1. කච්චානි ජාතකය (417)
‘ඔදාතවත්‍ථා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, සිය මෑණියන් පෝෂණය කළ, එක්තරා උපාසකයකු අරබයා වදාළ සේක. ඔහු වනාහි සැවැත් නුවර වැසි කුලපුත්‍රයෙකි. ආචාර සම්පන්න වූ ජීවිතයක් ගත කළ ඔහු, තම පියා මියගිය කල්හි, මෑණියන් දේවතාවියක කොට සලකමින්, මුව සෝදන ජලය පිළියෙල කොට දීමෙන්, දැහැටි සකස්කොට දීමෙන්, නෑවීමෙන් හා පා සේදීම් ආදී වූ වතාවත් කිරීමෙන් ද, කැඳ බත් ආදිය සකසා දීමෙන් ද, මෑණියන් පෝෂණය කෙළේය. කිසියම් දිනෙක තම එකම පුතණුවන් ඇමතූ මේ මාතාව, ‘පුතණුවනි, ගිහිගෙයි කටයුතු යනු, මෙපමණක්ම නොවේ. තවත් කළයුතු ම කටයුතු ඇත. එබැවින් සම ජාතික කුලයකින් කිසියම් කුමාරිකාවක පාවා ගනුව. එවිට ඔබට ඔබේ වැඩක් කරගැනීමට එය පහසුවක් වන්නේය. මගේ කටයුතු ඈ බලාගනියි යැයි ද, නිසැකව ම ඈ මා පෝෂණය කරනු ඇතැ’යි ද, කීවාය. ‘මෑණියනි, මම මගේ හිතසුව අපේක්‍ෂා කරමින් ඔබට උවටැන් කරමි. මා හැර අන් කවරෙක් නම්, මා මෙන් ඔබට මෙසේ උපස්ථාන කරන්නේ ද?’ ‘පුතණුවනි, පරම්පරාවේ දියුණුවට කළයුතුම වැඩ, කෙසේ හෝ කළ යුතුමය.’ ‘මෑණියනි, මේ ගිහිගෙයි විසීමෙන් මට ඇති සෙතක් නැත. එබැවින් මම කවදා නමුත්, ඔබට මෙසේ උපස්ථාන කරමින් සිට, ඔබ නැති කලෙක මින් ඉවත්ව ගොස් පැවිදි වන්නෙමැ’යි, පුතා සිය මෑණියන්ට කීවේය. මාතාව තම පුතාට කොතෙක්දුරට, විවාහය ගැන කරුණු කීවත්, ඔහුගේ සිත ඊට නතු කරගැනීමට අපොහොසත් වූවාය. පුතාගේ කැමැත්ත හා අකමැත්ත, තඹේකට ගණන් නොගත් ඇය, ඉතා හොඳින් සොයා බලා සම ජාතික පවුලකින් කුමාරියක කැන්දා ගෙන ආවාය. තම මෑණියන් තමාගේ කැමැත්ත අකමැත්ත නො විමසා, මේ කසාදය කර දුන් නමුත් ඔහු ඇයගේ සිත තැළෙන වචනයක්වත් නොකියා, සිය මනාලිය සමග යුගදිවිය, එදා පටන් ඇරඹුවේය. තරුණ කුමාරිකාව ද, ‘මගේ සැමියා මහත් උත්සාහයකින් ඔහුගේ මවට උපස්ථාන කරයි. මම ද ඇයට එසේ කළොත්, සැමියා මා වඩාත් ප්‍රිය කරනු ඒකාන්ත යැ’යි සිතා, එදා සිට සැමියාගේ මවට සකසා උවටැන් කරන්නට පටන් ගත්තාය. එය දුටු සැමියා ද, ‘මැය මගේ මෑනියන්ට ඉතා මැනවින් උපස්ථාන කරන්නී නොවේදැ’යි, එතැන් පටන් ගෙනෙන ගෙනෙන මිහිරි කෑම වර්ග සිය බිරිඳගේ අතටම දෙන්නට පුරුදු විය. ඊට පෙර ඔහු ඒ සියලු සැලකිලි දැක්වූයේ, සිය මෑණියන්ටය. මෙසේ කලක් ගතවනවිට ඔහුගේ බිරිඳ, දිනක් ‘මගේ සැමියා නිවසට ගෙනෙන ඕනෑම මිහිරි කෑමක් බීමක් මටම දෙයි. දැන් දැන් ඔහු මෑණියන් ගැන කලකිරුණු සෙයක් පෙනේ. එකත් එකටම මෑණියන් ගෙදරින් බැහැර කිරීමට ඔහු අදහස් කරනවා විය යුතුයැ’යි කල්පනා කොට, මෑණියන් නිවසින් පිටමං කරන තැනට වැඩ සලසන්නෙමැ’යි තීරණය කොට, සිය අනුවණකමින් ඉල්පුණු ඇය, එක් දවසක් සිය සැමියා අමතා, ‘ස්වාමීනි, ඔබ ගෙයින් පිටවෙනවාත් සමගම ඔබේ මව මට බැණ අඬ ගසන්නට පටන් ගනියි යැ’යි සැමියාට කේලමක් කීවාය. ඇගේ කතාවට සැමියා වචනයක්වත් නොකියා, නොඇසූ කන්ව හුන්නේය.
