2. කෝසම්බි ජාතකය (428)
පුථු සද්දො යන මේ ගාථාව බුදුරදුන් කොසඹෑ නුවර ඇසුරුකොට ඝෝෂිතාරාමයෙහි වැඩවසන සේක් කොසඹෑ නුවර කළහකාරී භික්ෂූන් අරබයා දේශනා කළ සේක. කථාවස්තුව කොසම්බක්ඛන්ධකයෙහි පැමිණියේමය. මෙ එහි සංක්ෂේපයයි. එකල්හි විනයධර වූ භික්ෂුවක් හා සෞත්රාන්ත්රික භික්ෂුවක් දැයි භික්ෂූහු දෙනමක් එකම ආවාසයක විසූහ. ඔවුන් අතර සෞත්රාන්ත්රික භික්ෂුන් වහන්සේ එක්දිනක් ශරීරකෘත්යය කර ජලකොටුවෙහි සේදීමට ගත් ජලයෙහි ඉතිරිය තබා නික්මුණාහ. පසුව විනයධර භික්ෂුව එහි පිවිසියේ ඒ ජලය දැක නික්මී අනිකාගෙන් විමසීය. “ඇවැත්නි, ඔබ විසින් ජලය තබන ලදදැ” යි (කියාය.) “ඇවැත්නි, එසේය”. “කිම? මෙහි ඇවැත්බව නොදන්නෙහිද? “එසේය නොදනිමි. ඇවැත්නි, මෙහි ඇවැත් වේද එසේනම් ඊට පිළියම් කරන්නෙමි”. “ඇවැත්නි, ඉදින් ඔබ නොදැන (එසේ) කරන ලද නම් ඇවැත් නැතැ”යි කීය. හෙතෙම ඒ ආපත්තියෙහි ආපත්ති නැතැයි යන දෘෂ්ටි ඇත්තේ විය. විනයධර තෙමේද තමා ඇසුරු කරන්නන්ට මේ සෞත්රාන්ත්රික භික්ෂුව ඇවතට පැමිණෙන්නේම (ඒ බව) නොදන්නේ යයි දැන්වීය. ඔවුහු ඒ භික්ෂුව ඇසුරු කරන්නන් දැක ඔබගේ උපාධ්යාය තෙමේ ඇවතට පැමිණ ඇවැත් ඇති බව නොදනී යයි කීහ. ඔවුහු ගොස් තමාගේ උපාධ්යායන් වහන්සේට (ඒ බව) දැන්වූහ. හෙතෙම මෙසේ කීය. “මේ විනයධර භික්ෂුව පෙර ඇවැත් නැතැයි කියා දැන් ඇවතැයි කියයි. මෙතෙම බොරු කියන්නෙකි” යි මෙසේ ඔවුනොවුන් කළහ වැඩූහ. ඉක්බිති විනයධර භික්ෂුව අවකාශ ලැබ ඔහුට ඇවැත් නොදැකීමෙහි ලා උක්ඛෙපනීය කර්මය කෙළේය. එතැන් පටන් ඔවුන්ගේ දායකයෝද උපාසකයෝද දෙපිරිසක් වූහ. අවවාද ගන්නා වූ භික්ෂුණීහුද අරක්ෂක දේවතාවෝද හුරුපුරුදු මිතුරෝද ආකාශසථ දේවතාවෝද බඹලොව තෙක් සියළු පෘථග්ජනයෝ දෙපිරිසක් වූහ. අකණිටා බඹලොව දක්වා මේ කෝලහාලය ගියේය.
