1. ගිජ්ඣ ජාතකය (427)
“පරිසංකුපථො නාම” යන මේ ගාථාව බුදුරදහු දෙව්රම්හි වාසය කරන සේක් එක්තරා නොහික්මුණු භික්‍ෂුවක් අරභයා දේශනා කළ සේක. ඒ කුලපුත් තෙමේ නෛර්යාණික සසුනෙහි පැවිදි වූයේ නමුත් වැඩ කැමති ආචාර්ය උපාධ්‍යායයන් විසින්ද, සමග බඹසර වෙසෙන්නන් විසින්ද “ඔබ මෙසේ යා යුතුය. මෙසේ ආ යුතුය. මෙසේ ඉදිරිය බැලිය යුතුය. මෙසේ වටපිට බැලිය යුතුය. මෙසේ අත් පා හැකිළිය යුතුය. මෙසේ දිගහළ යුතුය. මෙසේ සිවුරු හැඳිය යුතුය. මෙසේ පෙරවිය යුතුය. මෙසේ පාත්‍රය ගතයුතුය. යැපෙන පමණක් බත් පිළිගෙන ප්‍රත්‍යවේක්‍ෂා කර අනුභව කළ යුතුය. ඉන්‍ද්‍රියයන්හි රැකි දොරටු ඇතිව බොජුන්හි පමණ දන්නා ලදුව. නිදි වැරීමෙහි නිරත වූවෙකු විය යුතුය. ආගන්තුක වත් මේ යයි ගමික වත් මේ යයි මේ බන්‍ධකාගත තුදුස් වත්ය. අසූවක් මහා වත් යයි දැන එහි මනාව පැවතිය යුතුය. මේ කෙලෙස් ධුතාංගයෝය. ඒවා සමාදන්ව පැවතිය යුතුයයි අවවාද කරනු ලබන්නේ අකීකරු වීය. අවවාදක්‍ෂම නොවීය. අනුශාසනාවන් නොගන්නේම ‘මම තොපට නොකියමි. එහෙයින් තෙපි මට කුමක් හෙයින් කියහුද, මමම මාගේ යහපතත් අයහපතත් දන්නෙමි යයි තෙමේ අවවාද නොකටයුත්තෙකු කළේය. ඉක්බිති භික්‍ෂහූ එම අකීකරු බව දැන ධර්ම සභාවෙහි මොහුගේ අගුණ බෙණමින් හුන්නාහ. බුදුහු වැඩමකර “මහණෙනි, දැන් කිනම් කථාවකින් යුතුව හුන්නහු දැයි විමසා මෙනම් වූවෙකැයි කී කල්හි එම භික්‍ෂුව කැඳවා “තොප අකීකරු යන බව ඇත්තදැ”යි විමසා “ඇත්තැ”යි කී කල්හි “මහණ, කුමක් හෙයින් මෙබඳු වූ නෛර්යාණික ශාසනයෙහි පැවිදි වී වැඩ කැමැත්තන්ගේ වචනය නොකෙරෙහිද? නුඹ පෙරද පණ්ඩිතයන්ගේ වචන නොකර දරුණු සුළඟෙහි සුනුවිසුණු වූයේ යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර වදාළ සේක.
බෝසත් තෙමේ අතීතයෙහි ගිජුකුළු පව්වෙහි ගිජුලිහිණි යෝනියෙහි උපන්නේය. ඔහුගේ පුතණුවෝ සුපත්ත නම් වූහ. බොහෝ දහස් ගණන් ගිජුලිහිණි පිරිවරා ඇත්තේ බලසම්පන්න වූයේද විය. හෙතෙම මව්පියන් පෝෂණය කළේය. බලසම්පන්න වූයේම බොහෝ දුර පියඹා යයි. ඉක්බිති (ඔහුගේ) පියා “දරුව, මෙතෙක් තැන ඉක්මවා නොයා යුතුය” යි අවවාද කළේය. හෙතෙම ‘මැනව” යි කියා එක් දිනක් වැසි වට කල්හි ගිජුලිහිණියන් සමග ඉගිලී සෙස්සන් හැර ප්‍රදේශය ඉක්මවා ගොස් වේරම්භ වාතයට පත්ව සුනුවිසුණු බවට පැමිණියේය. ශාස්තෘන් වහන්සේ බුදුව ඒ බව දක්වමින් මෙම ගාථාවන් දේශනා කළ සේක.
පරිසද්ධකුපථො නාම ගිජක්‍ධපන්‍ථො සනන්ත නො,
තත්‍රාසි මාතා පිතරො ගිජ්‌ඣො පොසෙසි ජිණ්ණ කෙ,
[missing pali]
1. ගිජුකුළු පව්වට යොමු වූ “පරිසංකුපථ” නම් පැරණි මාර්ගයක් විය. එහි ගිජුලිහිණියෙක් වයස්ගත මව්පියන් පෝෂණය කෙළේය. (ඔහු) ඔවුනට චුරුණු තෙල් සහිත පිඹුරු මස් බොහෝකොට ගෙන ආයේය.
2. පියා ඉහලට පියාඹන ශක්ති සම්පන්න, තේජස් ඇත්තා වූ දුරට (පියඹා) යන සුපත්ත නම් පුතණුවන්ට මෙසේ කිය.
3. පුතණුවනි, යම්දිනක සයුරෙන් වට වූ පිරිමඬුලු සහිත සකක් වැනි පොළොව කම්පා වන්නාක් ලෙස දනිහිද දරුව එතනින් නවතින්න. ඉන් ඔබ්බට නොයන්න.
