3. මහාසුක ජාතකය (429)
“දුමො යදා හොති” යන මේ ගාථාව බුදුරජණන් වහන්සේ දෙව්රමෙහි වාසය කරන සේක් එක්තරා භික්ෂුවක් අරබයා දේශනා කළ සේක. හෙතෙම බුදුන් සමීපයෙහි කමටහන් ගෙන කොසොල් ජනපදයෙහි එක්තරා පසල් ගමක ඇසුරුකොට වනයෙහි විසීය. මිනිස්සු ඔහුට රාත්‍රී වසන ස්ථාන දවල් කාලයෙහි වසන ස්ථාන ආදිය සකසා දී යාම් ඊම් පහසු තැනක සෙනසුනක් කොට මනාව උපස්ථාන කළාහුය. ඔහු වස් සමාදන් වූ පළමු මාසයේදීම එම ගම දැවී ගියේය. මිනිස්සුන්ට බිත්තර වී පමණක් හෝ ඉතිරි නොවීය. ඔවුහු උන්වහන්සේට ප්‍රණීත පිණ්ඩපාතය දීමට නොහැකි වූහ. හෙතෙම සුදුසු සෙනසුන්හි පිණ්ඩපාතයෙන් ක්ලාන්ත වූයේ මාර්ගයක් හෝ ඵලයක් හෝ උපදවන්නට අපොහොසත් වීය. ඉක්බිති තෙමස ඇවෑමෙන් ශාස්තෘන් වහන්සේ වැඳීමට පැමිණි ඔහුට පිළිසඳර කතාකොට “කිම පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නොවූයේ වෙහිද? සෙනසුන යෝග්‍ය වීදැ”යි විචාළ සේක. හෙතෙම එම කරුණ සැලකර සිටියේය. බුදුහු ඔහුට එම සෙනසුන යෝග්‍ය යයි දැන මහණ! පැවිද්දහු විසින් සෙනසුනක් ඇති කල්හි ලොල්බව අතැර ලද යමක් වළදා සතුටින් මහණදම් කිරීමට වටනේය. පැරණි පඬුවෝ තිරිසන් යෝනියෙහි ඉපිද තමාගේ වාසස්ථානය වූ වියලි ගසෙහි සුණු කන්නාහු නමුත් ලොල් බව හැර ලද දෙයින් සතුටු වූවාහු මිත්රධර්මය බිඳ අන්තැනකට නොගියාහුය. නුඹ කවර හෙයින් පිණ්ඩපාතය ස්වල්පය, මෘදු නොවූවකැයි, යෝග්‍ය සෙනසුන හලේහිදැ යි’ වදාරා ඔහු විසින් ඉල්ලා සිටින ලද අතීත ප්‍රවෘත්තිය ගෙනහැර වදාළ සේක.
අතීතයෙහි හිමාලයෙහි ගංගා නම් ගංතීරයෙහි එක් දිවුල් වනයක නොයෙක් ලක්ෂ ගණනක් ගිරව් වාසය කළහ. ඔවුන් අතර එක් ගිරා නායකයෙක් තමා හුන් ගසේ ගෙඩි ක්ෂය වූ කල්හි දළුව හෝ කොළ හෝ පොත්ත හෝ පතුර හෝ යමක් ඉතිරි වීද එය කා ගංගා නදියෙහි පැන් බී අතිශයින් අල්පේච්ඡතාවයෙන් හා ලද දෙයින් සතුටු වී අන් තැනක නොයයි. ඔහුගේ අල්පේච්ඡ හා සන්තුට්ඨිතා ගුණයෙන් ශක්‍රයාගේ භවනය කම්පා විය. ශක්‍ර තෙමේ විමසා බලන්නේ ඒ දැක ඔහු විමසනු සඳහා තමාගේ බලමහිමයෙන් ඒ ගස වියලුවාලීය. ගස කණුවක් පමණ වී ලොකු කුඩු සිදුරුවලින් යුක්ත වූයේ වාතයෙන් පහරනු කල්හි හප්පවනු ලබන්නේ වීය. ඒ ගසේ සිදුරුවලින් කුඩු නික්මේ. ගිරා රජ ඒ කුඩු කා ගංගා නදියෙහි ජලය බී අන්තැනක නොගොස් සුළඟ හා අව්ව ගණන් නොගෙන දිවුල් කණුව මත හිඳී. ශක්‍රතෙමේ ඔහුගේ උසස් අල්පේච්ඡ බව දැන මිත්රධර්මයෙහි ගුණය කියා ඔහුට වරයක් දී දිවුල අමාඵලයක් කර එන්නෙමි’යි එක් හංසරාජයෙක් වී සුජා නම් අසුර කන්‍යාව පෙරටු කොට ඒ දිවුල් වනයට ගොස් නුදුරෙහි එක් ගසක අත්තක හිඳ ඔහු සමග කථාවක් ඇති කරන්නේ පළමු ගාථාව කීය.
