4. චුල්ලසුක ජාතකය (430)
“සන්ති රුක්ඛා” යන මේ ගාථාව බුදුරජාණන් වහන්සේ සැවැත්හි වාසය කරන සේක් චේරඤ්ජා නුවර අරබයා දේශනා කළ සේක. බුදුරජුන් වේරඤ්ජාවෙහි වස්වසා නැවත පිළිවෙළින් සැවැත් නුවරට පැමිණි කල්හි භික්ෂූහු ධර්ම සභාවෙහි කථාවක් උපදවාලූහ. ඇවැත්නි, ක්ෂත්රිය බැවින්ද සියුමැලි වූ බුද්ධ බැවින්ද සියුමැලි වූ තථාගතයන් වහන්සේ මහත් වූ සෘද්ධ්යනුභාවයෙන් යුක්ත වූයේ වී නමුත් වේරඤ්ජා බ්රාහ්මණයා විසින් ආරාධනා කරන ලදුව තෙමසක් වසන සෙක් මාරාවේශය නිසා ඔහු සමීපයෙන් එක් දවසකුදු භික්ෂාව (පිණ්ඩපාතය) නොලබා, ලොල් බව හැර තෙමසක්ම පතක් පමණ යව සහලින් කළ දියත්තකින් යැපෙන්නේ අන්තැනක නොවැඩියහ. අහෝ, බුදුවරුන්ගේ අල්ප වූ අපේක්ෂා ඇතිබව හා ලද දෙයින් සතුටුවීම පුදුමයි. බුදුරජ පැමිණ “මහණෙනි”, දැන් කිනම් වූ කථාවකින් යුක්තව හුන්නහුදැයි විමසා මෙනම් වූවකැයි කී කල්හි මහණෙනි, මෙකල තථාගතයන්ගේ ලොල්බවින් තොරවීම ආශ්චර්යයක් නොවේ. පෙර තිරිසන් යෝනියෙහි ඉපිදද ලොල්බව අත්හළේම යයි පවසා අතීත ප්රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක. අතීතයෙහි සියලු ප්රවෘත්තිය යට කියන ලද අයුරින්ම විවරණය කළ යුතු.
සන්ති රුක්ඛා හරිතපත්තා - දුමා නෙක ඵලා බහූ,
කස්මා නු සුක්ඛෙ කොළාපෙ සුකස්ස නිරතො මනො
කස්මා නු සුක්ඛෙ කොළාපෙ සුකස්ස නිරතො මනො
1. නිල්වන් කොළවලින් යුත් නොයෙක් ගෙඩි ඇති වෘක්ෂයෝ වෙති. (එතකුදු වුවත්) කුමක් හෙයින් සිදුරු සහිත වියලි ගසෙහි ගිරවාගේ සිත ඇලුණේද?
2. අවුරුදු බොහෝ ගණනක් මේ ගසේ ගෙඩි අනුභව කෙළෙමු. (ගසෙහි) ගෙඩි නැති බව දැන නමුදු පෙර මෙන්ම ඒ මිතුරුබව වෙයි.
3. වියලී ගිය සිදුරු සහිත වැඩුණ කොළ ඇත් එසේම ගෙඩි නැති ගස අත්හැර කුරුල්ලෝ යති. ගිරවාණෙනි, මෙහි කවර වරදක් දකින්නෙහිද?
4. යමෙක් ගෙඩි අපේක්ෂාවෙන් (යම් ගසක්) ඇසුරු කෙරෙත්ද? ඒ ගස (ගෙඩි නැති කල) ගෙඩි නැතැයි අත්හරිත්ද, ආත්මාර්ථය පිළිබඳ හැඟීම් ඇති ඒ අසත්පුරුෂයෝ පක්ෂපාතීහු (අගතිගාමීහු) වෙති.
5. යහළු බව කරන ලද්දේ මැනවි. මෛත්රියද පිරිස් සමග සමාගමයද මැනවි. ඉදින් මේ ධර්මය රුචිකරන්නෙහි නම් ඒකාන්තයෙන් පණ්ඩිතයන්ගේ පැසසුමට ලක්විය යුත්තේ වෙහිය.
6. පියාපත් යානය කර ඇති, අහසින් යන්නා වූ, වක්වූ ගෙළ ඇත්තා වූ ගිරවාණෙනි, ඒ මම ඔබට වරයක් දෙමි. සිතින් කැමති වන්නා වූ යම් වරයක් වේද (එය) ඉල්ලව.
