7. ඉන්ද්රිය ජාතකය (423)
‘යො ඉන්ද්රියානං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව, බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, ගිහි කල භාර්යාව විසින් පොළඹවන ලද, භික්ෂුවක අරබයා වදාළ සේක. සැවැත් නුවර විසූ එක්තරා කුල පුත්රයෙක් බුදුරදුන්ගෙන් බණ අසා, ‘මට මේ ගිහිගෙයි වසමින් ඒකාන්ත පරිපූර්ණ වූ, ඒකාන්ත පාරිශුද්ධ වූ, බ්රහ්ම චර්යාව රකින්නට නොහැකිය. නෛර්යාණික වූ ශාසනයෙහි පැවිදි වී, දුක් කෙළවර කරන්නෙමැ’යි, කල්පනා කොට, තමාට අයත් සියලුම සම්පත් සිය අඹු දරුවන්ට පාවා දී, බුදුරදුන් වෙත ගොස්, උන්වහන්සේට වැඳ පැවිද්ද ඉල්ලා සිටියේය. බුදුරජාණන් වහන්සේ ද, ඔහුට පැවිද්ද දෙවා වදාළ සේක. ඔහු දැන් පිණ්ඩපාතයෙන් යැපේ. ස්වකීය ආචාර්ය-උපාධ්යායන් වහන්සේ සමග පිඬු පිණිස හැසිරෙන මේ නවක භික්ෂුවට, නවක භාවය නිසා ද, භික්ෂූන්ගේ බහුල භාවය නිසා ද, කුල ගෙදරකට දානය සඳහා වැඩියත්, එහි අසුනක් එක්වර ම හිමි නොවේ. ආසන ශාලාවක දී වුවද, තත්ත්වය එසේමය. ඔහුට අසුනක් හිමි වෙතොත්, හිමි වනුයේ නවක භික්ෂූන්ගේ කෙළවරේ ම වූ කුඩා පුටුවකි. නැතිනම්, ලෑලි පුවරුවකු. ආහාර ලැබීමේ දී ද, ඔහුට හිමිවනුයේ හැන්දට පොඩි වූ බත් හෝ කැඳය. තෝරා ගැනීමෙන් ඉතිරි වූ, වියලි කෑම වර්ගයද, දන්කුඩ හෝ වියලි බත්, කොතෙකුත් ඔහුට ලැබේ. ඒ ලැබුණත්, ඔහුට යැපෙන පමණ නො ලැබේ. මේ කරුණ නිසා, ඒ භික්ෂුව තමා ලැබූ ඒ ආහාරය ද රැගෙන ස්වකීය ගෙදර බලා යෑමට පුරුදු විය. ඔහු සතුටින් පිළිගන්නා, ඔහුගේ ගිහි කල බිරිය, පාත්රයේ ආති ආහාර ඉවතට විසිකොට දමා, ගෙදර සම්පාදිත කැඳ-බත්-සුප්-ව්යංජන ආදිය, භික්ෂුවට පිරිනමා වඳියි. මෙසේ රස තෘෂ්ණාවෙහි බැඳුණු, භික්ෂුවට පැරණි බිරියගෙන් මිදීමට නොහැකි විය. දිනක් භික්ෂුව ගැන කල්පනා කළ පැරණි බිරිය, ‘මේ භික්ෂු නම මා කෙරෙහි බැඳී ඇත්දැ’යි, විමසා බැලිය යුතු යැ’යි සිතා,
