2. අට්ඨසද්ද ජාතකය (418)
‘ඉදං පුරෙ නින්නමාහූ’ යන මේ ගාථා කොටස අයත් ජාතක කතාවස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, මැදියම් රැයේ දී, කොසොල් රජතුමාට අසන්නට ලැබුණු ඉතා බිහිසුණු වූ, ‘මේ මේ යැ’යි වෙන් වෙන් වශයෙන් හඳුනාගත නොහැකි ශබ්දයන්, නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කතාවස්තුව, මීට පෙර ‘ලෝහකුම්හි’ ජාතකයෙහි දී, කී අයුරින් ම දත යුතුය. මෙහිදී බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි කොසොල් රජතුමා, උන්වහන්සේට වැඳ එකත්පස්ව හිඳගෙන, ‘ස්වාමීනි, මේ ශබ්දයන් ශ්රවණය කළ බැවින්, මට කුමක් නම් වන්නේදැ’යි ඇසීය. ‘මහරජ, මේ ශබ්දයන් ඇසීම හේතු කොටගෙන, ඔබට සිදුවන කිසිදු අනතුරක් නැත. රජතුමනි, මෙබඳු බිහිසුණු වූ, වෙන් වෙන් වශයෙන් හඳුනාගත නොහැකි වූ, ශබ්දයන් ශ්රවණය කළ, පළමුවැන්නා ඔබ නොවේ. පෙර විසූ රජවරු ද මෙබඳු ශබ්දයන් ශ්රවණය කොට, බමුණන් කැඳවා, තමාට ඇසුණු ශබ්දයන් ශ්රවණය කොට, බමුණන් කැඳවා, තමාට ඇසුණු ශබ්දයන් ඔවුන්ට විස්තර කොට කියා, බමුණන්ගේ උපදෙස් මත ‘සර්වචතුෂ්ක’ යාගයක් කරනු කැමතිව, පඬිවරුන්ගේ කතා අසා, එතැනින් නැවතී, යාගයට ගෙනෙන ලද සතුන් මුදාහැර, නුවර මාඝාත (ප්රාණඝාතයෙන් සියල්ලන් වැලකිය යුතුව යන පණිවිඩය රැගත්) බෙර හසුරුවා, පඬිවරුන්ගේ සහයෝගයෙන් නිර්භයව, කටයුතු කරන්නට පටන් ගත්හ’යි, වදාළ බුදුරජාණන් වහන්සේ රජුගේ අයැදුමෙන්, මේ අතීත කතාව මෙසේ දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, අප බෝසත් තෙමේ, අසූකෙළක් ධනය ඇති, බමුණු පවුලක ඉපිද, නිසිවියට පැමිණ තක්ෂිලාවට ගොස් ශිල්ප ඉගෙන, සිය මවුපියන්ගේ ඇවෑමෙන්, තමාට අයත් සියලු වස්තුව දෙස නුවණැසින් බලා, ඒ සියලු සම්පත් දාන විෂයෙහි විසුරුවා හැර, සියලු කාම සම්පත් හැර දමා, හිමවතට පිවිස සෘෂි පැවිද්දෙන් පැවිදිව, ධ්යාන හා අභිඥා උපදවාගෙන, පසුකලෙක ලුණු ඇඹුල් සේවනය කිරීමේ අටියෙන් මිනිස් පියසට පැමිණ, බරණැස් රජුගේ මගුල් උයනෙහි නවාතැන් ගෙන, වාසය කෙළේය. මේ අතර කිසියම් දවසක සිරියහන් ගැබේ යහන්ගත වූ රජතුමා, මැදියම් රැයේ දී ශබ්ද අටක් ශ්රවණය කෙළේය. නැතහොත් හඬවල් අටක් රජුට ඇසුණි. මින් පළමු ශබ්දය කොකකුගේ ය. ඌ රජමාලිගයට නුදුරු තැනෙක පිහිටි උයනෙහි සිට, ශබ්ද කෙළේය. පළමු ශබ්දය නිමවන්නට පෙර ම, ඇත්හලේ තොරණ මත වාසය කරන කපුටියක් ශබ්ද කළාය. තෙවනුව රජුමැදුරේ කර්ණිකාවෙහි (කැණිමඬලෙහි) විසූ, කඳන් පණුවෙක් ශබ්ද කෙළේය. සිව්වැනිව, රජගෙයි ඇති දැඩි කරන කොවුලා ශබ්ද කෙළේය. පස්වනුව ද, රජගෙයි ම වෙසෙන මුවෙක් ශබ්ද කෙළේය. සයවැනිව ද, එහිම ඇති දැඩි කෙරෙන වඳුරෙක් ශබ්ද කෙළේය. සත්වැනිව ද, එහිම ඇති දැඩි කෙරෙන කිඳුරෙක් ශබ්ද කෙළේය. අටවැනිව සත්වැනි ශබ්දය අවසන් වන්නට පෙර ම, රජගෙට ඉහළ අහසින් වඩින, බුදුරජාණන් වහන්සේ නමක්, එක් උදානයක් උදන් අනමින් ශබ්ද කළ සේක.