4. බලවත් වූ පියාපත් ඇති වක් වූ ගෙල ඇති ඒ පක්‍ෂි රාජයා පර්වතද වනපෙත්ද බලමින් වේගයෙන් අහසට පැන නැංගේය.
5. යම් සේ පියාගෙන් අසන ලදද (එසේ) සයුරෙන් වට වූ සකක් මෙන් පිරිමඩුලු සහිත පොළොව ගිජුලිහිණියා දුටුවේය.
6. හෙතෙම එයද ඉක්මවා ඈතටම ගියේය. ඒ තියුණු වාසිළුව එම පක්‍ෂියා පැහැර ගත්තේය.
7. පියා කියූ පමණ ඉක්මවූ පක්‍ෂියා නැවත පෙරළා ඒමට නොහැකි වූයේ වේරම්භ (දරුණු) සුළඟට හසුව විපතට පත්විය.
8. පක්‍ෂියා අවවාද අනුව කටයුතු නොකළ කල්හි ඔහුගේ දරුවෝද භාර්යාවෝද සෙසු පිරිවරද යන හැම විපතට පත් වූහ.
9. එසේම මේ ලොව යමෙක් වැඩිහිටියන්ගේ වචනය වටහා නොගනීද සීමාව ඉක්මවා හැසිරේද හෙතෙම දෙන ලද අවවාද ඇත්තේ නමුත් අනුශාසනා ඉක්මවා ගිය ගිජුලිහිණියා මෙන් වැඩිහිටියන්ගේ අනුශාසනාවන් නොකර ඒකාන්තයෙන් විපතට පත්වෙයි.
එහි “පරිසංකූපථො” යනු උල්සහිත මාර්ගයයි. මිනිස්සු රන් රිදී සඳහා යන්නෝ ඒ ප්‍රදේශයෙහි උල් සිටුවා ඒවායේ රැහැන් බැඳ යති. එහෙයින් ඒ ගිජුකුළු පව්වෙහි අඩිපාර “සංකූපථ” යයි කියනු ලැබේ. “ගිජක්‍ධපන්‍ථො” යනු ගිජුකුළු පව්ව මත මහාමාර්ගයයි. “සනන්තනො” යනු පැරණිය. තත්‍රාසී යනු ඒ ගිජුකුළු පව්ව මත්තෙහි උල් සහිත මාර්ගයෙහි එක් ගිජුලිහිණියෙක් විය. හෙතෙම ජිණ්ණකෙ මාතාපිතරො පොසෙසි. අජගරං මේදං යනු පිඹුරු මස්හි චුරුණු තෙල්ය. අච්චහාසී යනු බොහෝ කොටගෙන ආයේය. බහුත්තතො යනු බොහෝකොටය. ජානං උච්චා පපාතිනං යනු පුත්‍රය, තොප ඉතා උස් තැන් ඉක්මවා පියඹා යතැයි අසා මෙතෙම උඩට පැමිණියේ යයි දන්නේ. තෙජස්සී යනු පුරිස ධෛර්යයෙන් යුක්තය. දූරගාමිනං යනු ඒ ධෛර්යයෙන් දුරට යන. පරිපලවන්තං යනු මානෙල් පතක් මෙන් ජලයෙහි කම්පා වන. විජානහී යනු දනුව. චක්කංච පරිමණ්ඩලං යනු යම් පෙදෙසක සිටියහුට මුහුදින් සීමා වූ දඹදිව සකක් මෙන් හැඟේද එතැනින් නවතුවයි අවවාද කරන්නේ මෙසේ කීය.
උද්ධං පත්තොසි යනු පියාගේ වචනය නොකර එක් දවසක ගිජුළිහිනියන් සමග ඉගිලුනේ පියා විසින් කියන ලද තැන ඉක්මවා ගියේය. ඔලොකයන්තො වක්කද්ධගො යනු ඒ තැන යට බලන්නේ නැමුණු බෙල්ල ඇත්තේ. යථා සාසි පිතුස්සුතං යනු යම්සේ ඔහුගේ පියා සමීපයෙහි අසන ලදද එසේම දුටුවේය. යථාස්සාසී යනු හෝ පදයි. පරම මෙව පවත්ත යනු පියා විසින් කියන ලද තැනින් ඈතට ගියේය. තඤ්චවාතසිඛාතික්ඛා යනු අවවාද අනුව කටයුතු නොකරන බිලියක් සමාන වූ ඒ පක්‍ෂියා තියුණු වේරම්භ වා සිළුවෙන්. අච්චහාසි යනු පැහැර ගත්තේය. සුනුවිසුණු කළේය. නා සක්ඛාතිගතො යනු ඉක්මවා ගියහු (පෙරළා ඒමට) නොහැකි විය. පොසො යනු සත්‍වයා අනොවාදකරෙ යනු එම පක්‍ෂියා පණ්ඩිතයන්ගේ අවවාදය නොකරන කල්හි ඒ සියල්ලෝම මහා දුකකට පත් වූහ. අකත්‍වා වුද්ධ සාසනං යනු වැඩිහිටි හිතකාමීන්ගේ වචනය නොකර මෙලෙස මහා දුකකට පත්වෙයි. භික්‍ෂුව එහෙයින් ඔබ ගිජුලිහිණියා හා සමාන නොවෙව. වැඩ කැමැත්තන්ගේ වචනය කරවයි. ශාස්තෘන් වහන්සේ විසින් මෙසේ අවවාද කරන ලද හෙතෙම එතැන් පටන් සුවච වීය.