3. සුලසා ජාතකය (419)
‘ඉදං සුවණ්ණකායූර’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, අනේපිඬු සිටුතුමාගේ එක්තරා දාසියක අරබයා වදාළ සේක. ඒ දාසිය කිසියම් උත්සව දිනයක තවත් දාසියන් පිරිසක් සමග, උයනට යන්නට සූදානම් වී, තම ස්වාමි දුව වූ ‘පූර්ණ ලක්‍ෂණ’ දේවියගේ ආභරණයක් ඉල්ලා සිටියාය. දේවිය ද එසේ-මෙසේ එකක් නොව, ලක්‍ෂයක් වටිනා ස්වකීය ආභරණයක් ඇයට දුන්නාය. දාසිය ද එය පැළඳ, දාසිගණයා සමග උයනට පිටත්ව ගියාය. මේ අතර කිසියම් සොරෙක්, ‘ඒ දාසිය දෙස බලා, ඇගේ ආභරණයට ලොල් වී, ‘මෑ මරා ආභරණය පැහැර ගන්නෙමැ’යි සනිටුහන් කොටගෙන, ඈ සමග කථා කරමින් ම, උයන තෙක් ගොස්, ඇයට මස්-මාංස හා සුරා ආදිය ද රැගෙන දුන්නේය. දාසිය ද ඒ සියලු පරිත්‍යාගයන් තමා කෙරෙහි ආදරයෙන් බැඳීම නිසා දුන් දේවල් ලෙස, කල්පනා කළාය. සොරා දුන් සියලු දෑ, සතුටින් භාරගත් දාසිය, උද්‍යාන ක්‍රීඩාවෙහි යෙදී වෙහෙස නිවාගැනීම සඳහා සවස් කාලයෙහි කිසියම් සෙවන ඇති තැනක, සෙසු පිරිස සමග වැතිර සිටියාය. මඳ වේලාවක් එසේ හුන් ඈ, උයනේ කෙළවරක සිටි ඉහත කී පුරුෂයා දැක, පිරිස අතුරෙන් නැගිට, පිරිසට නොදැනෙන සේ, එකී පුරුෂයා වෙත ගියාය. එවිට ඒ මිනිසා ‘සොඳුර, මේ මේ සිටින තැන විවෘත වැඩීය. මෙතැනින් මඳක් ඈතට යමුදැ’යි කීවේය. මේ අසා සිටි දාසිය, ‘අප මේ සිටින තැන ඕනෑම රහස කටයුත්තකට සුදුසු තැනකි. එසේ තිබියදීත්, මොහු මා මෙතැනින් ඉවතට ගෙන යන්නට උත්සාහ දරනුයේය. නිසැකවම මොහු මේ උත්සාහ ගන්නේ මා මරා දමා, ආභරණය පැහැර ගන්නට විය යුතුයැ’යි, සිතුවාය. එසේ සිතූ ඇය, ‘මම අද මූට හොඳ පාඩමක් උගන්වන්නෙමැ’යි කල්පනා කොට, ‘ස්වාමීනි, සුරා මදයෙන් මාගේ ඇඟ වියැලී ගියේය. ඒ නිසා මට පැන් පොදක් පොවනු මැනවැ’යි කියා, එම මිනිසා ද කැටුව අසල තිබූ ළිඳක් වෙත ගොස්, මෙයින් පැන් කළයක් අදින්නට ඔබට පුලුවන් නේදැ’යි අසා, එතැන තිබූ රැහැනක් හා කළයක් පෙන්නුවාය. සොරා ද රැහැන රැගෙන, ඉන් කළය බැඳ ළිඳට දැමුවේය. දෙකට නැමී වතුර අදින ඒ මිනිසාගේ පසුපස පෙදෙසට දෑත තැබූ, ශක්තිමත් තරුණියක් වන දාසිය, එක පහරින්ම ඔහු ළිඳ තුළට තල්ලු කළාය. එපමණකින් නො නැවතුණු ඇය, ‘ළිඳට වැටීමෙන් නො මැරුණොත්, මෙයින් තෝ ස්ථිර වශයෙන්ම මැරෙන්නෙහි යැ’යි කියා, මහත් වූ ගඩොලක් ඔසවා ළිඳ තුළ සිටි සොරාගේ හිස මතට දමා ගැසුවාය. සොරා ද, එයින්ම ජීවිතක්‍ෂයට පත්විය. ඉන්පසු