බරණැස් රජතුමා මේ ශබ්ද අට ඇසීමෙන් බියෙන් ත්රස්තව, පසුදා ඒ ගැන බමුණන් ගෙන්වා ඔවුන්ගෙන් ප්රශ්න කෙළේය. බමුණු පඬිවරු රජු අමතා, ‘මහරජතුමනි, ඔබට අනතුරක් ඇති බව පෙනී යයි. එබැවින් අපි ඔබට ‘සර්ව චතුෂ්ක’ යාගය යදින්නෙමු’යි, කියා පැවසූහ. රජතුමාද ‘ඔබ සැමගේ කැමැත්ත අනුව, කටයුතු කරනු මැනවැ’යි බමුණන්ගේ මතයට ඉඩ දී, නිශ්ශබ්ද විය. රජුගේ අනුමැතිය ලැබූ, එයින් තුටු පහටු වූ බමුණෝ, රජගෙදරින් නික්ම ගොස් යාග කර්මයට සූදානම් වූහ. මේ අතර බමුණු පිරිස අතුරින්, ජ්යෙෂ්ඨතම නායක බමුණාගේ අතවැසි වූ මානවකයෙක් විය. ඔහු පණ්ඩිත ය. ව්යක්තය. සිය ඇදුරුතුමා වෙත ගිය ඒ මානවකයා, ‘ඇදුරුතුමනි, මෙවැනි කර්කශ, නපුරු, නොමිහිරි, බොහෝ සත්ත්වයන්ට විනාශය පමුණුවන, මේ යාග ක්රියාව නො කරනු මැනවැ’යි කීයේය. ‘දරුව, නුඹ කුමක්නම්, දැන මෙසේ කියහිද? අපේ මේ ක්රියාවෙන් අන් කිසිදු යහපතක් සිදු නොවුණත්, අපට මස් මාංස ද, වෙනත් බොහෝ දෑ ද, ඇති තරම් කන්නට ලැබෙන්නේය.’ ‘ඇදුරුතුමනි, තම බඩ වෙනුවෙන් නිරයෙහි උපදින වැඩ නොකරනු මැනව’ මානවකයාගේ කතාව අසා, සෙසු බ්රාහ්මණයෝ, මේ තරුණයා අපට ලැබෙන්නට යන ලාභය විනාශ කරන්නට මෙහි පැමිණි එකෙකැයි, කියා තරුණයා කෙරෙහි, විවිධාකාරයෙන් තම-තමන්ගේ කෝපය ප්රකාශ කළහ. බමුණන්ගේ කතාවලින් තැතිගත් මානවකයා, ‘එසේ වී නම්, තෙපි මස් මාංස කෑම සඳහා, උපායන් සෙවීමෙහි ම යෙදෙවු යැ’යි කියා, එතැනින් නික්ම නුවරින් පිටව ගොස්, ‘මේ අපරාධයෙන් රජු වළක්වාලන්නට සමත්කම් ඇති, කිසියම් දැහැමි ශ්රමණයෙක් ඇත්දැ’යි සොයමින් සෑමතැන ම ඇවිදින්නට පටන් ගත්තේය. අහම්බෙන් මෙන්, රජුගේ උයන වෙත ගිය මේ තරුණයාට, බෝසතුන් මුණගැසිණි. බෝසත්තුමාට නමස්කාර කළ තරුණයා, ‘ස්වාමීනි, කිමෙක්ද? අහිංසක සත්ත්වයන් කෙරෙහි, ඔබතුමා තුළ අනුකම්පාවක් නැත්තේදැ’යි කියා, ‘ස්වාමීනි, රජතුමා බොහෝ සතුන් මරා, යාගයක් කරවීමට සූදානම් වෙමින් සිටියි. ඉතින් මේ මහා සත්ත්ව ප්රජාව, ඒ බන්ධනයෙන් මුදා, ඔවුන්ට යහපතක් කිරීමට, ඔබ උත්සාහ නොගන්නේ මන්දැ’යි කීය. ‘මානවකය, මේ රටේ රජතුමා අප ගැන නො දනියි. අපි දු රජු නො හඳුනන්නෙමු’යි තවුස්තුමා කීයේය. අනතුරුව රජුට අසන්නට ලැබුණු විවිධ වූ ශබ්ද ගැන ද, ඉන්පසු වූ සියලු සිදුවීම් ද, නොවළහා තවුසාට පැවසූ මානවකයා, ‘ස්වාමීනි, අපේ රජතුමාට අසන්නට ලැබුණු මේ ශබ්දයන්ගේ නිෂ්පත්තිය, ඔබතුමා දනිහිදැ’යි ඇසුවේය. ‘එසේය මානවකය, මම එය දනිමි.’ ‘එසේ වී නම්, කුමක් නිසා රජුට එය නොකියාද?’ ‘මානවකය, මම එය කෙසේ නම්, රජුට කියම් ද? මා එය දන්නා බව, නළලෙහි හොරණෑවක් එල්ලාගෙන, එය පිඹිමින් රට පුරා ප්රචාරය කිරීමට, කාට නම් පුළුවන් ද? ඉදින් රජු මෙහි පැමිණ, මගෙන් විමසුවහොත්, මම එය ඔහුට කියා දෙන්නෙමැ’යි තාපසතුමා පැවසීය.