10. දීපි ජාතකය (426)
‘ඛමනීයං යාපනීයං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සේක්, එක් එළු දෙනක නිමිති කොටගෙන වදාළ සේක. කිසියම් කාලයක මහ මුගලන් තෙරුන් වහන්සේ පර්වත වළල්ලකින් වට වූ, එක් දොරක් ඇති පර්වත මණ්ඩල සේනාසනයක වැඩ විසූ සේක. එහි දොරටුව සමීපයෙහිම තෙරුන්ගේ සක්මන් මලුව විය. එකල එළුපල්ලෝ පිරිසක් එළුවන් ගෙන, උන්ට තණ කැවීම පිණිස, උන් පර්වත වළල්ල ඇතුලට දක්කා, ඉන් අනතුරුව ඔවුහු ක්‍රීඩාශීලීව තැන තැන හැසිරුණහ. කිසියම් දවසක ඉතා හවස් වී පැමිණුනු ඒ එළුපල්ලෝ එළුවන් රැස්කොට, නැවත උන් ගම වෙත දක්කාගෙන යාම සඳහා, පර්වත වළල්ලෙන් පිටතට එළුවන් දැක්කූහ. මේ අතර එක් එළුදෙනක් පර්වත මඬුල්ලේ කෙළවර, කිසියම් තැනෙක කොළ කමින් සිටියාය. එළුපල්ලෝ ඒ වගක් නොදැන, සෙසු එළුවන් දක්කාගෙන යන්නට පටන් ගත්හ. සෙසු එළුවන් දක්නට නොමැති තැනදී, ඉහත කී එළුදෙන එළුවන් ගිය මග ඉව අල්ලමින්, පර්වත මඬුල්ලෙන් ඉවතට යන්නට, එහි දොරටුව වෙතට පැමිණියාය. මේ අතර තනි වූ ඇය අල්ලා කනු රිසියෙන්, මාන බලමින් පසු වූ එක් දිවියෙක් එකී දොරටුව අබියස සැඟව සිටියේය. එළුදෙන ද, ඔබ-මොබ බලමින් දොරටුවෙන් නික්මෙන්නට පැමිණ, පඳුරු අතරේ සැඟවී හුන් දිවියා දැක, ‘මොහු මේ සිටිනුයේ එකත් එකට ම මා මරා කනු සඳහා යැයි, තේරුම් ගෙන, ‘ඉදින් මම ආපසු හැරී දුවන්නට සැරසුණහොත්, එවිට මාගේ ජීවිතය නොරැඳේ. ඒකාන්තයෙන්ම දිවියා සමග තරගයට දිවැ යන්නට මට නොහැකි බැවින්. එබැවින් අද මෙහි දී මා විසින් පුරුෂ ධෛර්යය උපදවා ගැනීම කළයුතු යැ’යි සිතා, සිය අං යුවල උස්සා දිවියාගේ ඉදිරියට, මහත් වූ වේගයෙන් පැන්නාය. මෙයින් හැකුළුණු දිවියා මඳක් පසුපසට ගොස්, එළුදෙන අල්ලා ගන්නට උත්සාහයක් දැරූ නමුත්, එය අසාර්ථක විය. දිවියාගේ ග්‍රහණයට හසු නොවූ එළුදෙන, වේගයෙන් පලාගොස්, එළු රැළ අතරට එකතු වූවාය. මුගලන් තෙරණුවෝ ඔවුන්ගේ ක්‍රියාව බලා සිට, පසුදා බුදුරදුන් හමුවට ගොස්, ඒ සියලු විස්තර උන්වහන්සේ හමුවෙහි පැහැදිලි කොට කියා ‘ස්වාමීනි, මෙසේ මේ එළුදෙන ස්වකීය උපාය කුසලතාවත්, පරාක්‍රමයත් නිසාම, දිවියාගෙන් මිදුණා යැ’යි කීහ. එවිට බුදුරජාණන් වහන්සේ ‘මොග්ගල්ලානය, මෙදා ඇය දිවියාගෙන් මිදුනා ය. දිවියාටද, ඈ අල්ලා ගැනීමට නොහැකි විය. එහෙත් අතීතයේ දී ඇය විලාප කියමින් කෑ ගසද්දීම, කිසිදු අනුකම්පාවකින් තොරව දිවියා ඈ මරා කෑවේ යැ’යි වදාරා, මුගලන් තෙරුන්ගේ අයැදුමෙන්, මේ අතීත කථාව මෙසේ වදාළ සේක.
