4. සුමංගල ජාතකය (420)
‘භුසම්හි කුද්ධො’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාවස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, ‘රාජෝවාද’ සූත්‍රය අරබයා වදාළ සේක. එකල්හි රටේ රජතුමාගේ අයැදුමෙන් බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව, මෙසේ වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු දැහැමින් රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ රජුගේ අග මෙහෙසියගේ කුසෙහි ඉපදුණි. ඔහුගේ තරුණ කාලයේදී ම පිය රජතුමාගේ මරණය සිදුවූ බැවින්, ඔහුට රාජ්‍යය භාරගන්නට සිදුවිය. ඔහු දන් පවත්වමින් දැහැමින් සෙමෙන්, මේ බෝසත් රජතුමා රාජ්‍යය විචාළේය. එතුමාට ඉතා හොඳ උයන්පල්ලෙක් විය. ඔහුගේ නම සුමංගල ය. මේ අතර ‘නන්‍දමූල’ පර්වත ප්‍රාන්තයෙහි විසූ, එක් පසේබුදුරජාණන් වහන්සේ නමක් එතැනින් නික්ම චාරිකාවේ සැරිසරන සේක්, බරණැස් නුවරට වැඩි සේක. බරණැස රජතුමාට අයත් මඟුල් උයනෙහි නවාතැන් ගත්, උන්වහන්සේ පසු දා නුවරට පිඬු පිණිස පිවිසි සේක. උන්වහන්සේ දුටු රජතුමා පසේ බුදුරදුන් කෙරෙහි අතිශයින් පැහැදී, රජමැදුරට වඩම්මාගෙන ගොස්, සිංහාසනයෙහි වඩා හිඳුවා, නන් වැදෑරුම් රස ඇති කෑම-බීම හා බොජුන් වළඳවා, උන්වහන්සේගෙන් අනුමෝදනා බණ ද අසා ප්‍රසන්නව, තවදුරටත් උයනෙහි ම වැඩහිඳිනා ලෙසට උන්වහන්සේ කැමති කරවා ගත්තේය. අනතුරුව රාජකීය පිරිසක් සමග පසේ බුදුරදුන් මගුල් උයන වෙත පිටත් කර යැවූ රජතුමා, තෙමේ ද උදේ ආහාරය භුක්ති විඳ, එවේලේම උයනට ගොස් පසේ බුදුරදුන්ගේ පහසුව සඳහා, රාත්‍රී ස්ථාන, දිවා ස්ථාන ආදිය, සිය සේවකයන් ලවා සකස් කරවා දී, සුමංගල නම් වූ උයන්පල්ලා පසේබුදුරදුන්ගේ ආවතේවකරුවා බවට පත්කොට, සිය මැදුර බලා පැමිණියේය. පසේබුදුරජාණන් වහන්සේ ද, එතැන් පටන් නිබඳව රජමැදුරෙහි දන් වළඳමින්, එහි බොහෝ කලක් විසූ සේක. සුමංගල ද පසේබුදුරදුන්ට සකසා උපස්ථාන කිරීමට වගබලා ගත්තේය.
