9. අට්ඨාන ජාතකය (425)
‘ගංගාකුමුදුනී’ යන මේ ගාථා කොටස අයත් ජාතක කතා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, සිත කලකිරුණු එක් භික්‍ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්‍ෂුව ළඟට කැඳවා ගත් බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ කලකිරුණෙහිය, යනු සැබෑවක්දැ’යි ඇසූ සේක. ‘ස්වාමීනි, එය සැබෑවකි.’ ‘මහණ, කුමන කරුණක් නිසා කලකිරුණෙහිද?’ ‘ස්වාමීනි, කාන්තාවක් දැක ඈ ගැන ආශාවක් ඇතිවීමෙනි.’ ‘මහණ, ස්ත්‍රීහු නම් අකෘතඥය. මිත්‍රද්‍රෝහී ය. විශ්වාස නොකොට හැක්කෝය. පෙර විසූ පඬිවරු පවා, දිනපතා කහවණු දහසක් දීමෙන්වත්, කාන්තාවක පෝෂණය කරන්නට අපොහොසත් වූවාහුය. එසේ මුදල් ලබාගත් ඒ කාන්තාවම, එකම එක දවසක්, දහසක මුදල රැගෙන එන්නට අමතක වීම නිසා, පුරුෂයාගේ බෙල්ලෙන් අල්ලා, ගෙයින් එළියට ඇද දැමුවාය. මෙසේ ස්ත්‍රීහු අකෘතඥ වූවෝ වෙති. එබැවින් කාන්තාවන් නිමිති කොටගෙන, ආශාවන්ගේ වසඟයට නොයව’යි, කී බුදුරජාණන් වහන්සේ ඊට අදාළ මේ අතීත කතාව, මෙසේ දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය විචාළේය. රජුගේ පුත්‍රයා ‘බ්‍රහ්මදත්ත කුමාරයා’ නම් විය. බරණැස් සිටුතුමාගේ පුත්‍රයා, මහධන කුමාරයා’ නම් විය. මේ කුමාරවරු දෙදෙනා ම වැලිකෙළියේ පටන්, දැඩි මිත්‍රයෝ වූහ. එකම ඇදුරුතුමකුගෙන් ශාස්ත්‍රය හදාළ මේ දෙදෙනා, ශිල්ප උගෙනීමද, එකටම කළහ. බඹදත් කුමරා තරුණ වියේදීම, සිය පියරජුගේ අභාවයෙන් පසු, අගරජ තනතුරට පත්ව, රාජ්‍යය විචාළේය. ඉහත කී සිටු පුත්‍රයා ද, පෙර සිට පැවත ආ, මිතුදම නිසා, නිතර රජු සමීපයෙහිම, වාසය කෙළේය. බරණැස් නුවර, එවකට රට පුරා ප්‍රසිද්ධියක් ඉසිලූ, නගර සෝභිනියක් වූවාය. ගණිකාවක් වන ඈ අතිශයින් සුරූපී තැනැත්තියක් ද, සියලු සම්පතින් ආඪ්‍ය ධනවතියක් ද වූවාය. සිටු පුත්‍රයා ඇයට, දිනපතා කහවණු දහසක් ගෙවා, නිරතුරුව ඈ සමග සතුටුවෙමින් කල්ගත කිරීම, පුරුද්දක් කොට ගත්තේය. සිය පියාගේ ඇවෑමෙන් බරණැස් නුවර ප්‍රධාන සිටු තනතුරට, ඔහු හිමිකම් කී නමුත්, නගර සෝභිනියගෙන් මිදෙන්නට තරම්, මානසික ශක්තියක් උපදවා ගැනීමට අපොහොසත් වූයේය. මහසිටුවරයා වීමෙන් පසුද, ඔහු දිනපතා කහවණු දහසක පොදියක් ද රැගෙන, ඇය හා සතුටු වනු රිසින්, ඈ වෙතට ගියේය. මහසිටුතුමාට මොනතරම් කටයුතු යෙදී තිබුණ මුත්, කෙසේ හෝ දිනකට දෙතුන්වරක්, සිය මිත්‍රයා වන රජතුමා මුණ ගැසීමට ද, නොවරදවා ම රජමැදුරට යයි.