පෙර මගධ රටෙහි කිසියම් ගම්මානයක මහත් සම්පත් ඇති කුල ගෙදරක උපත ලැබූ අප බෝසත් තෙමේ, නිසි වියට පත්ව, කම්සැප හැර දමා, සෘෂි පැවිද්දෙන් පැවිදිව, ධ්‍යාන හා අභිඥා උපදවාගෙන, බොහෝ කලක් හිමාල වනයෙහි වාසය කෙළේය. කලකට පසු ලුණු ඇඹුල් සේවනය කිරීම සඳහා රජගහ නුවරට පැමිණි එතුමා, වර්තමාන කථාවෙහි සඳහන් වූ පර්වත වළල්ලකින් වටකරන ලද, ඒ පර්වත මණ්ඩලයෙහිම අසපුවක් තනාගෙන, වාසය කෙළේය. එකලද වර්තමාන කථාවෙහි දැක්වූ පරිද්දෙන්, එළුපල්ලෝ එළුවන් රැගෙන ඒ පර්වත මඬුල්ලෙහි එළුවන්ට තණ කැවීම පිණිස පැමිණෙති. දිනක් ඒ එළුවන් අතර සිටි එක් එළු දෙනක පර්වත මඬුල්ලේ ඈත කෙළවරක තණ කමින් සිටි අතර, එළුපල්ලෝ ඒ බවක් නොදැන, සෙසු එළුවන් දක්කාගෙන, ගෙවල් බලා ගියහ. සෙසු එළුවන් ළඟපාතක නැති බව තේරුම් ගත් එළුදෙන, උන් ගිය මග ඉව කරමින්, පර්වත වළල්ලේ දොරටුව වෙත එළඹුණාය. ඒ දුටු එක් දිවියෙක්, එළුදෙන අල්ලාගෙන කනු රිසියෙන්, දොරටුව අබියස සැඟව බලා සිටියේය. දොරටුවට සමීප වූ එළුදෙන දිවියා දැක, ‘අද මාගේ ජීවිතය කම්මුතුයැ’යි සිතා, ‘කිසියම් උපායකින් මේ දිවියා සමග මිහිරි කථාබහකට සම්බන්ධ වී, දිවියාගේ හදවත මෘදු බවට පත්කොට මම මාගේ ජීවිතය රැක ගන්නෙමි’යි මැනවින් සිතා බලා ඈත තියා ම, දිවියා සමග පිළිසඳර කථා කරමින් ඉදිරියට එන ගමන්ම, මෙසේ පැවසුවාය.
ඛමණීයං යාපනීයං කච්චි මාතුල තෙ සුඛං,
සුඛං තෙ අම්මා අවච - සුඛ කාමාභි තෙ මයන්ති
මාමේ, ඔබේ සැප සනීප කෙසේද? ඉවසිය හැකිද? යැපිය හැකිද? අපි ඔබේ සැප කැමැත්තෝ වෙමු. (මගේ) අම්මත්, ඔබේ සැප ගැන විචාළාය.
මෙහි ‘සුඛං තෙ අම්මා’ යනු ‘මගේ මවත් ඔබේ සැප ගැන, අද මගෙන් විමසුවාය’ යන අර්ථයි. ‘මයං’ යනු ‘මාමේ, අපි ඔබේ සුවයම කැමැත්තෙමු’ යන අර්ථයි.
එළුදෙනගේ කථාව ඇසූ දිවියා ‘මේ කපටි එළුදෙන මට මාමා ය, කියා කථාකොට මා රැවටීමට කැමැත්තීය. ඈ මාගේ නපුරුකම් නොදන්නා බව හැඟේ යැ’යි සිතා මෙසේ පැවසීය.
2. එළිච්චිය, මාගේ නඟුට පාගාගෙන, මා වෙහෙසට පත්කොට මාමා යැයි කථා කිරීමෙන් නුඹට අද මිදිය හැකි යැ’යි, නුඹ සිතන්නෙහිද?