කිසියම් දිනෙක, දනව් වැසි පුරුෂයකු සිය ගෙදරට කැඳවා, කිරිමැටි ඇඟේ උලා, ඔහු නහවා ගෙහි හිඳුවා, සේවකයන් කිහිප දෙනකු කැඳවා, ඔවුන්ට අණකොට, ඉහත කී පුරුෂයාට ඒ ඒ කෑම-බීම-භෝජන ටික-ටික පිළිගන්වන්නට සැලැස්සුවාය. මෙසේ ඒ හැමදෙනාම, කමින්-බොමින් හිඳගෙන හුන්හ. ගෙයි දොරකඩ රථ්යක් නවත්වා, එහි රෝදවල ගොනුන් දිගේලි කොට තිබුණි. මේ සියල්ල හිතා-මතාම සංවිධානය කළ, මේ ගෙදර කාන්තාව, ගෙයින් පිටි පැත්තේ වූ කුටියක හිඳගෙන, කැවුම් උයන්නට පටන් ගත්තාය. මේ අතර භික්ෂු නම නිවෙසට පැමිණ, ගෙයි දොරකඩට වී සිටියේය. අලුතින් තාවකාලිකව කාන්තාව විසින් බඳවා ගනු ලැබූ ඉහත කී සේවකයන් අතුරෙන්, එක් සේවකයෙක් තෙරුන් දැක, ඒ බව සිය ස්වාමිදුවට කීයේය. මෙය වූ කලී, ඈ බලාපොරොත්තුවෙන්ම සිටි දෙයකි. සේවකයා ඇමතූ ඈ ‘ඔබ ගොස් පළමුකොට තෙරුන්ට වඳින්න. ඉන්පසු අන් ගෙදරකින් පිණ්ඩපාතය බලාපොරොත්තු වනු මැනවැ’යි භික්ෂුනමට කියන්නැ’යි, සේවකයාට උපදෙස් දුන් ඈ, තමාගේ කටයුත්තෙහි නිරත වූවාය. සේවකයා තෙරුන් වෙත ගොස්, තම ස්වාමිදියණිය තමාට උගන්වා ලූ වචන, කිහිප විටක් තෙරුන්ට කී නමුත්, ඔහු එතැනින් හෙල්ලුනේවත් නැත. භික්ෂුව කෙසේවත් එතැනින් නික්ම නො යන බව, තේරුම් ගත් සේවකයා ඒ බව, සිය ස්වාමිදුවට කීයේය. ඇය ගේ මැද්දෙන් ඉදිරියට අවුත් දොර රෙද්ද මෑත්කොට බලා, සේවකයන් දෙසට හැරී ‘පින්වතුනි, මේ ඇවිත් සිටින්නේ මාගේ දරුවන්ගේ පියා යැ’යි කීවාය. එසේ කියා වහා ඔහු වෙත ගොස් වැඳ, පාත්රය අතට ගෙන, භික්ෂුව, ගේ තුලට වඩමවාගෙන අවුත්, වඩා හිඳුවා, දානය වළඳවා, දන් වැළඳීමෙන් අනතුරුව, තෙරුන්ට නමස්කාර කළ ස්වාමිදුවණිය, ‘ස්වාමීනි, ඔබවහන්සේ මේ ගෙදරම ජීවත් වී, මෙහිම පිරිනිවන්පානු මැනව. ඔබ මේ ගෙදරින් නික්ම ගිය දා පටන්, මම තනිව ජීවත් වුණෙමි. වෙනත් විවාහයක් ගැන මෙතුවක් කලකට නොසිතුවෙමි. හිමියනි, සැමියකු නැතිව ගිහි ගෙයක ගැහැණියකට වාසය කිරීම ඉතා අපහසුය. ඒ නිසා මම අද, වෙනත් කුලයක සරණ පතා යන්නෙමි. ඈත දුර ජනපදයකට ගොස්, ජීවත් වන්නෙමි. ඔබතුමා අප්රමාදී ව, මහණදම් පුරනු මැනව. ඉදින් මාගෙන් වැරැද්දක් වී නම්, ඊට සමා වුව මැනවැ’යි කීවාය. ඇගේ ඒ වචන භික්ෂුවගේ හදවත