එවිට බිරිඳ මඳක් කල්පනා කොට බලා ‘මම මේ මැහැල්ල කෑ ගස්සවා, පුතාට පිළිකුල් කරවන්නෙමි’යි, අදිටන් කරගත්තාය. එදා පටන් මහලු මෑණියන්ට කැඳ දෙන ලේලිය, කැඳ බඳු ගිනි රස්නය පිටම ඇගේ අත මත තබයි. එසේ නැතහොත් සිසිල් දිය මෙන්, නිවුණු කැඳ ඇයට දෙයි. තවත් විටෙක ලුණු වැඩි කෑම බීම ද, තවත් විටෙක ලුණු නැති ඒවා ද දෙයි. එවැනි අවස්ථාවලදී, මහලු තැනැත්තිය සිය ලේලිය අමතා, ‘දියණියනි, මේවා උණු වැඩියි. මේවා ලුණු වැඩියැ’යි කී කල්හි, ඊට කිසිදු පිළිතුරක් නොදෙන ලේලිය, දිය බඳුනක් ගෙනැවිත් එම කෑම, දිය රස වනතුරු ඊට වත්කරයි. එවැනි අවස්ථාවල ‘දුවේ, දැන් මේවා ඉතා සීතල යැයි ද, දිය රස යැයි දැ’යි, මෑණියන් කීවොත් එකපාරට කඩා පනින ලේලිය, අවට ගෙවල්වලට ද ඇසෙන පරිද්දෙන් ‘මේ දැන් නුඹ උණු වැඩියැයි කියා, එවේලේ ම සීතල වැඩියැයි කියහිද? ලුණු නැතැයි කියා කෑ ගසා, දැන් ලුණු වැඩි යැයි කියහිද? තී සතුටු කිරීමට කාටනම් පුළුවන්දැ’යි, මහත් සේ ඝෝෂා කරයි. මෑණියන් නාවන විටදී ද, ඉතා උණු වැඩි වතුර ඇගේ පිටට හළයි. එවිට මහලු කාන්තාව ‘දුවේ, මගේ පිට පිළිස්සේ යැ’යි කී කල්හි, එවේලේ ම ඇල්වතුර පුරවා පිටට වත්කරයි. එවිට මැහැල්ල ‘දුවේ, ඒ වතුර සීතල වැඩියැ’යි කියයි. එවිට ලේලිය ‘මේ දැන් වතුර උණු වැඩි යැයි කෑ ගැසූ තී, දැන් සීතල වැඩි යැ’යි කෑ ගසහිද? කවුරු නම්, මැගේ මේ අවමන් උසුලත්දැ’යි බැණ අඬ ගසමින්, නිවසෙන් එළියට විත් අසල්වැසියන්ට ද, තම මතය ඒත්තු ගැන්වූවාය. මේ අතර තවත් දවසක මාතාව සිය ලේලියට කතාකොට ‘දුවේ, මගේ ඇඳේ මකුණෝ පිරී ඇතැ’යි කීවාය. එවිට ඇඳ එළියට දැමූ ඇය, තමාගේ ඇඳ ද, එළියට ගෙනවුත් එය ගසා දමා, එහි හුන් සියලු මකුණන් මෑණියන්ගේ ඇඳටම දමා, නැවත ඇඳ ගෙනවුත් තිබූ තැන ම සකස් කොට තබා, එහි නිදාගන්නා ලෙස මැහැල්ලට කීවාය. ඒ මහලු තැනැත්තිය ද, එදා මුළු රෑ ම මකුණන්ගෙන් කරදර විඳිමින්, හිදගෙන ම රෑ පහන් කළාය. උදේ ලේලියට කථා කළ ඈ, ගත වූ රැය පුරා මකුණන්ගෙන් පීඩා විඳි බව, ඇයට කීවාය. ඒ අසා සිටි ලේලිය ‘ඔබේ ඇඳ ඉතා හොඳින් ගසා දමා පිරිසිදු කෙළෙමි. එබැවින් ඔබේ වැඩ ඉවරකොට කෙළවරක් දැකිය හැක්කේ කාටදැ’යි, මැහැල්ලට විරුද්ධව වචන කතා කරමින්, ඉවත්ව ගියාය. එසේ ගිය ඈ ‘මැගේ පුතා ලවා ම මැයට දොස් කියවන්නෙමැ’යි, තීරණය කොටගෙන, තැන තැන කෙළ සොටු විසුරුවා, ඉදුණු කෙස් ගස් ගෙය පුරා තැනින් තැන විසුරුවා, සැමියා නිවසට එන වේලාව සලකා, පැත්තකට වී බලා සිටියාය. මේ අතර ගෙදර ආ සැමියා, ‘මේ මුළු ගෙය ම අපිරිසිදු කෙළේ කවුදැ’යි හඬ නඟා සිය බිරියගෙන් ඇසුවේය. එවිට ඇය ‘ඔබේ මව මිසක් එසේ කරනුයේ වෙන කවුද? මා ඇයට එසේ නොකරනු මැනවැ’යි කී කල්හි, ඇය මා සමග කලහ කෙරේ. එබැවින් ස්වාමි පුත්‍රය, මෙබඳු කාලකණ්ණි ගැහැනියක සමග එකගෙයි වසන්නට නොහැක්කෙමි. එක්කෝ මා මෙහි නවත්වා ගන්න. නැතහොත් ඇය මෙහි රඳවා ගන්නැ’යි සැමියාට ආඩපාලි කීවාය.
