8. ආදිත්ත ජාතකය (424)
‘ආදිත්තස්මිං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කතා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සේක්, අසදෘශ මහා දානය නිමිති කොටගෙන වදාළ සේක. මේ දානය සම්බන්ධයෙන් වැඩිමනක් විස්තර ‘මහා ගෝවින්ද’ සූත්ර වර්ණනාවෙන් දතයුතුව ඇත. මේ දානය පැවැත්වූ දිනයට පසු දින, දම්සභාවෙහි රැස්වූ භික්ෂූහු, ‘ඇවැත්නි, කොසොල් රජතුමා මැනවින් සොයා බලා, උතුම් පුණ්ය ක්ෂේත්රය හඳුනාගෙන, බුද්ධ ප්රමුඛ වූ ආර්ය මහා සංඝරත්නයට මහදන් දුන්නේ යැ’යි, ඒ දානය ගැන කතා කරමින් හුන්හ. මේ අතර එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ, භික්ෂූන් සාකච්ඡා කළ කරුණු, ඔවුන්ගෙන්ම විමසා දැන, ‘මහණෙනි, රජතුමා මැනවින් සොයා බලා, අනුත්තර වූ පින් කෙත මැනවින් හඳුනාගෙන, ඒ ආර්ය සංඝයා විෂයෙහි දන් දීම වූ කලී, මහා ආශ්චර්යයක් නොවේ. පෙර පැරණි පඬිවරු පවා, එසේ මැනවින් සොයා බලා දන් දුන්නාහු යැ’යි, වදාරා මේ අතීත කතා පුවත මෙසේ වදාළ සේක.
පෙර ‘සෝචීර’ රටේ ‘රෝරුව’ නුවර ‘භරත’ මහරජතුමා දසරාජ ධර්මයන් නො ඉක්මවා සිවු සඟරාවතින්, (සතර සංග්රහ වස්තුවෙන්) මහජනයාට සංග්රහ කරමින්, ජනතාවට පියකු මෙන් ද, මවක මෙන් ද, වැඩ වඩමින්, දිළින්දන්ට වණිබ්බකයන්ට (වර්ණනා කොට යමක් ඉල්ලන්නන්ට) යාචකයන්ට, මහදන් දුන්නේය. ‘සමුද්දවිජයා’ නම් වූ දේවිය රජුගේ අග මෙහෙසියයි. ඇය පණ්ඩිතය. ඤාණ සම්පන්නය. කිසියම් දිනෙක ස්වකීය දන් වැට පරීක්ෂා කරමින් සිටි රජතුමාට, ‘මාගේ මේ දානය, දුසිල්වත් කෑදර උදවිය පරිභෝග කෙරෙති. ඒ හේතුව නිසා, මාගේ මේ ක්රියාවත්, මාත් නුවණැත්තන්ගේ සිනාවට, පරිභාසයට ලක් වන්නට බැරිකමක් නැත. එබැවින් මම සීලසම්පන්න වූ, අග්ර දක්ෂිණෙය්ය වූ, පසේ බුදුරජාණන් වහන්සේට දන් දෙන්නෙමැ’යි, කල්පනා කොට බලා ‘පසේ බුදුවරු නම් හිමාල වනපෙතෙහි වසති. කවරෙක් නම් උන්වහන්සේට ආරාධනා කොට, මෙහි වැඩම කරවන්නේද? කවරකු නම්, ඒ වෙනුවෙන් හිමවතට යවන්නෙම් දැ’යි, ඒ ගැන කල්පනා කරමින් සිට, තම සිත්හි ඇති වූ ඒ අදහස, තම දේවියට දැනුම් දුන්නේය. ‘මහරජතුමනි, ඔබතුමා මේ ගැන කරදර නොවනු මැනව. ඔබතුමා මෙතෙක් දුන් දානයේ බලයෙන් ද, සීලයේ හා සත්යයේ බලයෙන් ද, මල් වට්ටියක් අතට ගෙන, අධිෂ්ඨාන බලයෙන් ඒ මල් පසේබුදුවරුන්ට ආරාධනා පිණිස, උන්වහන්සේ වෙත යවා, එම ආරාධනාව පිළිගෙන උන්වහන්සේ මෙහි වැඩිකල්හි, සියලු පිරිකර සහිතව, අපි මහදන් පවත්වමු යැ’යි, දේවිය රජතුමාට කීවාය. රජතුමා ද, ‘යහපතැ’යි කියා එය පිළිගෙන ‘මුළු නුවර වැස්සෝ, සිල් සමාදන් වෙත්වා’යි බෙර හසුරුවා, පිරිවර ජනයා සහිතව තෙමේ ද, පෙහෙවස් සමාදන් වී, සිරිත් පරිදි දන් වැට ද ආරම්භ කොට, සමන්මල්වලින් පිරුණු