6. චේතිය ජාතකය (422)
‘ධම්මො භවෙ හතො හන්ති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, දෙව්දතුන්ගේ ‘පොළොව පලා යාම’ නිමිති කොටගෙන වදාළ සේක. එදිනම දම් සභාවෙහි රැස් වූ භික්‍ෂූහු ‘ඇවැත්නි, දෙව්දත් තෙමේ මුසාබස් කියා පොළොව පලා අවීචියට ගොස්, එහි උපත ලැබුවේ යැ’යි, මෙසේ ඒ ගැන කතා කරමින් හුන්හ. එවිට එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ, භික්‍ෂූන් සාකච්ඡා කළ කරුණු ඔවුන්ගෙන් ම අසා දැන, ‘මහණෙනි, දෙව්දතුන්ට මුසා බස් කීම නිසා පොළොව පලා යාමට සිදු වූයේ දැන් මතු නොව, පෙර ද ඔහු බොරුව හේතු කොටගෙන ම පොළෝ ගැබ තුළට පිවිසියේ ම යැ’යි වදාරා මේ අතීත කතාපුවත මෙසේ ගෙනහැර දැක්වූ සේක.
පෙර ප්‍රථම කල්පයෙහි ‘මහා සම්මත’ නමින් රජෙක් පහළ ව, වසර අසංඛ්‍යයක් ආයු වින්දනය කෙළේය. ඔහුගේ පුතා ‘රෝජ’ නමි. රෝජගේ පුතා ‘වරරෝජ’ ය. ඔහුගේ පුතා ‘කල්‍යාණ’ නමි. කල්‍යාණගෙ පුතා ‘වරකල්‍යාණ’ ය. ඔහුගෙ පුතා ‘උපෝසථ’ ය. උපෝසථගේ පුතා ‘වරඋපෝසථ’ නමි. වරඋපෝසථට ‘මන්ධාතු’ නමින් පුතෙක් විය. ඔහුගේ පුතා ‘උපචර’ ය. ‘අපචර’ යනු ද ඔහුටම කියන තවත් නමෙකි. ඔහු ‘චේතිය රටේ ‘සොත්‍ථිවතී’ නුවර රජකම් කෙළේය. ඔහු චතුර්විධ සෘද්ධියෙන් සමන්විත රජෙකි. පොළොවට ඉහළින් හැසිරිය හැකි ඔහු, අහසින් යා හැකි පුද්ගලයෙකි. කඩු අතින් ගත් දිව්‍ය පුත්‍රයෝ සිවුදෙනෙක්, සිවු දිසාවන්හි සිට මේ රජු රකිති. රජුගේ සිරුරින් නිති සඳුන් සුවඳ වහනය වෙයි. ඔහුගේ මුවින් උපුල් මල් සුවඳ හමා යයි. රජුගේ පුරෝහිත තනතුර දැරුවේ ‘කපිල’ නම් බ්‍රාහ්මණ උතුමෙකි. කපිල බමුණාට ‘කෝරකලම්බ’ නමින් බාල සොයුරෙක් විය. ඔහු රජු සමග එකම ආචාර්යවරයකු ළඟ ශිල්ප උගත්තෙකි. කුඩා කල සිටම, එක්ව හැදී වැඩුණු රජුගේ මිතුරෙකි. ඒ මිතුරුකම නිසා කුමාර කාලයේ දී ම ඔහු තම මිතුරා අමතා, ‘මම කවදා නමුත් මේ රටේ අගරජු වන්නෙමි. එදින මම ඔබ මගේ පුරෝහිතයා කොට ගන්නෙමැ’යි කියා, කෝරකලම්බට පොරොන්දු විය. එහෙත් ඔහු රාජ්‍යයට පත්වූ නමුදු, තම පියරජතුමාගේ පුරෝහිතයා වන කපිල බමුණා. පුරෝහිත තනතුරින් පහකිරීමට අපොහොසත් විය. පුරෝහිතතුමා, රජුට සේවය කිරීම සඳහා රජමැදුරට පැමිණෙන කල්හි, ඔහු කෙරෙහි ගෞරවයෙන්, සැලකිලි දක්වන්නට රජුට සිදුවිය. පුරෝහිත බමුණා ද රජුගේ තමාට ඇති ගෞරවය හා සැලකිලි ප්‍රමාණවත් කොට ගෙන, ‘නියම රජයක් නම්, සමවියේ ඇති අය විසින් මැනවින් ආරක්ෂා කොටගත යුත්තකි. එබැවින් මම රජුගෙන් අසා බලා පැවිදි වන්නෙමැ’යි සිතා, රජු හමුවට ගොස්, දේවයිනි, මම දැන් මහලුය. මට තරුණ පුත් කුමරෙක් ද ඇත. ඔහු පුරෝහිතයා කරගනු මැනව. මම පැවිදි වන්නෙමැ’යි කීය. මෙසේ රජුගේ අනුමැතිය ලැබූ, කපිල බමුණා සිය පුත්‍ර කුමාරයා මාලිගාවට කැඳවා ගෙනැවිත් ඔහු පුරෝහිත තනතුරෙහි පිහිටුවා, ඉන් අනතුරුව රාජකීය උද්‍යානයට පිවිස, සෘෂි පැවිද්දෙන් පැවිදිව, ධ්‍යාන හා අභිඥා උපදවා ගෙන, සිය පුතු ඇසුරනේ යැපෙමින් ඒ උයනෙහිම වාසය කෙළේය.
