5. ගංගමාල ජාතකය (421)
‘අංගාරජාතා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, පොහෝ කර්මයක් නිමිති කොටගෙන වදාළ සේක. කිසියම් දිනෙක බුදුරජාණන් වහන්සේ, පෙහෙවස් සමාදන් ව හුන් උපාසක පිරිසක් අමතා, ‘උපාසකවරුනි, ඔබ හැම යහපත් දෙයක් ම කරන ලදි. පෙහෙවස් සමාදන් වූවන් විසින් දන්දිය යුතුමය. සිල් රැකිය යුතුමය. ක්‍රෝධ නොකළ යුතුමය. මෛත්‍රී වැඩිය යුතුමය. පෙහෙවස් විසිය යුතුමය. පැරණි පඬිවරු ද, සිල් සමාදන් විය යුතු කාලය වන පැය විසිහතරෙන් පැය දොළසක් පමණක් සිල් සමාදන් වීමෙනුත්, මහත් වූ යශස් ලැබූහ’යි වදාරා උපාසක පිරිසගේ ඉල්ලීම මත, මේ අතීත කථාව මෙසේ වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, එනුවර ‘සුචි පරිවාර’ නම් වූ සිටුවරයෙක් ජීවත් විය. අසූකෙළක් ධන සම්පත් ඇති, මේ සිටුතුමා දානාදී පිංකම් ඇලුනෙකි. ඔහුගේ අඹුදරුවෝ ද, යන මේ සියලු දෙනා, මසකට දින හයක් පෙහෙවස් සමාදන් වෙති. එසමයෙහි අප බෝසත් තෙමේ, කිසියම් දිළිඳු කුලයක ඉපිද කුලී වැඩ කරමින්, දුකසේ ජීවත් වෙයි. කිසියම් දිනෙක කුලී වැඩ සොයමින් සිටු ගෙවල් වැනි, පොහොසත් ධනවතුන්ගේ ගෙවල්වලින් ‘වැඩට කිසිවකු අවශ්‍යදැ’යි සොයමින්, ඇවිද ගිය ඔහු, කිසියම් දිනෙක, සුචිපරිවාර සිටුවරයාගේ නිවෙසට ගියේය. සිටුවරයා ගෙතුළින් එළියට පැමිණියේය. බෝසත් තෙමේ සිටුතුමාට වැඳ, පැත්තකට විය. ‘තරුණය, ඔබ කුමට මෙහි පැමිණියෙහිදැ’යි සිටුතුමා බෝසත් තරුණයාගෙන් විමසීය. ‘ස්වාමීනි, මම මෙහි පැමිණියේ ඔබේ නිවසෙහි කුලී වැඩක් ඇතොත්, එය කරදෙනු සඳහාය’ සිටුතුමා, සිය ගෙදරට වැඩට පැමිණෙන සෑම කෙනෙකුටම, මුලින් අවවාද කොට වැඩට බඳවා ගැනීම, සිරිතක් කොට ගත්තෙකි. ‘මාගේ ගෙදර වැඩ කරන්නට කැමති නම්, ඔබ සිල් රකින්නට ද, කැමැති විය යුතුමය. එසේ කළ නොහැකිනම්, ඔබට මේ නිවසින් ලැබෙන රැකියාවක් නැති බව, තේරුම් ගනුව’යි, සිටුතුමා වැඩට පැමිණෙන ඕනෑම කෙනෙකුට, එසේ පැමිණි මුල් දිනයේ දී ම දන්වයි. දැනට සිටු මාලිගයෙහි වැඩකරන සියලු දෙනාම පාහේ, ඒ කොන්දේසිය මත වැඩට බඳවා ගත් අය වෙති. එහෙත් බෝසත් තරුණයාගෙන් පුදුමයකට මෙන්, සිටුතුමා මේ ප්‍රශ්නය ඇසුවේ නැත. බෝසත් තරුණයා වැඩ ඉල්ලා පැමිණි විට, ‘දරුව, යහපති. ඔබේ කුලිය ගැන දැනුම් දී වැඩකරව’යි, සිටුතුමා ඔහුට කීයේය. තරුණයා ද එතැන් පටන් කීකරුව, සියලු වැඩ කරට ගෙන, තමාගේ වෙහෙස ද ගණන් නොගෙන, සිටුතුමාගේ සියලු කටයුතු මැනවින් ඉටුකරන්නට පටන් ගත්තේය. උදෑසනම සිටුමැදුරට වැඩට පැමිණෙන ඔහු, සැඳෑ කල වැඩ නිමකරයි. මෙසේ ස්වකීය පහසුව ගැන, කිසිදු තැකීමක් නොකරන ඔහු, සිටුතුමාගේ පහසුව ගැනම සිත යොමුකොට වැඩකරයි.