7. මෙම ගස කොළ සහිතවද ගෙඩි සහිතවද ඉදින් දකින්නෙම් නම් මැනවි. නිධානයක් ලද දිළින්දෙකු මෙන් මම නැවත නැවතත් සතුටු වන්නෙමි.
8. ඉක්බිති (ශක්රතෙමේ) අමාව (ගංගාවෙහි ජලය) ගෙන ගසට වත් කෙළේය. ඒ ගසේ සිසිල් සෙවන දෙන මනරම් අතු වැඩී ගියේය.
9. ශක්රය, අද මම යම් සේ ගෙඩි සහිත ගස දැක සුවපත් වීම්ද, (එසේම ඔබද) සියලු නෑයන් සමග සුවපත් වේවා!
10. දිවුල් ගස ගෙඩි සහිත වූවක් කර ගිරවාට වරයක් දී (ශක්රයා) බිරිඳ සමග නන්දනොද්යානයට ගියේය.
ප්රශ්න ප්රතිප්රශ්නයෝද අර්ථයෝද පෙර පරිදිම දත යුත්තෝය. නොපැහැදිලි පද පමණක්ම විවරණය කරන්නෙමු.
හරිත පත්තා යනු නිල්වන් කොළවලින් ගැවසී ගත්තාහු. කොළොපෙ යනු වාසුලං හැපෙන කල්හි තට්ටු කරන ශබ්ද නික්මවන්නාක් මෙන් අරටුවෙන් තොර. සුවස්ස යනු ගිරා රජු ඔබට කුමක් හෙයින් ගස පිළිබඳව සිත ඇලුනේද, ඵලස්ස යනු මේ ගසේ ගෙඩියයි. නෙක වස්ස ගණෙ යනු අවුරුදු බොහෝ ගණනක්. බහූ යනු බොහෝ සියගණනක් ඇති කල්හිදු. දෙදෙනෙකුද නොව. තිදෙනෙකුද නොව, බොහෝය. විදිත්වාන යනු හංසරාජය, දැන් අපගේ මේ දිවුල්ගස ගෙඩි නැත්තේ යයි දැනද පෙර යම්සේ මෛත්රියක් වීද ඒ මෛත්රියම වේ. අපි එය නො බිඳමු. මිතුරු බව බිඳින්නෝ වූ කලී අනාර්යයෝ අසත්පුරුෂයෝ වෙත් යයි ප්රකාශ කරන්නාහු මෙසේ කීය.
ඔපත්තං යනු හුණු කොළ ඇති, කොළ රහිත, වැටුණ කොළ ඇති, කිං දොසො පසස්සෙ යනු අන් පක්ෂීහු මේ ගස අත්හැර අන් තැනට යත්. ඔබ මෙසේ යෑමෙහි කවර නම් දෝෂයක් දක්නෙහිද? යෙ ඵලත්ථා යනු යම් පක්ෂීහු කෙනෙක් ගෙඩි පිණිස ගෙඩි කරණකොට භජනය කෙරෙත්ද එළඹෙත්ද ගෙඩි නැතැයි දැන එය අත්හරිත්. අත්තට්ඨපඤ්ඤානි තමා සඳහාම වූ ප්රඥාවයි. අනිකෙකු නොබලා තමා වෙතම පිහිටි ප්රඥාව අත්තට්ඨ පඤ්ඤා වේ. පක්ඛ පාතිනො යනු ඔවුහු තමාගේම වෘද්ධිය කැමතිවන්නේ මිතුරු පක්ෂය හෙළත්, නසත් නුයි. පක්ඛපාතිනො නම් වෙති. තමාගේ පක්ෂයෙහිම වැටෙත්නුයි පක්ඛපාතිනො වේ.
අපි නාම නං යනු හංසරාජය, ඉදින් මගේ සිතැඟිය ඉටුවන්නේ නම් ඔබ විසින් දෙන ලද වරය සම්පූර්ණ වන්නේ නම් හෝ මේ ගස කොළ සහිතව නැවත දක්නේ නම් හෝ ඒ හේතුවෙන් දිළින්දෙකුට නිධානයක් ලැබුණාක් මෙන් නැවත නැවත ඒ ගැන (මම) සතුටු වන්නෙමි. ප්රමුදිත වන්නෙමි යනුයි. අමතමාදාය යනු තමාගේ ආනුභාවයෙන් සිටියේ නදියෙහි ජලය ගෙන ඉස්සේය යන අර්ථයයි. මෙම ජාතකයෙහි මේ ගාථාව සමග බුද්ධදේශිත ගාථාවෝ දෙකක් වෙති.