මේ අතර කෝරකලම්බක තෙමේ, සිය වැඩිමල් සොයුරා ගැන කල්පනා කරමින්, ‘මොහු පැවිදි වූ මුත් ඔහුගේ තනතුර මට ලබා නොදුන්නේ යැ’යි, සිය සහෝදරයා කෙරෙහි වෛර බැඳගෙන, තරහින් කාලය ගත කෙළේය. කිසියම් දිනෙක රජු හමුවට ගිය ඔහු, රජු සමග සුව-දුක් කතා කරමින් සතුටු සාමීචියේ යෙදුණේය. එහිදී රජතුමා, ‘හිතවත් කෝරකලම්බක, ඔබ තවම පුරෝහිත තනතුරට පත් නොවූයෙහි දැ’යි ඇසීය. ‘එසේය දේවයිනි, පුරෝහිත තනතුරේ අයිතිය ඇත්තේ මාගේ සහෝදරයාටය. ‘හිතවත, ඔබේ සොයුරා පැවිදි වූයේ නොවේද? ‘එසේය දේවයිනි, පුරෝහිත තනතුරේ අයිතිය ඇත්තේ මාගේ සහෝදරයාටය. ‘හිතවත, ඔබේ සොයුරා පැවිදි වූයේ නොවේද? ‘එසේය දේවයිනි, ඔහු පැවිදි වූයේ පුරෝහිත තනතුර සිය පුතුට දීමෙන් අනතුරුවය. ‘හිතවත, එස් වී නම්, ඒ තනතුර ඔබ බාරගෙන කරන්න. ‘දේවයිනි, ප්‍රවේණියෙන් පැමිණෙන තනතුරකින් එනම් මගේ සොයුරාට ඇති අධිකාරියෙන්, ඔහු පහකොට, එය මාගේ අයිතියට ගැනීම, කිසිසේත් නො කළ හැක්කකි. ‘එසේ නම් හිතවත, මට නුඹ, වැඩිමහලු පුද්ගලයා බවට, ප්‍රකාශයට පත්කොට, ඔබේ වැඩිමහල් සොයුරා, බාලයා බවට ප්‍රකාශයට පත් කරන්නෙමි.’ ‘දේවයිනි, එය කෙසේ නම් කළ හැක්කක්ද?’ ‘හිතවත, එය කළ හැක්කේ මුසාවාද කීමෙනි.’ ‘දේවයිනි, මාගේ සහෝදරයා මහත් වූද, විස්මයජනක වූ ද, පුදුම සහගත හැකියාවන්ගෙන් සමන්විත විද්‍යාධරයෙකි. ඒ බව ඔබවහන්සේ නො දන්නා සේක්ද? ඔහු නැති දේ මවා පෙන්වීමෙන් ඔබ මුළා කරන්නේය. ඔබ ආරක්ෂා කෙරෙන දේව පුත්‍රයන් සිවුදෙනා පවා, අතුරුදහන් වූවන් මෙන්, ඔබට පෙනෙන්නට සලස්වන්නේය. ඔබේ කයෙන් හා මුවෙන් හමා විහිදෙන සුවඳ දුඟදක් මෙන් කරන්නේය. එපමණක් නොව ඔබ අහසින් ඇද දමා, බිම හෙළූ තැනැත්තකු මෙන්, කරන්නේය. එයින් නොනැවතී ඔබ පොළොවට පිවිසෙන්නකු බවට මවා පෙන්වන්නේය. එවිට ඔබතුමා ඔබේ කතාවෙහි ස්ථිරව පිහිටා සිටින්නට, අපොහොසත් වන්නෙහිය.’ ‘හිතවත, ඔබ මට මෙසේ අනතුරු හැඟවීම් නො කරව. මම එය ඔබට සිදුකොට ම, පෙන්වන්නෙමි.’ ‘දේවයිනි, ඔබවහන්සේ එය කවදා නම් කරන සේක්ද?’ ‘මම එය අදින් සත්වැනි දිනයේ කරන්නෙමැ’යි රජතුමා කීයේය. සතියක් ඇතුළත මේ කතාව, මුළු නුවර පුරා පැතිර ගියේය. රටේ විවිධ උදවිය, මේ ගැන නොයෙක් කතා කීහ. ‘අපේ රජතුමා මුසාවාද කියා, වැඩිමහල්ලකු ලාබාලයකු කරන්නේය. එසේ කොට පුරෝහිත තනතුර, බාලයාට ලැබෙන්නට සලස්වන්නේය. මේ මුසාවාදය යනු කුමක්ද? කෙබඳු දෙයක්ද? මුසාවාදය නම්, නිල් පැහැති හෝ කහ පැහැති හෝ දෙයක්ද? නැතිනම් එය වෙනත් කෙබඳු පැහැයක් ඇති දෙයක්දැ’යි, මෙසේ මහජනයාට මේ මුසාවාදය, විවිධ පරිකල්පනාවන් උපදවන්නක් විය. එසේ වීමට හේතුව එවකට ලෝකය සත්‍යවාදී අදහස්, ප්‍රකාශ කරන කාලයක් වීමයි. ‘මුසාවාදය නම් මෙබඳු යැ’යි, කිසිකෙනෙක් නොදත්හ.
ඒ නිසා පුරෝහිත පුත්‍රයා, රටේ පැවැති මේ කතාව අසා, සිය පියා වන කපිල තවුසා හමුවට ගොස්, ‘පියාණෙනි, රජතුමා මුසාබස් කියා ඔබ බාලයා බවට පත්කොට, අපේ ප්‍රවේණිගත පුරෝහිත තනතුර, මාගේ සුලු පියාට දෙන්නේ යැ’යි කීයේය. ‘පුත, බොරු කියා අපේ තනතුර මගේ සොයුරාට ලබාදීම වූ කලී, රජුට ලේසි පහසු දෙයක් නොවේ. මෙය කරන්නට යන්නේ කවදාද?’ ‘පියාණෙනි, අදින් සත්වැනි දිනයෙහි, එය සිදුකිරීමට බලාපොරොත්තු වන බව සැලයි.’ ‘පුත, එසේ වීනම්, එදාට මට එය දැනුම් දෙවැ’යි, තාපසතුමා සිය පුතුට කීයේය. නියමිත දිනය උදාවිය. රටේ මහජනයා ‘මුසාවාදය බලන්නෙමු’යි රාජාංගනයට (රජමිදුලට) රැස්ව, මැසිපිට මැසි බැඳ, වාඩි වී බලා සිටියහ. තරුණ පුරෝහිත කුමාරයා ද, වහා ගොස් තම පියතුමාට ඒ බව දැනුම් දුන්නේය. රාජාභරණයෙන් අලංකාර වූ රජතුමා රජමැදුරෙන් නික්ම මහජනතාව මැද, රාජාංගනයෙහි අහසෙහි සිටියේය. තාපසතුමා ද අහසින් ම එතැනට අවුත්, රජුගේ ඉදිරියෙහි පත්කඩයක් එලා, ආකාශය මතය වාඩි විය. අනතුරුව තවුසා රජු අමතා, ‘මහරජතුමනි, ඔබ මුසාවාද කියා, ලාබාලයකු වැඩිමහල්ලකු කොට, ඔහුට පුරෝහිත තනතුර ප්‍රදානය කිරීමට කැමැත්තේය යන මෙය, කිමෙක්ද? සත්‍යයක්දැ’යි ප්‍රශ්න කරනු කැමැත්තේද? ‘ආචාරීනි, එසේය. එය මා විසින් ප්‍රකාශයට පත්කරන ලද්දකැ’යි රජතුමා උත්තර දුන්නේය. එවිට තාපසයා රජුට අවවාද කෙරෙමින් ‘මහරජතුමනි, මුසාවාදය නම්, ඉතා බැරෑරුම් ක්‍රියාවෙකි. ඇති ගුණ නසන්නකි. සිවු අපායන්හි, උපත ලබා දෙන්නකි. මුසාබස් කියන රජෙක් ධර්මය නසන්නෙකි. ධර්මය නසන ඔහු, තෙමේ ම වැනසේ යැ’යි කියා, මේ පළමු ගාථාව ප්‍රකාශ කෙළේය.