ඉක්බිති එක් භික්ෂුවක් බුදුරදුන් වෙත එළඹ “උක්ක්ෂෙපනීය කර්මය කළවුන් විසින් දැහැමි (විනය) කර්මයෙන්ම මෙතෙම උක්ක්ෂෙපනීය කරන ලදි. උත්ක්ෂෙපනානු වර්තකයන් අධාර්මික (විනය) කර්මයෙන් කරන ලදැයි යන හැඟීමෙන් උක්ක්ෂෙපයන් විසින් වළකනු ලබන්නේ නමුත් ඔවුන් ඔහු පිරිවරා හැසිරෙන බව දැන්වීය. භාග්යවතුන් වහන්සේ “සමගි වූවෝ වෙත්වා” යි දෙවරක් (පණිවුඩ) යවා “ස්වාමීනි, සමගි වන්නට නොකමැත්තෝ” යයි අසා තෙවන වර “භික්ෂු සංඝයා බිඳුණේය. භික්ෂු සංඝයා බිඳුණේය”යි ඔවුන් සමීපයට ගොස් උත්ක්ෂෙපනීය කර්මය කළ භික්ෂූන්ට උත්ක්ෂෙපනීය කර්මයෙහිද අන්යයන්ට ඇවැත් නොදැකීමේද ආදීනව ප්රකාශ කර වැඩි සේක. නැවත ඔවුන් එහිම එකම සීමාවෙහි උපෝසථාදී විනය කර්මයන් කර දන් වළදන ශාලාව ආදීන්හිදී කළහකාරීන් සමීප ආසනයන්හි හිඳිය යුතුයයි ආදී දන් ශාලාවෙහි වත් පනවා දැනුදු කළහකාරීවම වාසය කරත් යයි අසා එහි ගොස් “මහණෙනි, නුසුදුසුය. කළහ නොකරව” යි ආදීන් වදාරා, භාග්යවතුන් වහන්සේගේ වෙහෙස නොකැමති එක්තරා ධර්මවාදී භික්ෂුවක විසින් “ස්වාමීන්, උපේක්ෂා සහගත වන්න. ධර්මස්වාමී වූ භාග්යවතුන් වහන්සේ අල්පෝත්සාහී වූයේ දිට්ඨධම්ම සුඛවිහරණයෙන් යුක්ත වූයේ වසන සේක්වා! අපි ආරවුලින් කලහයෙන් කෝලහාලයෙන් විවාදයෙන් යුත් මොවුන් හඳුනාගනිමු” යි කී කල්හි,
“මහණෙනි, පෙර බරණැස බ්රහ්මදත්ත නම් කාසි රජෙක් වී යයි. බ්රහ්මදත්ත විසින් දීඝති කෝසල රජුගේ රාජ්යය දිනා, අප්රසිද්ධ වේශයෙන් වසන්නහුගේ මරණයට පත් බවද, දීඝායු කුමාරයා විසින් සිය ජීවිතය දුන්කල්හි එතැන් පටන් ඔවුන්ගේ සමගි බවද දේශනා කර, මහණෙනි, දුන් දඬුවම් ඇති ගත් ආයුධ ඇති ඒ රජුන්ගේ මෙබඳු ඉවසීමක් හා පිළිගත් වචන ඇති බවක් වන්නේය. මහණෙනි, මෙහිලා එය හොබනේද? යම් හෙයකින් නුඔලා මෙබඳු මනාව දේශනා කළ ධර්ම විනයෙහි පැවිදි වූවාහු ඉවසන්නාහුද කීකරු වූවාහුද වහු යයි අවවාද කර, දෙවනුවද තෙවනුවද මහණෙනි කම් නැත. කළහ නොකරවු යයි වළක්වාද නොපිළිගන්නවුන් දැක මේ මෝඩයෝ මඩිනා ලද්දෝය. මොවුන් දැනුවත් කිරීම නොපහසු යැයි ඉක්ම ගොස් දෙවන දවස්හි පිණ්ඩපාතයෙන් පෙරළා වැඩිසේක් ගඳකිළියෙහි මදක් විවේක ගෙන සෙනසුන හකුලා තබා තෙමේම තමාගේ පාත්රසිවුරු ගෙන සඟ මැද අහස්හි සිට මෙම ගාථාවන් වදාළ සේක.