නුවරට පැමිණි ඇය, සිය ස්වාමි දුවට ආභරණය භාර දෙමින්, ‘ස්වාමි දියණියනි, මාගේ සිත් ගත් එකකු, අද මේ ආභරණය නිසා, මාගෙන් මැරුම් කන ලදැ’යි, කියා සියලු විස්තර ඇය හමුවෙහි පැවසුවාය. සිටු දේවිය ද, ඒ සියලු තොරතුරු අනේපිඬු සිටුතුමාට දැනුම් දුන්නාය. සිටුතුමා එය බුදුරදුන් හමුවෙහි විස්තර කෙළේය. එවිට බුදුරජාණන් වහන්සේ ‘ගෘහපතිය, ඔය දාසිය ස්ථානෝචිත ප්‍රඥාවෙන් ක්‍රියා කෙළේ, දැන් පමණක් නොවේ. පෙර ද ඇය නුවණින් යුතුව ක්‍රියා කළා යැයි, වදාරා ඇය විසින් මරණයට පත් කළ ඒ මිනිසා ම, පෙර ද ඇයගෙන් ම මැරුම් කෑවේ යැයි දෙසා, සිටුතුමාගේ අයැදුමෙන්, මේ අතීත කථාව මෙසේ වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, ‘සුලසා’ නම් වූ නගරශෝභිනියක් පන්සියයක් ගණිකාවන් පිරිවරාගෙන, බරණැස් නුවර වාසය කළාය. ඇය එක රැයකට කහවණු දහසක් අය කරයි. ඒ නගරයෙහි ‘සත්තුක’ නමින්, ප්‍රසිද්ධ සොරෙක් වාසය කෙළේය. ඇතකුට සමාන ශක්තියකින් හෙබි, සත්තුක රාත්‍රී කාලයෙහි පොහොසත් ගෙවල්වලට පැන සිත් සේ, වස්තුව පැහැර ගනියි. නුවර වැස්සෝ එක්රැස් වී, රජුට මේ දැන දැනුම් දී, නෝක්කාඩු ද පැවසූහ. රජතුමා නගරාධිපති කැඳවා, ඔහුට අණකොට නුවර තැන තැන භට පිරිස් රංචු-රංචු වශයෙන්, කාණ්ඩ, කාණ්ඩ වශයෙන් රැකවල්හි යොදවා, කෙසේ හෝ සොරා අල්ලා ගත්තේය. රජතුමා සොරාගේ හිස ගසා දමන ලෙසට නියෝග කෙළේය. හේවායෝ සොරුගේ දෑත් පසුපස තබා බැඳ, සතරමං හන්දිවල දී කස පහර තළමින් ඔහු වධක භූමිය කරා ගෙන ගියහ. ‘මේ බිහිසුණු සොරා අල්ලා ගත්තේ යැ’යි යන, මේ පුවත රට පුරා ප්‍රසිද්ධ විය. එයින් මුළු නුවර වැස්සෝ ම, කලබලයට පත්වූහ. එදා සුලසාව සිය උඩුමහලෙහි ජනේලයක් විවෘත කොටගෙන වීදිය දෙස බලා හුන්නාය. එතැනින් තළ තළා ගෙන යන සොරා දුටු ඇය, ඒ සොරා ගැන පිළිබඳ සිතක් ඇතිකොට ගත්තාය. ‘ඉදින් යෝධයෙකු වැනි වූ, දක්‍ෂතා ඇති, මේ මිනිහසා මුදවාගත හැකි වී නම්, මම මාගේ මේ පහත් රැකියාව අත්හැර දමා, මොහු සමග එක්ව, සතුටින් ජීවිතය ගෙන යන්නෙමැ’යි කල්පනා කළ සුලසාව මීට පෙර ‘කණවේර’ ජාතකයෙහි කී නියායෙන්, නගරාධිපතියාට කහවණු දහසක අල්ලසක් දී සොරා මුදාගෙන, ඔහු සමග සතුටු සිතින් සමගිය, එක්ව වාසය කළාය. සොරා ද මාස තුන-හතරක් ඈ සමග සුවසේ වැස, ඉන් අනතුරුව ‘මට මෙතැන මෑ සමග වසන්නට බැරිය. හිස් අතින් මෙතැනින් පැනයාම ද, තේරුමක් නැති ක්‍රියාවෙකි. මේ සුලසාවගේ නිතර පළඳින ආභරණය කහවණු ලක්‍ෂයක් වටී. එබැවින් මෑ මරා ආභරණයද රැගෙන, මම මෙතැනින් පැන ගන්නෙමි’යි, කල්පනා කෙළේය. දින කීපයකට පසු සුලසාවට කථා කළ, සොරා ඇය ළඟට කැඳවා ‘සොඳුර, එදා රාජපුරුෂයන් විසින් වධකස්ථානය කරා ගෙනයනු ලබන මම, අසවල් පර්වත මස්තකයෙහි පිහිටි ගසෙහි වෘක්‍ෂ දේවතාවාට, මාගේ ජීවිතාරක්‍ෂාව පතා පූජාවක් තැබීමට, පොරොන්දු වන ලද්දේ වෙමි. ‘සොඳුර, අප ඒ පූජාව ඔප්පු කරමුදැ’යි කීය. ‘ස්වාමීනි, යහපති. ඊට අවශ්‍ය දෑ සූදානම්කොට, දාසයන් ලවා ඒවා එහි යවමු.’ ‘සොඳුර, අනුන් ලවා පූජා ඔප්පු කිරීම නොවටී. එබැවින් අපි දෙදෙනා සර්වාභරණයෙන් සැරසී, මහත් වූ පිරිවර සමග එහි ගොස් පූජෝපහාර දක්වමු. ‘ස්වාමීනි, මැනව. අපි එසේ කරමු’යි සුලසා උත්තර දුන්නාය.
මෙසේ මේ දෙදෙනා පූජා ද්‍රව්‍ය රැස්කොට ගෙන, සියලු අභරණින් සැරසී, සපිරිවරින් පර්වත පාදය තෙක් ගියකල්හි, සත්තුක සිය බිරිඳ අමතා, ‘සොඳුර, මේ සා විශාල පිරිසක් දුටුවහොත්, දේවතාවා පූජාව ප්‍රතික්‍ෂේප කරන්නේය. එබැවින් අපි දෙදෙනා පමණක් එහි ගොස්, පර්වත මුදුනට නැග, පූජෝපහාර දක්වමු’ යැයි කීය. සුලසා ද සැමියාගේ අදහස අනුමත කොට, සකසාගෙන ආ පූජා පාත්‍රය ඔසවාගෙන, කන්ද නගින්නට පටන් ගත්තාය. සත්තුක ද පංචායුධයෙන් සමන්විත ව, පර්වත මුදුනට නැග, එහි නපුරු සොරුන් සිය ගණනක් පහතට හෙළා මරණයට පත් කරන ලද, ඒ නිසා ම ‘චෝර ප්‍රපාතය’ නමින් හඳුන්වන, ඒ ප්‍රපාතය අද්දර පිහිටි විශාල වූ ගසක් මුල, සුලසාව ලවා පූජා පාත්‍රය තබවා, ‘සොඳුර, මා මෙහි කරන්නට ආ පූජාවක් නැත. මා මෙහි පැමිණියේ තී මරා ආභරණ ගෙන, මෙතැනින් පැන ගැනීමේ අදහස, සිත්හි තබාගෙනය. එබැවින් තිගේ සියලු ආභරණ ගලවා උතුරු සළුවෙහි තබා, පොදියක් කොට ගැට ගසව’යි අණ කෙළේය. එවිට සුලසාව ‘ස්වාමීනි, කුමක් නිසා මා මරන්නෙහිදැ’යි ඇසුවාය. ‘තී මරණුයේ ධනය සඳහාය’ ‘ස්වාමීනි, මා ඔබට කළ උපකාර සිහිකරනු මැනව. ඔබ මරන්නට ගෙනයන කල්හි මම බොහෝ ධනය වියදම්කොට, ඔබට අලුත් ජීවිතයක් ලබාදී, ඔබ සිටුපුත්‍රයකු කෙළෙමි. එක් දිනකට කහවණු ලක්ෂයක් ඉපයූ මම, ඒ සියල්ල අත්හැර දමා, එදා සිට අද වනතුරු අන් පුරුෂයකු දෙස බැලීමක්වත් නොකරමි. මෙසේ ඔබට මහත් සේ උපකාරී වූ මා, නොමරනු මැනව. මම ඔබට බොහෝ ධනය ද දෙන්නෙමි. අද පටන් ඔබේ දාසියක ද වන්නෙමැ’යි කියමින්, තමාගේ ජීවිතය ඉල්ලා යදිමින්, ඈ මෙසේ කීවාය.