‘නුඹ මාගේ වලිගය සමීපය පාගාගෙන, මා වෙහෙසට පත්කොට එන්නෙහිද? ඒ නුඹ අද ‘මාමා යැ’යි කථා කිරීමෙන්, මම මිදිය යුතු වෙමි’යි, සිතන්නෙහිද? නුඹ එසේ සිතන බව මට හැඟේය’ යන අර්ථයි.
දිවියාගේ මේ කථාවෙන් පසු එළුදෙන, ‘මාමේ, එසේ නොකියනු මැනවැ’යි, පවසා මේ ගාථාව කීවාය.
3. (ඔබ) පෙරදිගට මුහුණ ලා හිඳින්නෙහිය. මම ඔබේ ඉදිරියට පැමිණියෙමි. නඟෞට ඇත්තේ පසුපසිනි. මම එය කෙසේ පාගම්ද?
මෙහි ‘මුඛං’ යනු ‘ඉදිරියෙහි’ යන අර්ථයි. ‘කථං ඛොහං’ යනු ‘ඔබේ පසුපසින් ඇති වලිගය මම කෙසේනම් පාගන්නෙම්ද? යන අර්ථයි.
එවිට දිවියා ‘එළිච්චිය, තී කුමක් කියෙහිද? මගේ නගුට නැති තැනක් නැතැ’යි කියා, මෙසේ ද පැවසීය.
4. සමුදුර සහිත, පර්වත සහිත, සිවුමහා දිවයින් යම්තාක් ද? මාගේ වලිගය ඒ තාක් (ව්‍යාප්ත) ය. නුඹ එය කෙසේ නම් මගහරීද?
මෙහි ‘තාවතා’ යනු ‘මගේ නඟුට මෙතෙක් තැන් වටකොට ගියේ යැ’යි කියයි’ යන අර්ථයි.
දිවියාගේ මේ කථාව ඇසූ එළුදෙන, ‘මේ පව්කාරයා මිහිරි කථාවක නොඇලෙන්නෙකි. එබැවින් දැන් මම මොහුට විරුද්ධව කථා කොට බලන්නෙමැ’යි සිතා, මෙසේ පැවසුවාය.
5. ‘දුෂ්ටයාගේ නඟුට දිග යැ’ යන මේ කාරණය මවුපියෝ ද, සොයුරෝ ද, පෙර දී ම කීහ. (එබැවින්) ඒ මම අහසින් පැමිණියේ වෙමි.
මෙහි ‘අක්ඛංසු’ යනු ‘මව ද, සොයුරෝ ද, මේ කාරණය මට මුලදීම කීහ’ යන අර්ථයි. ‘සම්හි’ යනු ‘ඒ මම නෑයින්ගෙන් ඔබේ නඟුටේ දික් බව අසා, නඟුට මගහරිමින් අහසින් පැමිණියෙමි’ යන අර්ථයි.
ඉක්බිති දිවියා ‘එළිච්චිය, මම නුඹ ගැන දනිමි. තී අහසින් පැමිණි බව ද, දනිමි. මෙසේ පැමිණෙන තී මගේ ආහාරය වනසා දමා පැමිණියා නොවේ දැ’යි, දොස් තබා මෙසේ ද කීයේය.
6. එළිච්චිය, අහසින් එන තී දැක, මුව සමූහයා පැන ගියහ. (එයින්) මාගේ ආහාරය, තී විසින් නැතිකරන ලදි.
මේ අභූත චෝදනාව ඇසූ එළුදෙන, මරණ භයෙන් බිය පත්ව, වෙනත් කිසිදු කාරණයක් කියාගත නොහැකිව, ‘මාමේ, මෙබඳු බිහිසුණු කටයුතු නොකරනු මැනව. මට අභය දානය දෙනු මැනවැ’යි කියමින් වැලපුනාය. එවිට දිවියා මෙසේ වැලපෙන එළුදෙන එකපාරටම සිය ග්‍රහණයට ගෙන, ඈ විලාප තියද්දීම, මරාගෙන කෑවේය. පසුකලෙක මේ සිද්ධිය සම්බන්ධයෙන් බුදුරදුන් වදාළ ගාථා දෙකක් පහත පළ වේ.