5. කපෝත ජාතකය (375)
‘ඉදානි ඛොම්හි’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, ආශාවෙන් ලොල් වූ භික්‍ෂුවක අරබයා වදාළ සේක. මින් පෙර මෙවැනි අය ගැන කොතෙකුත් විස්තර කරන ලදි. ඉහත කී භික්‍ෂුව ළඟට කැඳවූ බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් ලෝලත්වය ගැන ප්‍රශ්නකොට විස්තර දැන, ‘මහණ, ඔබ ලෝලයකු වූයේ දැන් පමණක් නොවේ. පෙරද ලෝලභාවය නිසාම දිවි පුද කරන්නට ඔබට සිදුවී යැ’යි වදාරා, මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ පරෙවි ජාතියෙහි ඉපිද බරණැස් නුවර ප්‍රධාන සිටුවරයාගේ මුළුතැන්ගෙයි විවෘත කූඩුවක ජීවත් වේ. මේ අතර මස්-මාලුවලට කෑදර වූ එක් කාක්කෙක් පරෙවියා සමග මිතුරු වී ඌත් සමග එකට ජීවත් වන්නට කැමති කරවා ගත්තේය. මේ දෙදෙනාම දැන් මුළුතැන්ගෙයි ඇති පරෙවි කූඩුවේ වාසය කරති. එක් දවසක් කපුටා කුස්සිය තුළ මස්-මාලු සකස් කරනු දැක, ඒවා කෑමට කෑදරව හදිසියේ ලෙඩ වූවාක් මෙන්, කෙඳිරිගාමින් කූඩුවට ම වී වැද හොත්තේය. එදින පරෙවියා කෑම සොයා යන්නට සිතා ‘හිතවත, එනු මැනවි. අපි ගොදුරු සඳහා පිටත්ව යමුදැ’යි ඇසීය. එවිට කපුටා කථාකොට, ‘මිතුර, නුඹ යනු මැනවි. මම අජීර්ණයක් නිසා වැදහොත්තේ වෙමි’යි, කියා නිශ්ශබ්ද විය. පරෙවියා කූඩුවෙන් නික්ම ගිය පසු, කපුටා ‘මොහු මාගේ මිතුරෙක් නොව සතුරෙකි. විෂ කටුවෙකි. ඔහු මෙහෙන් ගිය එකම හොඳය. ඒ නිසා මට කැමති හැටියට මස්-මාලු කන්නට හැකි යැ’යි සිතා, මෙසේ පැවසීය.
ඉදානි ඛෙම්හි සුඛිතො අරොගො, නික්කණ්ටකො නිප්පතිතො කපොතො,
කාහා මිදානි භදයස්ස තුට්ඨිං, තථාහිමං මංසසාකං බලෙතී ති.
පරෙවියා නික්ම ගියේය. කරදරය පහ විය. දැන් මම සුවපත් ද, නිරෝගී ද වෙමි. එසේම මේ මස් කෑල්ල ද මට බලපෑම් කරයි. එබැවින් දැන් මම හදවතට සතුට ගෙන දෙන්නක් කරන්නෙමි.
මෙහි ‘නිප්පතිතො’ යනු ‘නික්මුණේය’ යන අර්ථයි. ‘කපොතො’ යනු ‘පරෙවියා’ය. ‘කාහාමිදානි’ යනු ‘දැන් කරන්නෙමි’ යන අර්ථයි. ‘තථා හි මං මංසසාකං බලෙති’ යනු ‘එසේම මස් ද, සෙසු දෑ ද, මට බල කරයි. එනම් නැගිටුව, කවයි, කියන්නාක් මෙන් මා උත්සාහ කරයි’ යන අර්ථයි.
මෙසේ ඒ කපුටා අරක්කැමියා මස්-මාලු පිස මුළුතැන්ගෙයින් නික්ම එළිමහනට වී දහදිය වියළමින් සිටින කල්හි, කූඩුවෙන් නික්ම, කුළුබඩු රැස්කොට තබා ඇති බේසමට බැස, එහි සැඟවෙන්නට උත්සාහ කෙළේය. එහෙත් කපුටාගේ නිය පහරවල් වැදුණු බේසම ‘කිරි කිරි’ යන හඬ නැංවීය. මේ ශබ්දය ශ්‍රවණය කළ අරක්කැමියා, ‘ඒ කුමක්දැ’යි දැනගනු රිසියෙන් වේගයෙන් මුළුතැන්ගෙට අවුත් බලා, කපුටා දැක එක පහරින්ම ඌ අල්ලා ගත්තේය. කපුටා ග්‍රහණයට ගත් අරක්කැමියා, පළමුකොට උගේ සියලු පිහාටු ගලවා දැමීය. අනතුරුව ඌ පැත්තකින් තැබූ අරක්කැමියා, අමුඉඟුරු ඉස්ම ගෙන, එයින් අබ අඹරා, එයට අඹරා ගන්නා ලද සුදුලූනු ද එක්කොට, කුණු වූ කිරිමෝරුවලින් සියල්ල කලතා කපුටාගේ මුළු සිරුර පුරා මැනවින් තවරා, එක් කැබිලිති කටුවක් බිම අතුල්ලා රවුම්කොට, එහි කෙළවරකින් සිදුරක් කොට නූලක් දමා, එය කපුටාගේ බෙල්ලෙහි එල්ලා, කපුටා, ඌ නිදාගන්නා කූඩුවෙහි සුපුරුදු තැනම තැබීය. මේ අතර කෑම සොයා ගොස් ආපසු පැමිණි පරෙවියා කපුටා දැක, ඌට සිදුවූ හදිය සිතින් සිතා ගත්තේය. එහෙත් කිසිත් නොදන්නාක් මෙන්, පරෙවියා කපුටා දෙසට හැරී, ‘මේ කෙකින්න කවරියක්ද? මාගේ මිතුරාගේ නවාතැනට කුමට පැමිණියාද? කෙකින්න, මගේ මිතුරා චණ්ඩියෙකි. ඌ මෙහි පැමිණියහොත් සිදු වන්නේ මහා විපතකි. ඌ නුඹ මරා දමනු ඇතැ’යි කපුටා විහිළුවට ලක් කරමින් මෙසේ ද පැවසීය.