කිසියම් දිනෙක සුමංගල ඇමතූ පසේබුදුරජාණන් වහන්සේ ‘මම දින කිහිපයකට අසවල් ගමට වඩින්නෙමි. ඉන්පසු නැවත මෙහි පැමිණෙන්නෙමි. නුඹ මේ කාරණය, රජතුමාට දැනුම් දෙව’ යි කියා එතැනින් නික්ම වැඩි සේක. සුමංගල ද පසේබුදුරදුන්ගේ නික්මයාම ගැන විස්තර සහිතව රජුට දැනුම් දුනි. පසේබුදුරජාණන් වහන්සේ ද, එගම දින කිහිපයක් වැස, කිසියම් දිනෙක සැඳෑ කාලයේ හිරු බැස ගියාටත් පසු, උයනට පෙරළා වැඩි සේක. උන්වහන්සේගේ පැමිණීම ගැන කිසිත් නොදත් සුමංගල සැඳෑ කල්හි, සිය නිවෙස බලා ගියේය. පසේබුදුරජාණන් වහන්සේ සිය පාසිවුරු තැන්පත් කොට තබා, මඳ වේලාවක් සක්මනෙහි ද යෙදී, කැලෑව මැද පිහිටා තිබූ කිසියම් ගල් පුවරුවක් මත වැඩහුන් සේක. මේ අතර නිවෙසට ගිය සුමංගලට, ගෙදරට අමුත්තන් පිරිසක් පැමිණ ඇති බව, දැකගන්නට ලැබුණි. එයින් මහත් උද්දාමයට පත්වූ ඔහු, ඒ අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා, මස් ටිකක් ලබා ගැනීමට කල්පනා කොට, වේලාවේ හැටියට ඊට පහසුම මග, රජතුමාගෙන් අභය දානය ලැබ, උයනෙහි නිදැල්ලේ හැසිරෙන මුවන් අතුරෙන් එකකු විදගැනීම යැ’යි සිතා බලා, දුන්න ද රැගෙන රාත්‍රියේම උයන බලා ගියේය. එහි දී සිය දුන්නට ඊතලයක් යොදා ගත් සුමංගල, මුවකුගේ සංඥාවක් අපේක්‍ෂාවෙන් සෙමෙන් සෙමෙන් අඩි තබමින් ඇවිද යන කල්හි, පඳුරු අතරින් පසේ බුදුරදුන්ගේ රුව දැක, ‘මේ නම් මහා මුවරාජයෙක් විය යුතු යැ’යි සිතා, දුන්න ඇද වෙර යොදා ඉලක්කයට විද්දේය. එසැණින්ම සිය හිස විවරකොට බැලූ, පසේ බුදුරජාණන් වහන්සේ ‘සුමංගල’ යැයි, යන උච්චාරණය පමණක් කළ සේක. පසේබුදුරජාණන් වහන්සේ හඳුනා ගැනීමෙන් ඉමහත් සංවේගයට පත් සුමංගල වහා එතැනට දිවැ ගොස්, පසේ බුදුරදුන්ට වැඳ, ‘ස්වාමීනි, ඔබවහන්සේ මෙහි වැඩමකිරීම ගැන, කිසිත් නොදත් මම, මුවකු යන හැඟීමෙන් විද්දෙමි. ස්වාමීනි, මට ඊට සමා වුව මැනවැ’යි කීවේය. ‘සුමංගලය, කමෙක් නැත. මොනවා කරන්නද? එන්න, මෙහි ඇවිත් මේ ඊතලය ගලවා ඉවතට ගන්නැ’යි, පසේබුදුරජාණන් වහන්සේ සුමංගලගෙන් ඉල්ලා සිටි සේක. සුමංගල ද පසේබුදුරදුන්ට නැවත වරක් වැඳ, ඊතලය මුදාලූයේය. වේදනාව ඉතා බලවත් විය. ඒ හේතුකොටගෙනම, පසේබුදුරජාණන් වහන්සේ එතැනදීම පිරිනිවන්පෑ සේක.