රන් බඳුනක් දෝතට ගෙන, ප්රාසාදයෙන් බැස, රාජාංගනයෙහි මැද සිට, පොළොවෙහි පසඟ පිහිටුවා, නැගෙනහිර දෙසට වැඳ, නැවත මල් වට්ටිය දෝතට ගෙන, ‘මේ නැගෙනහිර දිසාවේ, යම්තාක් රහතන් වහන්සේ වෙත්ද? උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඉදින් අප කෙරෙහි යම්කිසි ගුණයක් ඇත්නම්, එය සලකා අප කෙරෙහි අනුකම්පා උපදවා, අපගේ දානය පිළිගනු මැනවැ’යි කියා, මල් මිටවල් සතක් අහසේ පා කොට හැරියේය. පෙරදිග දිසාවෙහි පසේ බුදුවරුන් නොමැති බැවින්, රජුගේ ආරාධනාව නිශ්ඵල විය. එම දිසාවෙන් කිසිවකු පැමිණියේ ද නැත. ඉන් පසුබෑමකට පත් නොවූ රජතුමා, පළමු කී පිළිවෙලටම ඊට පසුවදා ද සැරසී, දකුණු දිශාවට නමස්කාර කොට, දකුණු දෙස බලා ආරාධනාවද සිදුකොට, අනතුරුව මල් අතට ගෙන ඒවා අහසෙහි පා කොට හැරියේය. දකුණු දිශාවෙහි ද, පසේ බුදුවරුන් නොමැති බැවින්, රජුගේ ආරාධනාව නිශ්ඵල විය. මෙසේ මේ ආරාධනාව තෙවන දිනයෙහි බටහිර දිශාවට ද, සිව්වන දිනයෙහි උතුරු දිශාවට ද, රජතුමා සිදු කෙළේය. ‘උතුරු දිශාවේ හිමාල පෙදෙසෙහි වාසය කරන පසේ බුදුවරු වෙත් නම්, උන්වහන්සේ ඒකාන්තයෙන්, අපගේ මේ දානය පිළිගනිත්වා’යි රජතුමා, සමන්මල් සත්මිට ගුවනට මුදා හළේය. ඒ සමන්මල් පාවී ගොස්, ‘නන්දමූලක’ පර්වත ප්රාන්තයෙහි පන්සියයක් පසේබුදුවරුන් වහන්සේට, ඉහළින් මල්වියනක් මෙන් සැකසී, අනතුරුව ක්රමයෙන් බිමට වැටුණි.
මේ කාරණය ගැන ආවර්ජනා කොට බැලූ, එක් පසේ බුදුරජාණන් වහන්සේ නමක්, මෙය රජුගේ දානයට කළ ආරාධනාවක් බව වටහා ගෙන, පසුදා පසේබුදුවරුන් සත්නමක් අමතා, ‘උතුමනි, රටේ රජතුමා ඔබ හැමට ආරාධනා කෙරේ. එබැවින් ‘රජුට සංග්රහ කරන්නේ නම්, මැනවැ’යි වදාළහ. එය පිළිගත් පසේබුදුවරු අහසින් වැඩම කොට, රාජකීය දොරටුව අබියස පෙනී සිටියහ. උන්වහන්සේ දුටු රජතුමා මහත් සොම්නසට පත්ව, නමස්කාර කොට, උන්වහන්සේ ප්රාසාදය වෙත වැඩම කරවා, මහත් වූ සත්කාර සම්මාන කොට, දන් පිරිනමා බත් කිස අවසන් වූ කල්හි, උන්වහන්සේට වැඳ ‘ස්වාමීනි, හෙටත් මාගේ දානයට වඩිනු මැනවැ’යි, මෙලෙසින් පුන පුනා ආරාධනා කොට, දින හයක් පුරාවට නොකඩවා මහදන් පැවැත්වීය. සත්වැනි දින සියලු පිරිකර සහිතව, දානය සකසා සත්රුවනින් වැඩදමන ලද, ඇඳ පුටු පනවා, තුන් සිවුරු ප්රධානකොට, සියලුම ශ්රමණ පරිභෝග වස්තූන් පසේ බුදුවරුන් සත්නම ඉදිරියෙහි තබා, ‘මේ සියලු පිරිකර ඔබ හැමදෙනා වහන්සේ විෂයෙහි දෙමු’යි කියා, උන්වහන්සේට දානය පිරිනැමූ රජතුමා හා දේවිය යන දෙදෙනා දන් වළඳා අවසන් වූ පසේබුදුවරුන් වෙත, දොහොත්මුදුන් දී නමස්කාර කරමින්ම බලා සිටියහ. උන්වහන්සේ සත්නම අතුරෙන් ‘සංඝත්ථෙර’ වූ පසේ බුදුරජාණන් වහන්සේ, රජු ඇතුළු පිරිසට අනුමෝදනා බණ වදාරමින්, මෙසේ පැවසූ සේක.
