4. චුල්ලධනුග්ගහ ජාතකය (374)
‘සබ්බං භණ්ඩං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, ගිහි කල බිරිය විසින් පොළඹවන ලද භික්ෂුවක අරබයා වදාළ සේක. බුදුරදුන් හමුවේදී, ඒ භික්ෂුව විසින්ම ‘ස්වාමීනි, මා මහණකමට කළකිුරණේ මාගේ ගිහි කල භාර්යාව නිසා යැ’යි කී කල්හි, බුදුරජාණන් වහන්සේ, ‘මහණ, ඔය ස්ත්රිය ඔබට අනර්ථය සිදුකෙළේ දැන් පමණක් නොවේ. පෙර ද ඔබ ඇය නිසා කඩුපතින් ගෙල සිඳගත්තෙහි යැ’යි වදාරා සෙසු භික්ෂූන්ගේ අයැදුමෙන්, මේ අතීත කථා පුවත දේශනා කොට වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, බෝසත් තෙමේ ශක්ර ව උපන්නේය. එකල බරණැස් නුවර වැසි එක් බ්රාහ්මණ තරුණයෙක් තක්ෂිලාවට ගොස් එහි දී සියලු ශිල්ප උගෙන දුනු ශිල්පයෙහි කෙළ පැමිණ නිමාවට පත්වී ‘චුල්ල ධනුග්ගහ පණ්ඩිතයා යැ’යි ප්රසිද්ධ විය. ඔහුගේ ආචාර්යතුමා කිසියම් දවසක ‘මේ තරුණයා මා වැනිම දක්ෂයෙකි. සියලු ශිල්ප මා මෙන් ම උගත්තේය. එබැවින් මොහුට මාගේ දියණිය පාවා දිය යුතු යැ’යි කල්පනාකොට එසේ කෙළේය. මේ බමුණු කුමරාද ඇයත් රැගෙන බරණැසට යනු සඳහා ගුරුතුමාගෙන් අවසර ද ගෙන මගට පිළිපන්නේය. මේ ගමනේ දී දිගු කැලෑබද ප්රදේශ දෙකක් පසුකළ යුතු විය. මෙසේ මහමග ගමන් කරන මේ තරුණ යුවල පළමුවන කැලෑබද ප්රදේශය ආසන්නයේ ම ඇති ගමට පැමිණියහ. මේ කැලෑ ප්රදේශයේ ඉතා දරුණු චණ්ඩ හස්තිරාජයෙක් වෙසේ. ඌ ඒ මුළු පළාතම වනසයි. එබැවින් කිසිකෙනෙක් ඒ මගින් ගමන් කරන්නට එඩිතර නොවෙති. චුල්ල ධනුග්ගහ පඬිතුමා ඒ කැලෑ පෙදෙසට ළංවනවිට, ගමේ මිනිස්සු චණ්ඩි හස්තිරාජයා සහ උගේ කෙරුවාවන් ගැන කියා, ඔවුන් වළක්වන්නට උත්සාහ ගත්හ. එහෙත් ඒ කිසිවක් ගණනකට නොගත් බමුණු කුමරා, සිය බිරිය ද කැටුව කැලෑ මගට පිවිසුණේය. කැලෑ මගේ මැදක් තැන් යනවිට, ඇත් රාජයා හඬ නගා ගෙන ඔවුන් ඉදිරියට පැන්නේය. ධනුග්ගහ කුමරු එකම හීයකින් ඇතුගේ කුම්භස්ථලයට විද්දේය. ඊතලය ඇතා විනිවිද ගොස් උගේ පසුපසින් නිකුත් විය. ඇතා එතැනම මැරී වැටුණේය. මෙසේ ඇතුගෙන් ගැලවුණු ධනුග්ගහ පඬිතුමා, වන පියස කෙළවර කොට, තවත් ගමකට පිවිසුණි. මේ ගමෙන් අනතුරුව ඇත්තේ තවත් විශාල කැලෑ ප්රදේශයකි. මේ කැලයෙහි පනහක් පමණ වූ සොරු කණ්ඩායමක් මං පැහැරීම් කරති. මෙකී ගමේ මිනිස්සු ද ධනුග්ගහ කුමාරයාත් එම කුමාරියත් දැක, වහා ළඟට අවුත්, මේ කැලෑබද මාර්ගයෙන් නොයන ලෙසත්, කැලෑවේ මංපහරණ සොරුන් වෙසෙන බවත්, ඔවුන් ඉතා බිහිසුණු බවත්, තරුණ යුවලට පැහැදිලි කොට දුන්හ. එහෙත් ඒ කිසිවක් නොසැලකූ ධනුග්ගහ කුමරා බිරියද කැටුව වනයට ඇතුළු විය. ඒ වනගත මාර්ගයෙහි කිසියම් තැනෙක රැස්වූ, ඉහත කී සොරු කන්ඩායම, එක් මුවකු මරා ගින්නෙන් පුලුස්සමින් කකා හුන්හ. අනුක්රමයෙන් තරුණ යුවල එතැනට පැමිණියහ.