පලා දමන්නක් වැනි විය. එබැවින් ඉතා අපහසුවෙන් මෙන්, භික්ෂුව කථා කරමින් ‘මම ඔබ අත්හැර දමන්නට අපොහොසත් වන්නෙමි. එබැවින් කොහේවත් නොගොස්, මෙහි ම නවතුව. මම සිවුරු හරින්නෙමි. එම නිසා මාගේ ඇඳුම්, අසවල් ස්ථානයට එවනු මැනව. මම මේ සිවුරු හා පාත්රය පිළියෙල කොට තබා, ඒවා භාර දී, ඔබ වෙත එන්නෙමැ’යි, කීයේය. ඇය ද එය, සතුටින් පිළිගත්තාය. මෙසේ කී භික්ෂුව වෙහෙරට ගොස්, ස්වකීය ආචාර්යා-උපාධ්යායයන් වහන්සේ ඉදිරිපිට, පා සිවුරු පිළියෙල කොට තබන්නට සූදානම් විය. එතන්හිදී, කිසියම් තෙරුන් වහන්සේ නමක් ‘ඇවැත්නි, ඔබ කුමක් නිසා මෙසේ කෙරේදැ’යි කී කල්හි, ‘ස්වාමීනි, මාගේ පැරණි බිරිඳ අත්හැර දමන්නට, මම අපොහොසත් වෙමි. ඒ හේතුව නිසා සිවුරු හැර යන්නට, තීරණය කෙළෙමැ’යි භික්ෂුව කීයේය. මෙහි සිටි කීප නමක් භික්ෂූහු, ඔහුගේ අකමැත්තෙන්ම බුදුරදුන් වෙතට ඇදගෙන මෙන්, ගියහ. ඒ දුටු බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, අකමැත්ත පිට මේ භික්ෂුව, මෙහි කැඳවාගෙන ආවේ කුමක් නිසාදැ’යි විමසූ සේක. ‘ස්වාමීනි, මොහු මහණකම ගැන කලකිරී සිවුරු හරින්නට කැමති බව කියයි. එබැවින් අපි මොහු, ඔබවහන්සේ වෙතට රැගෙන ආවෙමු’යි භික්ෂුහු කීහ. ‘මහණ, මේ කලකිරීම ඇත්තක්ද? ‘ස්වාමීනි, එය ඇත්තකි.’ ‘මහණ, ඔබ කුමක් නිසා කලකිරුණෙහිද?’ ‘ස්වාමීනි, මාගේ ගිහි කල භාර්යාව නිසා පැවිද්දෙහි කලකිරුණෙමැ’යි, සියලු විස්තර බුදුරදුන් හමුවේ, ඒ භික්ෂුව ප්රකාශ කෙළේය. ‘මහණ, ඔය ස්ත්රිය ඔබට අනර්ථකාරී වූයේ දැන් පමණක් නොවේ. පෙර ද ඔබ ඇය නිසා, චතුර්විධ ධ්යානයන්ගෙන් පිරිහී මහත් දුකකට පත්වී, මා නිසා ඒ දුකින් මිදී, නැති වූ ධ්යානයන් නැවත ලබා ගත්තේ යැ’යි වදාරා, මේ අතීත කථා පුවත, මෙසේ දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, බෝසත් තෙමේ රාජකීය පුරෝහිතයාගේ බැමිණියගේ කුස තුළ පිළිසිඳ ගත්තේය. නිසිකල්හි, කුමරු උපත ලැබුවේය. එදා මුළු නුවර තිබූ සියලු ආයුධ දිලිසෙන්නට පටන් ගත්තේය. මේ හේතුව නිසා දෙමාපියෝ කුමරුට ‘ජෝතිපාල’ කුමාරයා යැයි නම් කළහ. නිසිවියට පත් කුමරා තක්ෂිලාවට ගොස් සියලු ශිල්ප උගෙන, පෙරළා පැමිණ රජුට ශිල්ප දක්වා, රජු ඇතුළු පිරිස සතුටට පත් කෙළේය. මෙසේ ටික කලක් වැස, කිසියම් දිනෙක සියලු ඉසුරු හැර දමා, කිසිවකුට නො දන්වා, ප්රධාන වාසල් දොරටුවෙන් නික්ම ගොස්, කැලයට පිවිස ශක්රයා විසින් දෙන, දිවුල් ගසක් අසල පිහිටි අසපුවක, සෘෂි පැවිද්දෙන් පැවිදිව, ධ්යාන හා අභිඥාවන් උපදවා ගත්තේය. ඔහු එහි වාසය කරමින්, එහි සිටි සිය ගණන් සෘෂිවරුන්ට ප්රධානියා විය. මෙසේ එම ස්ථානයෙහි, සෘෂිවරු මහා පිරිසක් එකට ජීවත් වූහ. මේ ප්රධාන සෘෂිවරයා ‘සරභංග ශාස්තෲ’ නමින් ප්රකට විය. ඔහුගේ උපස්ථානයට ජ්යෙෂ්ඨ අන්තේවාසිකයෝ, සත්නමක් වූහ. ඔවුන් අතුරෙන් ‘සාලිස්සර’ නම් වූ සෘෂිවරයා අසපුවෙන් නික්ම ගොස්, ‘සුරට්ඨ’ ජනපදයෙහි ‘සාතෝදිකා’ නම් නදීතෙර නොයෙක් දහස් ගණන් සෘෂීන් පිරිවරාගෙන, වාසය කෙළේය. සරභංග සෘෂිවරයාගේ වෙනත් ගෝලයකු වන, ‘මෙණ්ඩිස්සර’ නම් වූ සෘෂිවරයා, ‘පජ්ජෝතක’ රජුගේ විජිතයෙහි, ‘ලම්බචූළක’ නම් වූ නියම්ගම ඇසුරුකොට, නොයෙක් දහස් ගණනින් සෘෂීන් පිරිවරාගෙන, වාසය කෙළේය. ‘පබ්බත’ නම් වූ අනෙක් ශිෂ්ය සෘෂිවරයා, එක් කැලෑබද ජනපදයක් ඇසුරු කොටගෙන, නොයෙක් දහස් ගණන් සෘෂීන් පිරිවරාගෙන, වාසය කෙළේය. සිවුවැනි ශිෂ්යයා වන ‘කාළදේවල’ සෘෂිවරයා, අවන්තියේ දක්ෂිණාපථයෙහි, එක් ඝන වූ ශෛල පර්වතයක් ඇසුරු කොටගෙන, නොයෙක් දහස් ගණන් සෘෂීන් පිරිවරාගෙන, වාසය කෙළේය. පස්වැනි ශිෂ්යයා වන ‘කිසවච්ඡ’ නම් වූ සෘෂිවරයා, තනිව ම ‘දණ්ඩකී’ රජුගේ ‘කුම්භවතී’ නම් නුවර ඇසුරුකොට ගෙන, රාජකීය උද්යානයෙහි වාසය කෙළේය. සෘෂිවරයාගේ දෙවැනි ශිෂ්යයා වූ තවුසා, බෝසත් සෘෂිවරයාගේ ප්රධාන උපස්ථායකයා වී, එතුමාගේ සමීපයෙහි වාසය කෙළේය. කාළදේවල සෘෂිවරයාගේ මලණුවන් වන, නාරද නම් සෘෂිවරයා මධ්යම ප්රදේශයෙහි ආරණ්යයක, ‘අරඤ්ජගිරි’ නම් වූ පර්වත ජාලයක් මැද, තනිවම කිසියම් ගුහා ලෙනක, වාසය කෙළේය.