මේ සිද්ධියෙන් කලබලයට හා මහත් භීතියට පත්වූ උයන්පල්ලා, ‘ඉදින් මේ වගක් රජතුමා දැනගන්නේ නම්, ඔහු මෙය කිසිසේත් නොඉවසන්නේ යැ’යි කල්පනාකොට, පසේබුදුරදුන්ගේ ශ්‍රී ශරීරය එතැනම තිබියදී, වහා ගෙදර ගොස්, සිය අඹුදරුවන් ද රැගෙන, රටින් ම පලා ගියේය. දෙවියන්ගේ ආනුභාවයෙන් ඒ මොහොත තුළදීම, ‘පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ සේකැ’යි යන මේ පණිවිඩය, මුළු නුවර පුරා පැතිර ගියේය. එයින් මුළු නුවර ම එකම කෝලාහලයක් විය. පසුදා නුවර වැස්සෝ උයනට කඩා වැදී, පසේබුදුරදුන්ගේ සිරුර දැකබලා, උන්වහන්සේ සමග සිටි එකම පුද්ගලයා එදා එහි නො සිටි බැවින්, ‘මේ ඝාතනය උයන්පල්ලාගේ වැඩකැ’යි උපකල්පනය කොට, ‘සුමංගල නම් වූ, උයන්පල්ලා පසේබුදුරදුන් මරා දමා පලා ගියේ යැ’යි රජුට දැනුම් දුන්හ. අනතුරුව රජතුමා මහත් වූ පිරිවර සමග උයනට ගොස්, සතියක් මුළුල්ලේ ශරීර පූජා පවත්වා, මහත් වූ සත්කාර සම්මාන සහිතව සිරුර ආදාහනය කොට, එයින් ධාතු ගෙන, සෑයක් කරවා එයට නිතර පුද-පූජා පවත්වමින්, දැහැමින් රාජ්‍ය කටයුතු කරගෙන ගිායේය. මේ අතර සුමංගල රටින් පැනගොස්, වසරක් ගතවිය. ඉන්පසු ඔහු, ‘තමා ගැන රජතුමා දරන අදහස් කෙසේදැ’යි, දැනගැනීම සඳහා නුවරට පැමිණ, හිතවත් එක් ඇමැතිවරයකු හමු වී ‘ඇමැතිතුමනි, අපේ රජතුමා මා ගැන කුමක්නම්, අදහස් කොට සිටීදැ’යි දැනගෙන ඇවිත් මට කියනු මැනවැ’යි කීයේය. ඒ ඇමැතිතුමා ද රජු හා එකට සිටින අවස්ථාවක උයන්පල්ලාගේ ගුණ රජු සමග කතා කෙළේය. රජතුමා, ඒ කිසිවක් නොඇසුණු පුද්ගලයකු මෙන්, නිශ්ශබ්දවම හුන්නේය. ඇමැතිතුමා වෙනත් යමක් කියාගැනීමට අපොහොසත්ව, එතැනින් පිටව ගොස් සුමංගල හමු වී, රජු පෙන්නූ නොසුතටු භාවය ඔහුට හෙළි කෙළේය. මෙසේ තවත් වසරක් ගත විය. මේ දෙවන වසරේදීත්, පෙර පරිද්දෙන්ම සුමංගල සිය රටට පැමිණ රජුගේ තත්ත්වය පරීක්‍ෂා කළ නමුදු, කිසිදු වෙනසක් රජු වෙතින් දැන ගැනීමට නොහැකි වූ බැවින්, ආපසු යන්නට ගියේය. මෙසේ තවත් වසරක් ගතවිය. තෙවන වසරේ දී, ‘වෙන දෙයක් වුනා වේ’ යන හැඟීමෙන් සිය අඹු-දරුවන් ද කැටුව, සුමංගල සිය රටට පැමිණියේය. යම් යම් ඉඟිවලින් රජුගේ මෘදු බව තේරුම් ගත් ඇමැතිතුමා සුමංගල ද කැටුව රජවාසල වෙත පැමිණ, රාජකීය දොරටුව සමීපයෙහි සුමංගල නවත්වා තබා, තනිව රජුවෙත ගොස් සුමංගලගේ පැමිණීම ගැන, රජුට දැනුම් දුන්නේය. රජතුමා එවෙලේම ඔහු තමා වෙතට කැඳවීය. සුමංගල සමග පිළිසඳර කථාකළ රජතුමා ‘සුමංගලය, කුමක් නිසා තා විසින් මාගේ පුණ්‍යක්‍ෂේත්‍ර වූ පසේබුදුරජාණන් වහන්සේ මරණ ලද්දාහුදැ’යි විචාළේය. ‘දේවයන් වහන්ස, මා මේ මැරීම කළේ පසේබුදුරදුන් මරමි’යි යන හැඟීමෙන් නොවේ. එසේ ද වුවත් වෙනත් කටයුත්තක් කිරීමේ අටියෙන් එහි ගිය මම, වැරදීමකින් මේ පාපකර්මයට කර ගැසුවෙමැ’යි, සියලු විස්තර නොවළහා රජුට පැවසීය. ඒ අසා සිටි රජතුමා ‘එසේ වී නම්, නුඹ බිය නොවී හිඳුව’යි කියා සුමංගල අස්වසා, නැවත උයන්පල් තනතුර ඔහුට ම පැවරීය.