ඇගේ කතාව මුලසිට මැනවින් අසා සිටි සැමියා, ‘සොඳුර, ඔබ තවම තරුණය. ඔබට කොහේ හෝ ගොස්, ජීවත්වන්නට බැරිකමක් නැත. එහෙත් මගේ මව වයසය. ඇය ඉතා දුබලය. ඇයට මා හැර අන් පිළිසරණක් කොයින්ද? ඒ නිසා, ඔබ මෙහෙන් පිටත්වී යන්න. තමාගේ ගෙදරට ගොස් හොඳින් ජීවත් වන්නැ’යි කීවේය. ඔහුගේ මේ වචනවලින් පුදුමට මෙන්ම, ඉමහත් බියට ද පත් වූ ඇය, ‘මේ මගේ සැමියා මවගෙන් බිඳවන්නට නම්, කිසිදා බැරිය. ඒකාන්ත වශයෙන් ම ඔහුට සිය මෑණියන් ප්‍රියමනාපය. ඉදින් මම අපේ මහගෙදර යන්නෙම් නම්, ස්ථිරවම වැන්දඹුවක් වශයෙන් ජීවත්වෙමින් අපමණ දුක් විඳින්නට සිදුවනු ඇත. එබැවින් ඒ මේ දේවල්, ඔලුවෙන් ඉවත්කොට දමා පෙර පරිද්දෙන් ම නැන්දම්මාට සලකා ගෙන, ඇය පෝෂණය කරමින් ඇගේ සිත් දිනා ගැනීමට කටයුතු කිරීම, නුවණට හුරුයැ’යි කල්පනා කළාය. ඈ එදා පටන් මුල් යුගයේ දී මෙන්, සිය නැන්දණිය පෝෂණය කරන්නට පටන් ගත්තාය. මේ අතර ඇගේ සැමියා බණ ඇසීම සඳහා කිසියම් දිනෙක දෙව්රම් වෙහෙරට ගොස්, බුදුරදුන් වැඳ, එකත්පස්ව හිඳගත්තේය. ‘කිමෙක්ද? උපාසකය, නො පමා ව පින්කම්හි නිරත වෙහිද? මවගේ උපස්ථාන කටයුතු මැනවින් කරහිදැ’යි බුදුරජාණන් වහන්සේ විචාළ සේක. ‘ස්වාමීනි, එසේය. මගේ අම්මා මගේ අකමැත්ත පිට, එක් කුලකතක් ගෙදරට ගෙනාවාය. ස්වාමීනි, ඇය මෑණියන්ට ම, මේ මේ අකටයුතු කළා යැ’යි තරුණයා තම බිරිඳගේ සියලු විස්තර බුදුරදුන් හමුවෙහි ප්‍රකාශකොට, සිත සැහැල්ලු කොටගෙන තවදුරටත් ‘භාග්‍යවතුන් වහන්ස, ඒ මගේ බිරිඳ මෑණියන් කෙරෙහි මා බිඳවන්නට අපොහොසත් වූවාය. දැන් ඇය පෙර මෙන්ම, මෑණියන්ට සකසා උපස්ථාන කරන්නී යැ’යි, පැහැදිලි කෙළේය. ඔහුගේ කතාව අසා සිටි බුදුරජාණන් වහන්සේ, ‘තරුණය, ඔබ මෙදා ඇයගේ කීම ප්‍රතික්‍ෂේප කොට, තම මෑණියන් රැක ගත්තත්, පෙර ඇගේ කීම විශ්වාස කළ ඔබ, මෑණියන් ගෙදරින් එළියට ඇද දමා, නැවත මාගේ මැදිහත් වීමෙන් ආපසු කැඳවාගෙන එන්නට සමත් වූයෙහිය. එපමණක් නොව ඔබ ඇය මැනවින් රැකබලා ගත්තෙහි යැ’යි ද වදාරා, ඔහුගේ අයැදුමෙන්, මේ අතීත කතාව මෙසේ වදාළ සේක.