අරඤ්ජරගිරි පර්වත වළල්ලට නුදුරෙන් මිනිසුන්ගෙන් ගැවසී ගත්, එක් නියම්ගමක් ඇත. ඒ ගම මැදින් ගලාබසින, මහත් වූ නදියකි. මේ නදියෙහි බොහෝ මිනිස්සු බැස නාති. උසස් රූ සිරියෙන් යුතු ගණිකාවෝ ද පුරුෂයන් පොළඹවමින්, ඒ නදී ඉවුරෙහි වාඩි වී හිඳිති. ඔවුන් අතුරෙන් එක් ගණිකාවක දැක, නාරද තවුසා ඇය කෙරෙහි, පිළිබඳ සිතක් ඇතිකොට ගත්තාය. එයින් ම ඔහුගේ ධ්යානය, අතුරුදන් විය. ආශාව නිසා නිරාහාරව කල් ගෙවූ ඔහු, වියලී ගිය ශරීරයෙන් යුතුව, සතියක් එකම තැන වැද හොත්තේය. ඔහුගේ සොයුරා වන කාළදේවල සෘෂිවරයා, සිය මලණුවන් ගැන ආවර්ජනා කොට, සිදුවූ සියල්ල තත්වාකාරයෙන් දැන, අහසින් අවුත්, මලණුවන් වෙසෙන ලෙනට පිවිසියේය. නාරද සෘෂිවරයා එය දැක, ‘උතුමාණෙනි, මෙහි කුමට පැමිණියේ දැ’යි ඇසීය. ‘පිනැත්ත, ඔබ අසනීපයෙන් පසුවන්නෙකි. එබැවින් ඔබට පිළිදැගුම් කරන්නට පැමිණියෙමැ’යි කීයේය. ඉක්බිති නාරද තවුසා කාළදේවල තවුසාට දොස් කීයේය. ‘ඔබ බොරුකාරයෙකැ’යි, හිස් වචන කතා කරන්නෙකැ’යි කියා, මුසාවාදයෙන් චෝදනා කෙළේය. කාළදේවල තවුසා ද, සිය මලණුවන්ගේ මේ ස්වභාවය ගැන, සිය සිත වික්ෂිප්ත කොට නොගෙන, ‘මොහුගේ මේ ස්වභාවය දුරු කළ යුතුයැ’යි කල්පනා කොට සාලිස්සර සෘෂිවරයා කැඳවා ගෙන ආවේය. නාරද සෘෂියා ඔහුට ද, මුසාවාදයෙන් චෝදනා කෙළේය. මෙයින් නොනැවතුණු කාළදේවල සෘෂියා මෙණ්ඩිස්සර සෘෂිවරයා ද, පබ්බතිස්සර සෘෂිවරයා ද, යන දෙදෙනා කැටුව ආවේය. නාරද සෘෂියා ඒ දෙදෙනාට ද, මුසාවාදයෙන් චෝදනා කෙළේය. මෙයින් පසුනොබා කාළදේවල තවුසා, ‘මම සරභංග ශාස්තෲන් වහන්සේ කැටුව එන්නෙමැ’යි කියා, අහසින් ගොස් උන්වහන්සේ කැඳවාගෙන ආවේය. එතුමා අවුත් නාරද තවුසා දෙස බලා, ‘මොහු ඉන්ද්රියයන්ගේ වසඟයට ගොදුරු වූවෙකැ’යි දැන, ‘කිමෙක්ද? නාරදය, ඔබ ඉන්ද්රියයන්ගේ වසඟයට ගොදුරු වූවෙහි දැ’යි විචාළේය. මේ කටහඬ ඇසූ නාරද සෘෂිවරයා අපහසුවෙන් නැගිට, එතුමාට වැඳ ‘ඇදුරුතුමනි, එසේයැ’යි කීයේය. ‘නාරදය, ඉන්ද්රියයන්ගේ වසඟයට නතු වූවාහු නම්, මේ ආත්ම භාවයේ දී ම වියලී ගොස්, දුක් අනුභව කොට ඊළඟ ආත්මයේ දී, නිරයෙහි උපදින්නාහු යැ’යි කියා, මෙසේ ද පැවසීය.