ඉක්බිති කිසියම් දිනෙක නගරයෙහි සැණකෙළි උත්සවයක් ආරම්භ විය. මහසිටුතුමා දාසියක අමතා, අද පොහෝ දවසකි. එබැවින් සිටු මැදුරෙහි වෙසෙන කම්කරුවන්ට උදෑසනින් ම බත් පිස දෙව. එවිට ඔවුහු කල්තියා අනුභව කොට, පෙහෙවස් සමාදන් වන්නාහුයැ’යි කීයේය. මේ අතර බෝසත් තරුණයා ද, එදින අලුයමින් නැගිට වැඩට ගියේය. ‘අද පොහෝ දිනෙකැ’යි යනු ද, ‘ඔබ ද පෙහෙවස් සමාදන් වන්නැ’යි යනුවෙන් ද කිසිවෙක් තරුණයාට දැනුම් දුන්නේ නැත. සෙසු කම්කරුවෝ උදෑසනින් ම ආහාර අනුභව කොට, පෙහෙවස් සමාදන් වූහ. සිටුතුමා ද, අඹුදරුවන් සහිතව, පිරිවර ජනයා ද සහිතව, පෙහෙවස් සමාදන් විය. සිල් සමාදන් වූ මේ සියලු දෙනා, තම තමන්ට හුරු පුරුදු වූ වාසස්ථානයන් වෙත ගොස්, සිල් ආවර්ජනා කරමින් හුන්හ. බෝසත් තෙමේ මේ කිසිවක් ගැන නොදැන, මුළු දවස පුරා වැඩකොට, ඉර බැසයන වේලාවෙහි වැඩ නිමකොට, ආහාර සඳහා සිටු මැදුරෙහි මුළුතැන්ගෙට පැමිණියේය. ඒ දුටු බත් බෙදා දෙන සේවිකාව හෙවත් කෑම උයන මෙහෙකාරිය, පළමුකොට තරුණයාට අත් සෝදාගැනීම සඳහා පැන් භාජනයක් පිරිනමා තැටිය ගෙන ඊට බත් බෙදා බෝසතුන්ට පිළිගැන්වූවාය. වෙනදා මේ වෙලාව වනවිට එම ස්ථානයේ මහා ඝෝෂාවක් පවතී. එම නිසා බෝසත් තෙමේ ඒ සේවිකාව අමතා, ‘මෙහි වැඩ කරන අය කොහි ගියාහුදැ’යි ඇසීය. ‘ඒ සියලු දෙනා පෙහෙවස් සමාදන් වී, තම තමන් වසන තැන්වලට වී සිල් ආවර්ජනා කරමින් වෙසෙතැ’යි, සේවිකාව කීවාය. මේ ඇසූ බෝසත් තරුණයා ‘මේ තරම් සිල්වතුන් පිරිසක් මැද වෙසෙන, එකම දුස්සීලයා මම වෙමි. එබැවින්, මට, තවදුරටත් දුසිල්වත්ව විසිය නොහැකිය. මම ද සිල්වතකු වන්නෙමැ’යි කල්පනාකොට, කෑම ද නොකා ම, සිටුවරයා වෙත ගොස් ‘සිටුතුමනි, ‘මම දැන් මේ වෙලාවේ සිල් සමාදන් වුවහොත්, එය පෙහෙවස් සමාදන් වීමක් වේද? නැතහොත් එසේ නොවේ දැ’යි ඇසීය. ‘දරුව, පාන්දරින් ම සමාදන් නො වූ බැවින් පූර්ණ පෙහෙවස් සමාදන් වීමක් නොවේ. එහෙත් දැන් ඔබ සමාදන් වුවහොත්, එය අඬ පෙහෙවස් සමාදන් වීමකි. එයද ඉතා හොඳ වැඩෙකැ’යි සිටුතුමා තරුණයාට කීයේය.