පුථු සද්දො සමජනො න බාලො කොචි මඤ්ඤථ,
සඞ්ඝස්මිං භිජ්ජමානස්මිං - නාඤ්ඤං භීය්යො අමඤ්ඤරුං
සඞ්ඝස්මිං භිජ්ජමානස්මිං - නාඤ්ඤං භීය්යො අමඤ්ඤරුං
1. මහත් වූ ශබ්ද ඇති එනිසාම බොහෝ වූ සමාන ජනයා තමා අනුවණ බව නොහඟින්නේය. සංඝයා බිඳෙන කල (තමා නිසා බිඳෙතැයි) යන අනිකක් බෙහෙවින් නොසිතූහ.
2. මුලා වූ පණ්ඩිතමානීහු කටට ආවක් කියන්නාහු වෙති. යම්තාක් කැමතිද ඒතාක් මුව අයා කියති. යමකින් නිර්ලජ්ජී බවට පත්වෙද්ද එය නොදත්හ.
3. මට බැන්නේය. මට ගැසුවේය. මා පැරදවීය. මා සතු දේ පැහැර ගත්තේය යි යමෙක් වෛර බඳිත්ද ඔවුන්ගේ වෛරය නොසන්සිඳේ.
4. මට බැන්නේය. මට ගැසුවේය. මා පැරදවීය. මා සතු දේ පැහැර ගත්තේ යයි යමෙක් වෛර නොබඳිත්ද ඔවුන්ගේ වෛරය සන්සිඳේ.
5. මෙලොව කිසිකලෙකත් වෛරයෙන් වෛරයෝ නොසන්සිඳෙත්. අවෛරයෙන්ම සන්සිඳෙත්. මෙය පෙර පටන් පැවත එන ධර්මයකි.
6. කෝලහාල කරන අය “අපි මෙහිදී නැසෙමු යයි” නොදනිත්. යමෙක් එහිලා තමා නැසෙන බව දනිත්ද එහෙයින් කලහයෝ සන්සිඳෙති.
7. ඇට සිඳුන, දිවි තොර කරන, ගවයන් අසුන් හා ධනය පැහැර ගන්නා, රටවල් කොල්ලකන්නා වූ ඒ රජුන්ගේද එකතුවක් වෙයි. කුමක් හෙයින් තොපට (එවැන්නක්) නොවන්නේද?
8. ඉදින් නුවණැති, එකට හැසිරෙන යහපත් පැවැත්මෙන් යුතු ධෛර්යවත් යහලුවකු ලබන්නේද සියලු උවදුරු මැඩපවත්වා සිහි ඇතිව සතුටු සිතින් ඔහු සමඟ හැසිරෙන්නේය.
9. (ඉදින්) නුවණැති එකට හැසිරෙන, යහපත් පැවැත්මෙන් යුතු, ධෛර්යවත් යහලුවකු නොලබන්නේද, දිනන ලද රට හැර (ගිය) (මහාජනක) රජු මෙන් වනයෙහි ඇත් රජු මෙන් එකලාව හැසිරෙන්නේය.
10. එකලාව හැසිරීම යහපත්ය. අනුවණයන් සමඟ මිතුරු බවක් නැත. වනයෙහි (තනිව හැසිරෙන) ඇත්රජු මෙන් (පිරිස් පරිහරණයෙහි) උත්සාහයෙන් තොරව හුදකලාව හැසිරෙන්නේය. පවිටු ක්රියා නොකරන්නේය.
එහි පැතුරුණ මහා සද්ද ඇත්තේනුයි “පුථුසද්දො” වේ. සමජනා යනු සමානයි. මේ සියලු කළහාකාරී පිරිස එක හා සමානය. හාත්පසින් ශබ්දකිරීමෙන් සමාන වූයේනුයි කියන ලදි. න බාලො කොචි මඤ්ඤථ යනු ඹවුන් අතර කිසිවෙකුත් මම නුවණ නැතැයි නොසිතූහ. නාඤ්ඤං භිය්යො අමඤ්ඤරුං යනු බෙහෙවින්ම සංඝයා බිඳෙනකල්හි අන් එකෙකුදු මා හේතුවෙන් සංඝයා බිඳේයයි යන මේ කරුණු නොසිතූහ යයි අර්ථයයි.