2. මේඝය, මුත්තණුවන් කොට ඇති, සෙරක් වූ, ශිඛා ඇති, මේ කෙකින්න කවරියක්ද? කෙකින්න, ඉවතට යන්න. මගේ මිතුරු කපුටා චණ්ඩියෙකි.
ඉහත සඳහන් ගාථාවෙහි අර්ථ මීට පෙර කියන ලදි.
පරෙවියාගේ විහිළු කථාව ඇසූ කපුටා, මෙසේ පැවසීය.
3. අරක්කැමියා විසින් පියාපත් සිඳින ලද, අබ පිටි කල්කය තවරන ලද, එවැනි මා දැක සිනාසෙන තාගේ ඒ සිනාසීම නවතුව.
මෙහි ‘අලං’ යනු ‘ප්‍රතිෂේධනාර්ථයෙහි නිපාතයකි. ‘ජග්ඝිතායෙ’ යනු ‘සිනාසී’, යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අර්ථය යි. එනම් ‘මෙසේ දුකට පත් වී සිටින මෙබඳු මා දැක ඔබට සිනාසීමට සුදුසු නොවේ. මෙවැනි අවස්ථාවක නුඹ මෙවැනි කෙළි-කවටකම් නොකරව යි යනුවෙනි.
පරෙවියා නැවතත් කපුටාට විහිළු කරමින් මෙසේ කීවේය.
4. හොඳට නාපු බව පෙනේ. මැනවින් සුවඳ ගල්වා ඇත. ආහාර පානයෙන්ද සන්තර්පිතය. ඔබගේ බෙල්ලේ ද විදුරු මැණිකකි. කිමෙක්ද? බරණැසවත් ගියාද?
මෙහි ‘කණ්ඨෙ ච තෙ වෙළුරියො’ යනු ‘ඔබේ ගෙලෙහි මේ විදුරුමිණකි. මෙතුවක් කල්, ඔබ එය අපට නොපෙන්නුවෙහි යැ’යි කැබිලිති කටුව සඳහා කී ය යන අර්ථයි. ‘අජංගලං’ යන්නෙන් මෙහිදී ‘බරණැස් නුවර’ අදහස් කෙරේ. ‘කිමෙක්ද? මෙතැනින් නික්ම බරණැස් නුවරටවත් ගියා දැ’යි විචාරායි’ යන අර්ථයි.
ඉක්බිති කාක්කා ඊට මෙසේ පිළිතුරු දුන්නේය.
5. තාගේ මිතුරෙක් හෝ හතුරෙක් හෝ බරණැසට නො ගියේය. එහි පියාපත් සිඳ ගෙලෙහි කැබිලිති කටු බඳිති.
මෙහි ‘පිඤ්ජානි’ යනු ‘පියාපත්’ය. ‘තත්‍ථ ලායිත්‍වා’ යනු ‘ඒ බරණැස පියාපත් සිඳ’ යන අර්ථයි. ‘වට්ටනං’ යනු ‘කැබිලිති කටුව’ය.
අවසානයේදී පරෙවියා කපුටා අමතා මෙසේ කීය.
6. මිතුර, ඔබ නැවත මේ තත්ත්වයට පැමිණෙන්නෙහිය. නුඹේ ස්වභාවය එවැනිය. පක්‍ෂියකුට මිනිස් ලොව සම්පත් අනුභව කිරීම පහසු නොවේ.
මෙහි ‘පුනපාපජ්ජසි’ යනු ‘නැවත ද මෙවැනි තත්ත්වයට පැමිණෙන්නෙහිය. නුඹේ ස්වභාවය එබඳුය’ යන අර්ථයි.
මෙසේ පරෙවියා කපුටාට අවවාද කොට, එහි තවදුරටත් නොවැස පියාපත් විදහාගෙන, වෙනත් නවාතැනක් සොයා පිටත් වී ගියේය. කපුටා එතැනම ජීවිතක්‍ෂයට පත්විය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාවසානයෙහි ලෝල භික්‍ෂුව අනාගාමී ඵලයෙහි පිහිටියේය. එදා කපුටා නම්, ලෝල භික්‍ෂුවය. පරෙවියා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
තෙවැනි අඩ්ඪ වර්ගය යි.
පඤ්චක නිපාත වර්ණනාව නිමියේ ය.