කිසියම් දිනෙක සැඳෑ කල රජු හමුවට පැමිණි සිටුතුමා, රජු සමග අල්ලාප-සල්ලාපයේ යෙදී සිටියේය. ඔවුන් මෙසේ සතුටු සාමීචියේ යෙදී සිටි අතරතුරේදී ම, හිරු බැස ගියේය. අඳුර පැතිරිණි. ඒ කිසිවක් ඒ දෙදෙනාට දැනුනේවත් නැත. හොඳටම අඳුර වැටුණු පසු, රජගෙදරින් නික්මුණු මහසිටුතුමා, ඉඳුරා ම ගියේ නගර සෝභිනියගේ ගෙදරටය. එහෙත් ඔහුගේ අතේ, නගර සෝභිනියට දිනකට ගෙවිය යුතු මුදල වන කහවණු දහස නොතිබිණි. සිය නිවෙසට ගොස්, මුදල් රැගෙන, ආපසු ඒමටද වේලාවක් නැත. මේ සියල්ල කල්පනා කළ සිටුතුමා, නගර සෝභිනියගේ මැදුර අසලින් රථයෙන් බැස, උපස්ථායකයන් සිය නිවෙසට පිටත්කොට හැර, තනිවම ඇගේ මැදුරට ගොඩවැදුණේය. සිටුතුමා දුටු හැටියේම, ‘ආර්ය පුත්‍රය, කහවණු දහස ගෙනාවෙහිදැ’යි, නගර සෝභිනිය ඇසුවාය. ‘සොඳුර, අද රජමැදුරට ගොස්, කල්ගත වී ගිය බැවින්, ගෙදර නොගොස්ම, සේවකයන් පිටත්කොට හැර, තනිවම මෙහි පැමිණියෙමි. මම හෙට එනවිට, ඔබට දෙදහසක් ගෙන එන්නෙමැ’යි සිටුතුමා කීයේය. එවිට ඇය, ‘ඉදින් මම අද මොහුට මෙසේ ඉඩ හරින්නෙම් නම්, එය පුරුද්දකට ගෙන, නැවත නැවතත් හිස් අතින් පැමිණෙන්නේය. එසේ වුවහොත් මාගේ ධනය ක්‍රමයෙන් පිරිහෙන්නේය. එබැවින් මෙවැනි දේට ඉඩ නොතැබිය යුතු යැ’යි, කල්පනා කොට සිටුතුමා අමතා, ‘ස්වාමීනි, අපි වූ කලී ගණිකාවෝ වෙමු. එබැවින් අප සමග විහිළු හොඳ නැත. ඒ නිසා වහා ගොස්, ඔබ ගෙවිය යුතු මුදල වන කහවනු දහස රැගෙන එන්නැ’යි කීවාය. ‘සොඳුර, මම ඔබට ඒ මුදල දෙගුණ කොට, හෙට ගෙනැවිත් දෙන්නෙමි’යි සිටුතුමා පුන පුනා කීයේය. එවිට සිය දාසියන් වෙත හැරුණු නගර සෝභිනිය, සිටුවරයා දෙසට අතක් දිගුකොට, ‘කෙල්ලනි, මොහුට මෙහි සිට, මා දෙස බැලීමටවත් ඉඩ නොදී, මොහුගේ බෙල්ලෙන් අල්ලා මැදුරෙන් එළියට ඇද දමා දොර වසවු යැ’යි කීවාය. සේවිකාවෝ ද, සිය ස්වාමිදුව කී ලෙස ම කළහ. මැදුරෙන් පිටමං කරන ලද සිටුතුමා, ‘මම මෑ සමග එකට එක්වීම නිසා, අසූකෙළක් ධනය නැතිකර ගත්තෙමි. ඈ වෙනුවෙන් ඒ සා විශාල මුදලක් වියදම් කළ මා, අතේ මුදල් නැතිව පැමිණි එකම දිනයේදී හිස් අතින් පැමිණියේ යැ’යි කියා, ඈ මාගේ බෙල්ලෙන් ඇද, මැදුරෙන් එළියට දැමුවාය. අහෝ! ගැහැණු නම් පවිටු ජාතියකි. නිර්ලජ්ජිත වූ ඔවුහු අකෘතඥය. මිත්‍රද්‍රෝහීයැ’යි කල්පනා කළ සිටුතුමාට, කාන්තාවන්ගේ දෝෂ දකින්නට, දකින්නට ඔවුන් කෙරෙහි නොඇල්ම ඇතිවිය. ඔවුන් පිළිකුල් විය. මේ නිසා ම ඔහු ගිහිගෙයි ද කලකිරුණේය. ‘මේ ගිහිගෙයි වාසය කිරීමෙන් මට ඇති ප්‍රයෝජනය කිම? අද ම මෙහෙන් නික්ම පැවිදි වන්නෙමැ’යි, කල්පනා කොට සිටුතුමා සිය මැදුරට ද නොගොස්, රජුට ද නොකියාම, නුවරින් නික්ම කැලයට පිවිස, කිසියම් ගංතෙරක අසපුවක් සාදාගෙන, සෘෂි පැවිද්දෙන් පැවිදිව, ධ්‍යාන හා අභිඥා උපදවාගෙන, වන මුල් පලවැලින් දිවි ගෙවමින්, එහි වාසය කෙළේය.