාව පිහිටුවා මව්පියන් ඇවෑමෙන් ධනය බැලීම කර “ධනයම පෙනේ. ධන උපදවන්නෝ නොපෙනෙත්. මවිසිනුදු මරු හමුවෙහි සුණුවිසුණු වූවෙක විය හැකියයි මරණ බියෙන් බියපත්ව මහදන් දී හිමවතට පිවිස සෘෂි පැවිද්දෙන් පැවිදි වී සත්වන දවස්හි අභිධ්‍යාවන්ද සමාපත්තීන්ද උපදවා එහි බොහෝ කලක් වනමුල් ගෙඩි ආහාර ඇත්තේ යැපී ලුණු ඇඹුල් සෙව්නා පිණිස පර්වතයෙන් බැස පිළිවෙළින් බරණැසට පැමිණ රජුගේ උයන්හි වැස දෙවන දවස්හි බරණැස් නුවර පිඬු පිණිස හැසිරෙන්නේ රජ දොරටුවට පැමිණියේය. රජු ඔහු දැක පහන් වූ සිත් ඇත්තේ (රජමාලිගයට) කැඳවා ඔසවන ලද සේසත් ඇති රාජාසනයෙහි හිඳුවා නන්වැදෑරුම් අග්‍රභෝජනය අනුභව කරවා අනුමෝදනාව කෙළවර වැඩිදුරටත් පැහැදී “ස්වාමීනි, කොහි යව්” දැයි විමසා “මහරජ, වස් වසන තැනක් සලකා බලන්නමෝ”යි කී කල්හි “යහපතැයි ස්වාමීනි” යයි වළදන ලද උදේ ආහාර ඇත්තේ ඔහු ගෙන උයනට ගොස් උන්වහන්සේට රාත්‍රී ගතකරන ස්ථාන දිවා කාලය ගතකරන ස්ථාන ආදිය කරවා දී උයන්පල්ලා සේවය කරන්නා කොටදී වැඳ නික්මුණේය. මහසත් තෙමේ එතැන් පටන් නිරතුරුව රජගෙයි වළදනුයේ දොළොස් වසක් විසුවේය.
ඉක්බිති රජු එක් දවසක් කිපියා වූ පසල් දනව්වක් සන්සිඳුවන්නට යන්නේ “අපගේ පිංකෙත වූ මහා සත්වයන් පිළිබඳව ප්‍රමාද නොවව්” යයි දේවියට පවරා දී ගියේය. එතැන් පටන් ඇය මහා සත්වයන්ට සිය අතින් වළදවයි. ඉක්බිති එක් දිනයක ඇය බොජුන් සකසා එතුමන් සුනංගුවන කල්හි සුවඳ දියෙන් නා සියුම් මෘදු සළුවක් හැඳ සීමැදුරු කවුලුව විවරකොට සිරුරෙහි සුලං හමවන්නී කුඩා ඇඳෙක්හි හොත්තීය. මහාසත්ව තෙමේද කල්වේලා ඇතිව මනාව හඳනා ලද්දේ මනාව පොරොවන ලද්දේ පිඬුසිඟන භාජනය රැගෙන අහසින් අවුත් සීමැදුරු කවුළුවට පැමිණියේය. දේවිය ඔහුගේ පට්ටාකෙඳිවලින් වියූ වස්ත්‍රයෙහි ශබ්දය අසා වේගයෙන් නැගිටින්නී මෘදු සළුව පහළට වැටුනේය. මහා සත්වයන්ගේ ඇසට වෙනස් වූ අරමුණක් හැපුනේය. ඉක්බිති ඔහුගේ බොහෝ වූ අවුරුදු කෙළසියක් දහස් කල්හි ඇතුලත හුන් කෙලෙස්, කරඬුවෙක්හි නිදන ලද සර්පයෙකු මෙන් නැඟී සිට ධ්‍යානය අතුරුදහන් කරවීය. හෙතෙම සිහිඑළවාලන්ට නොහැකිවන්නේ (වෙතට) ගොස් දේවියගේ අතින් ගත්තේය. එකණෙහිම තිරය අවුරුවාලූහ. හෙතෙම ඇය සමග ලෝකධර්මය සේවනය කර අනුභව කොට උයනට ගොස් එතැන් පටන් දිනපතා එසේම කළේය. ඔහුගේ ඇය සමග ලෝකධර්ම සේවනය නගරයෙහි ප්‍රකට විය. ඇමැත්තෝ “හරිත්තච” තාපසයා මෙසේ කළේයයි රජුට හසුන් යැවූහ. රජු “මා බිඳිනු කැමැත්තෝ මෙසේ කියත්” යයි නොඅදහා පසල් දනව්ව සන්සිඳුවා බරණැසට පෙරළා අවුත් නුවර පැදකුණු කොට දේවිය සමීපයට ගොස් “මගේ ආර්යයන් වූ හරිත්තච තවුස් තෙමේ ඔබ සමග ලෝකධර්ම සේවනයෙහි නිරත වීය යන්න ඇත්ත”දැයි විචාළේය. “දේවයන් වහන්ස, සත්‍යය”යි කීවාය. හෙතෙම ඇයගේද වචන නො අදහා ඔහුම විමසමියි උයනට ගොස් වැඳ එකත්පස්ව හිඳ ඔහු විමසන්නේ පළමු ගාථාව කීය.
සුතං මෙතං මහාබ්‍රහ්මෙ කාමෙ භුඤ්ජති හාරිතො,
කච්චෙතං වචනං තුච්ඡං කච්චි සුද්ධො ඉරියපසීනි
1. මහා බමුණ, හාරිත තවුසා කාම සම්පත් අනුභව කරතැයි මවිසින් අසන ලදි. කිම මේ වචනය හිස්ද? කිම පවිත්‍රව වෙසෙහිද?
එහි කච්චෙතං යනු කිම තෙල හාරිත බමුණු තෙමේ කාමයන් අනුභව කරයි යයි අප විසින් අසන ලද වචනය හිස් වූවක්ද? නොවූවක්ද? කිම ඔබ පිරිසිදුව වාසය කරහිද? යනුයි.
හෙතෙම සිතීය “මේ රජ තෙමේ මම (කාමයන්) අනුභව නොකරමියි කී කල්හි මගේ වචනය අදහන්නේමය. මෙලොව සත්‍යය හා සමාන පිහිටක් (ආධාරයක්) නම් නැත. හරනා ලද සත්‍යය ඇත්තෝ බෝධිතලයෙහි හිද බුද්ධත්වයට පත්වීමට නොහැකි වෙති. මවිසින් ඇත්තම කියන්නට වටනේය යනුයි. බෝසතුන් හටද ප්‍රාණඝාතයද, අදින්නාදානයද, කාමයෙහි වරදවා හැසිරීමද, මත්පැන් පානයද වේමය. යහපත නසන රැවටීම පෙරටු කර ඇති මුසාවාදය නම් නොවීමය. එහෙයින් හෙතෙම ඇත්තම කියනුයේ දෙවන ගාථාව කීය.