දුමො යදාහොති ඵලූප්පන්නො - භුඤ්ජන්ති නං විභගා සම්පතත්තා,
ඛීණන්ති ඤත්වාන දුමං ඵලච්වයෙ - දිසො දසං යන්ති තතො විභද්ධගමා
ඛීණන්ති ඤත්වාන දුමං ඵලච්වයෙ - දිසො දසං යන්ති තතො විභද්ධගමා
1. යම්කලෙක ගස ගෙඩිවලින් යුක්ත වේද. (එකල) පක්ෂීහු අත්තෙන් අත්තට යන්නාහු ගෙඩි අනුභව කරති. පක්ෂීහු ගෙඩි අවසන් වූ කල්හි ගස ගෙඩිවලින් අවසන් වූයේ යයි දැන ඉන් දීසානුදිසාවන්ට යත්.
එහි අර්ථය වූ කලී - ගිරා රජතුමනි, යම්දිනක ගස ගෙඩිවලින් යුක්ත වේද එකල්හි (එහි) අත්තෙන් අත්තට පනින්නා වූ පක්ෂීහු (ගෙඩි) අනුභව කරත්. ගෙඩි අවසන් වූ කල්හි (ගෙඩි) අවසනැයි දැන පක්ෂීහු වෙනත් දිසාවන්ට යති යනුයි.
මෙසේ කියා ඔහු පිටත්කර හරින්නට දෙවන ගාථාව කීයේය.
2. රතුපැහැති තුඩක් ඇති පක්ෂිය, චාරිකාවෙහි හැසිරෙව. ගිරව, ඔබ කුමක් හෙයින් මේ වියලි ගසෙහි කුමක් සිතමින් සිටින්නෙහිද? වසන්තයෙහි වනලැහැබක් හා සමාන පක්ෂිය, ඉදින් මට කියව. ගිරවාණෙනි, කුමක් හෙයින් මේ වියලි ගස අත් නොහරින්නෙහිද?
එහි ක්ධායති යනු කවර කරුණකින් වියලි කණුව මත විතර්කණය කරමින් චිත්තා පරවශව සිටින්නෙහිද? ඉංඝ යනු චෝදනාර්ථයෙහි නිපාතයයි. වසනත සන්නිභා යනු වසන්ත කාලයෙහි වනලැහැබ ගිරා සමූහයෙන් ගැවසී ගත්තාක් මෙන් නිල්වන් පැහැයෙන් යුක්ත වේ. එහෙයින් ඔහුට “වසන්තසන්නිභ” යයි ආමන්ත්‍රණය කෙරේ. න රිඤ්වසි යනු අත් නොහරින්නෙහිද?
ඉක්බිති ගිරා තෙමේ ඔහුට (හංසයාට) කියනුයේ හංසය, මම මාගේ කළගුණ දන්නා බව නිසා මෙම ගස අත් නොහරිමි’යි කියා මෙම ගාථා දෙක ප්‍රකාශ කළේය.
3. හංසය, යහළුවනට යම් යහළුකෙනෙක් වෙත්ද? ඒ සත්පුරුෂයෝ සත්පුරුෂ ධර්මය සිහිකරන්නාහු ජීවිත විනාශයෙහිද සැප දුක දෙකෙහිද ධනය පිරිහුණැයි නොපිරිහුණැයිද කියා ඔහු (මිතුරා) අත් නොහරිත්.