ආදිත්තස්මිං අගාරස්මිං - යං නීහරති භාජනං,
තං තස්ස හොති අත්ථාය - නො ච යං තත්ථ ඩය්හතී
තං තස්ස හොති අත්ථාය - නො ච යං තත්ථ ඩය්හතී
ගිනිගත් ගෙයකින් යම් බඳුනක් බැහැර කෙරේද? එය ඔහුට ප්රයෝජන පිණිස පවතී. එසේ නොවුණහොත්, එය එහි දැවී යයි.
එවමාදිපිතො ලොකො - ජරාය මරණෙන ච,
නීහරෙථෙව දානෙන - දින්නං හොති සුනීභතන්ති
නීහරෙථෙව දානෙන - දින්නං හොති සුනීභතන්ති
එසේම ලෝකයා ජරාවෙන් ද, මරණයෙන් ද, ගිනිගෙන ඇත්තේය. දන්දීම (ගිනිගත් දෙයින්) බඩු ඉවත් කිරීමක් වැනිය. දුන් දේ නම්, මැනවින් රැකගත් දෙයක් වේ.
මෙහි ‘ආදිත්තස්මිං’ යනු ‘එවේලෙහි ගිනිගත්’, යන අර්ථයි. ‘භාජනං’ යනු ‘කිසියම් උපකරණයක්’ යන අර්ථයි. ‘නො ච යං තත්ථ’ යනු ‘එහි යමක් දැවේද? යටත් පිරිසෙයින් තණ ඇතිරියක් වුවත්, ඒ සියල්ල ඔහුට අනුපකාරීම වේ’ යන අර්ථයි. ‘ජරාය මරණෙනච’ යන්න ප්රකට දේශනාවකි. අර්ථ වශයෙන් මෙය, ‘එකොළොස් ගින්නෙන් ඇවිලගත්, ලෝකයෙන් දශවිධ දාන වස්තුවට වැටෙන, ඒ ඒ පිරිකර දානය වූ කලී, සිතාමතා බඩු ඉවත් කරගැනීමක් වැනිය’ යන අර්ථයි. ‘දින්නං’ යනු ‘අල්ප වශයෙන් හෝ බොහෝ වශයෙන් හෝ යමක් දෙන ලදද? එය මැනවින් රැකගත් දෙය නම් වේ’ යන අර්ථයි.
මෙසේ සංඝත්ථෙර වූ පසේ බුදුරජාණන් වහන්සේ, ස්වකීය අනුමෝදනාව නිමකොට, ‘මහරජතුමනි, අප්රමාදීව කටයුතු සිදුකළ මැනවැ’යි, රජුට ඔවදන් දී, අහසට පැන නැගී රජමාලිගාවේ කර්ණිකාව අතරින් නික්ම, නන්දමූලක පර්වත ප්රාන්තය බලා වැඩි සේක. රජු විසින් උන්වහන්සේට පිදූ පිරිකර ද, උන්වහන්සේ සමග ම අතුරුදන් වී නන්දමූලක පර්වත ප්රාන්තයෙහි ම, නිසි තැනෙක තැන්පත් විය. රජුගේද රාජදේවියගේ ද ශරීරයත්, අධික වූ ප්රීතියෙන් පිරී ගියේ. මෙසේ සංඝත්ථෙර පසේබුදුරජාණන් වහන්සේ රජමැදුරෙන් ඉවත්ව වැඩිය පසු, සෙසු පසේ බුදුවරු එක් එක් නම, එක් එක් ගාථාව බැගින් අනුමෝදනා පිණිස වදාරා, එකී අයුරෙන්ම ස්වකීය පිරිකරත් සමගම නන්දමූලක පර්වත ප්රාන්තය කරා වැඩියහ. උන්වහන්සේ වදාළ ගාථා පහත දැක්වේ.
3. යම් පුද්ගලයෙක් උට්ඨාන වීර්යයෙන් උපයාගත් දැයින්, ධර්මලාභී උතුමකුට දන් දේද? ඒ තැනැත්තා යමයාගේ ‘වේතරණී’ නිරය ඉක්මවා, දිව්යමය ස්ථානයන්ට පැමිණේ.
4. දානයත් යුද්ධයත් සමාන යැයි කීහ. සත්පුරුෂ වූ ටිකදෙනෙක්, බොහෝ දේ ජයග්රහණය කෙරෙති. ඉදින් ශ්රද්ධාවෙන් යුතුව, සුලු දෙයක් දන් දුන්නත්, එයින් ඔහු පරලොවදී ද, සැපයට පත්වේ.