ඒ දුටු සොරු ‘ස්වර්ණාභරණයෙන් සැරසුණු ඒ යුවල අල්ලා ගන්නෙමු’යි කියා ඊට උත්සාහවත් වූහ. සොර නායකයා අංග ලක්ෂණ විද්යාවෙහි දක්ෂයෙකි. ඔහු කුමරු දුටු පමණින්ම, ‘මේ උථ්තම පුරුෂයෙකි’යි තේරුම් ගත්තේය. එබැවින් තම රැළේ එක ද සොරකුටවත් නැගිටින්නට ඉඩ නොදී, නැවත හිඳගන්නා ලෙස, ඔවුන්ට අතින් සන් කෙළේය. මේ අතර ධනුග්ගහ කුමාරයාද, ගමන් විඩාව නිසාම ගසක් මුල වාඩි වී ‘දැන් දැන් බඩගින්න අධිකය. එබැවින් සොඳුර, ඔබ ගොස් අපට ද එක් මස් පෙත්තක් සොරුන්ගෙන් ඉල්ලාගෙන එව’යි කියා බිරිය සොරුන් වෙත පිටත් කෙළේය. කුමරිය සොරුන් වෙත ගොස්, ඔවුන්ගෙන් එක් මස්පෙත්තක් ඉල්ලුවා ය. එවිට සොර නායකයා ‘මැයගේ ස්වාමියා උතුම් පුරුෂයෙකි. එබැවින් ඔවුන්ට මස් පෙත්තක් දෙව’යි සොරුන් අණ කෙළේය. එවිට සොරු පිළිස්සූ මස් අප විසින් කන ලදි. එබැවින් මෙය ගන්නැ’යි කියා නො පිසූ මස් වැදැල්ලක් කුමරියට දුන්හ. මහත් අභිමානයෙන් යුතු පුරුෂයකු වූ ධනුග්ගහ තරුණයා ‘මට නොපිසූ මස් එවන ලදැ’යි සොරුන් කෙරෙහි කිපුණේය. ඒ දුටු සොරු ‘නුඹ මෙහි සිටින එකම පුරුෂයා කොට සිතහිද? කිමෙක්ද? අපි ගෑණු දැ’යි කියා කලබල වී නැගී සිටියහ. ධනුග්ගහ තරුණයා තම ඉදිරියට සටනට එන ඒ ඒ සොරාට එක එක ඊතලය බැගින් ගෙන, විද මැරීය. මෙසේ සොරු හතළිස් නව දෙනෙක් ඊපහර කා මැරී වැටුණහ. සොර නායකයා විද මැරීම සඳහා ධනුග්ගහ ළඟ ඊයක් නොවීය. ඔහුගේ හිවුරෙහි තිබුණේ ඊතල පනහක් පමණි. ඉන් එකෙකින් ඇතාට විදින ලදි. ඉතිරිව තිබුණේ ඊතල හතළිස් නවයකි. සොරුන් හතළිස් නවදෙනා මරා දමන ලද්දේ, ඒවා උපයෝගී කොට ගෙනය. විද මැරීමට ඊතලයක් නොමැති බැවින් ධනුග්ගහ කුමරු වහා පැන, සොරදෙටුවාට පහර දී, ඔහු බිම හෙළීය. සොරුගේ පපුව මත හිඳගත් ධනුග්ගහ කුමරු සොර දෙටුවාගේ හිස සිඳ දැමීම සඳහා කුමරියගෙන් කඩුව ඉල්ලීය. මීට කලින් එනම් දුන්නෙන් සටන් වැදීමට පෙරම කුමරු විසින් සිය කඩුපත කොපුවත් සමගම, කුමරිය අතට දී තිබුණි. ධනුග්ගහ කුමරු තමාගෙන් කඩුව ඉල්ලූ නමුත්, සොරදෙටුවා කෙරෙහි ආල සිතක් ඇති කොටගත් කුමරිය, කොපුව සහිත කඩුව සිය දෑතට ගෙන, කඩුවේ මිට සොර නායකයා දෙසටත්, කඩුපත තම සැමියා දෙසටත්, හරවා කඩුව කොපුවත් සමගම පිරිනැමුවාය. ඉන් ප්රයෝජන ගත් සොර නායකයා වහා කඩුමිට අතට ගෙන, කඩුව ඉවතට ඇද, එක පහරින්ම ධනුග්ගහ කුමරුගේ හිස සිඳ දැමීය.