ඉක්බිති එතැන සිටි ඉහත කී ඇමතිවරයා, රජු අමතා ‘දේවයිනි, ඔබතුමා අවස්ථා දෙකකදී, සුමංගලගේ ගුණ අසා සිටි නමුත්, ඔහු ගැන කිසිදු වචනයක් නොකීයෙහිය. එසේ වුවත් තෙවනවර ඔහුගේ ගුණ අසා, ඒ මොහොතේ දීම ඔහු කැඳවා, කරුණු විමසා බලා, අනුකම්පා දැක්වූවෙහිය. එසේ කෙළේ කුමක් නිසාදැ’යි විචාළේය. ‘පුත, කිපුණු පමණින් කිසිවකුට කිසිම දඬුවමක් නියම කිරීම, රජකුට නොගැලපේ. එබැවින් මම මුලින්-මුලින් නිශ්ශබ්දව හිඳ, තෙවනවර සුමංගලයා කෙරෙහි මගේ සිත තුළ වූ මෘදුභාවය, මම ම තේරුම් ගෙන, ඔහු කැඳවා ගතිමි’යි කී රජතුමා, රජකුට තිබිය යුතු, ‘වත්’ පැහැදිලි කරමින් මෙසේ පැවසීය.
භුසම්හි කුද්ධොති අවෙක්ඛියාන, නතාව දණ්ඩං පණයෙය්‍ය ඉස්සරො,
අට්ඨානසො අප්පතිරූප මත්තනො, පරස්ස දුක්ඛානි භුසං උදීරයෙ
රජෙක් තරහක් සිතට ආ පමණින්, ඒ ගැන බලා, ඒ අනුව පළමුකොට දඬුවම් නොපමුණුවන්නේය. මක්නිසාද? එවිට නිකරුණේ, තමාට නො තරම් වූ, දුක් ඇතිකරන දේවල්, බොහෝ කොට අනුන්ට නියම කරන්නේය.
2. යම් කාලයකින් රජෙක්, තමාගේ (අනෙකාට ඇති) ප්‍රසාදය තේරුම් ගන්නේ ද? එවිට අනෙකාගේ නපුරු ක්‍රියාව, පරීක්‍ෂාකොට බලන්නේය. එකල්හි ‘මෙය ඔහුගේ ම දෝෂය යැ’යි දැන, අනතුරුව ඔහුට සුදුසු දඬුවම් නියම කරන්නේය.
3. මෙලොව රජෙක් සතර අගතියෙන් නොමුළා ව, යුක්තිය හෝ අයුක්තිය හෝ පරීක්‍ෂා කෙරේද? හෙතෙම තමා ද අනුන් ද නොපෙළයි. වරදට සුදුසු දඬුවම් නියම කරන ඔහු, ගුණයෙන්, යසසින්, සම්පත්තියෙන් නොපිරිහෙයි.
4. යම් රජකෙනෙක් අපරීක්‍ෂාකාරීව සිහි මුළා වී, සැහැසි වී, දඬුවම් පමුණුවත් ද, ඔවුහු අපකීර්තියට පත්ව, ජීවිත අත්හරිති. මෙයින් මැරී දුගතියට ද යති.