3. මූසික ජාතකය (373)
‘කුහිං ගතා කත්ථ ගතා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවෙසෙන සේක්, අජාසත් රජු අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව මීට පෙර ‘ථූස’ ජාතකයෙහි විස්තර කරන ලදි. මේ ජාතකයට අනුව බුදුරදුන් දම් දෙසද්දී අජාසත් රජතුමා විටෙක තම පුතා සමග සෙල්ලම් කරයි. තවත් විටෙක බණ අසයි. මේ බව දුටු බුදුරජාණන් වහන්සේ ‘කවදා හෝ මේ දරුවා නිසා රජුට බිය උපදවන්නේ යැ’යි දැන, ‘මහරජතුමනි, පැරණි රජවරු සැක කළ යුතු අවස්ථාවන්හි සැක කොට සිය පුතාට, ‘මා මියගිය කල්හි, ආදාහනයෙන් පසුව ඇවිත් රාජ්‍යය බාරගන්න යැ’යි කියා, ඔහු සිය රාජ්‍යයෙන් බැහැරකොට තැබූහ’යි වදාරා මේ අතීත කථාව දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ තක්ෂිලාවෙහි බමුණු කුලයක ඉපිද, දිසාපාමොක් ආචාර්යවරයා බවට පත්විය. ඔහු ළඟ බොහෝ දරුවෝ උගනිති. ඒ අතර බරණැස් රජුගේ පුත්‍රයා වන ‘යව’ කුමාරයා ද ශිල්ප උගනිති. සියලු ශිල්පශාස්ත්‍ර උගෙන අවසන් කළ කුමරු නිසි අනුයෝග ආචාර්යවරයාට දී සිය රට බලා යාමට අවසර ඉල්ලීය. අංග විද්‍යාවෙහි කෙළ පැමිණි ගුරුතුමා කුමරා පරීක්ෂා කොට බලා, ‘කවදා නමුත් මොහුට මොහුගේ පුතාගෙන් අනතුරක් වන්නේය. එබැවින් එය දුරු කරන්නෙමි’යි සිතා ගමනට අවසර නොදුන්නේය. අනතුරුව කුමරු බේරා ගැනීමට ඇදුරුතුමා කිසියම් උපායක් කල්පනා කරන්නට පටන් ගත්තේය. මේ ඇදුරුතුමාට අශ්වයෙක් සිටී. ඇදුරුතුමා උගේ කකුලේ ඇති තුවාලයක් නිසා, ඌ මඩුවක් ඇතුළේ තබාගෙන උවටැන් කරවයි. මේ මඩුව සමීපයෙහි එක් ළිඳක් විය. මඩුව තුළ හුන් එක් මී පැටික්කියක්, සිය ගුළෙන් නික්ම අවුත් අසුගේ තුවාලය කයි. ඇය මේ තුවාලය කා දැමීම දිගින් දිගටම කළාය. අශ්වයා උත්සාහ කළත්, ඇගෙන් මිදීමට අපහසු විය. එක් දවසක් මී පැටික්කිය අවුත් තුවාලය කන්නට පටන් ගත්තාය. වේදනාව ඉවසිය නොහැකි වූ අශ්වයා ඇයට පයින් වෙර යොදා ගැසීය. ඒ පහරින්ම මියගිය මී පැටික්කිය විසි වී ගොස්, අසල තිබූ ළිඳට වැටුණි. මේ අතර අසු බලාගන්නා අස්ගොව්වෝ මීපැටික්කිය දින කිහිපයකින් දක්නට නොලැබුණු බැවින්, ‘ඇය කොහි ගියාදැ’යි කියමින් ඔවුනොවුන් සමග කථා කරමින් හුන්හ.
මේ කාරණය තත් වූ පරිද්දෙන් දැනගත්, දිසාපාමොක් ඇදුරුතුමා ‘මේ අස්ගොව්වෝ මී පැටික්කිය කොහි ගියාදැ’යි ප්‍රශ්න කරති. ඇයට වූ දේ මම පමණක් දනිමි’යි සිතා ඒ කාරණය නිමිති කොටගෙන ගාථාවක් රචනා කොට එය රාජකුමාරයාට පාඩම් කරගැනීමට දුන්නේය. එයින් නොනැවතුණු ඇදුරුතුමා, තවත් උපායක් සොයමින් කල් හැරියේය. මේ අතර තුවාලය සුවපත් ව අශ්වයා දිනක් අසල තිබූ යව (බාර්ලි) වත්තක් සමීපයට ගොස් යව කන්නට සිතා වැටේ කපොල්ලකින් ඔලුව ඇතුලට දැමීය. ඒ දුටු ඇදුරුතුමා එය නිමිති කොට, තවත් ගාථාවක් රචනා කොට, එය ද පාඩම් කරගැනීම සඳහා කුමරුට දුන්නේය. ඊට අමතරව තමන්ගේම ප්‍රඥා මහිමයෙන් තවත් ගාථාවක් පද බැඳ, එය ද කුමරුට දී ‘පුත, නුඹ රජයෙහි පිහිටා දරුවන් ද ලැබ, පළමු පුත්‍රයාට සොළොස් වයස වන සමයේ දී කිසියම් දිනෙක ඔබට සැඳෑ කාලයක නාන්න යන්නට සිදුවුවහොත් නාන පොකුණට ගොස්, එහි පඩිපෙළ මුදුනේ සිට, මා දුන් පළමු ගාථාව කියමින් ගමන් කරන්නැ’යි කියා ඇදුරුතුමා උපසේ දුන්නේය. තවද කිසියම් දවසක ස්වකීය සිරියහන් ගබඩාවට යන්නට සිතා උඩුමහල් තලයට ගොඩවෙන තැන දී සැකයක් ඇති වුවහොත්, එහි පියගැටපෙළ මුලසිට මේ ගාථාව කියමින් ගමන් කරන්නැ’යි කියා ඒ සඳහා මේ දෙවන ගාථාව කටපාඩම් කොට තබාගත යුතුයැ’යි ඇදුරුතුමා කුමරුට උපදෙස් දුන්නේය. එයින් ද නො නැවතුණු ඇදුරුතුමා ‘පුත, යහන්ගැබට ඇතුළු වන්නට සූදානම් වන විටෙක දී සැකයක් ඇති වුවහොත්, පියගැට පෙළේ මුදුන්පඩිය මත සිට, ඔබට ද ඇති තෙවන ගාථාව ගායනා කරන්න. එසේ ගායනා කරමින් යහන් ගැබ වෙත පිය නගන්නැ’යි කුමරුට උපදෙස් ලබා දී, සිය රට බලා යන්නට අවසර දුන්නේය.
මෙසේ සිය රටට පැමිණි රාජ කුමාරයා පියරජු සතුටු කොට යුවරජ තනතුර ද ලබාගෙන, රාජ්‍ය කටයුතුවල නිරත වුණි. පසුකලෙක පියරජුගේ ඇවෑමෙන් යුවරජ, මහරජතුමා බවට පත්විය. කලක දී ඔහුට පුතෙක් ද ලැබුණි. පුත් කුමරුට, වයස දහසය වන විට රාජ්‍යයට ලෝභ සිතක් ඇතිවිය. ඒ නිසාම රාජ කුමාරයා තම පියරජු මරා, රාජ්‍යය පැහැර ගන්නට සිතුවේය. එසේ සිතා තමාගේ ආරක්ෂක පුරුෂයන් වෙත ගිය කුමරු ඔවුන් අමතා ‘හිතවතුනි, මගේ පියා තවම තරුණය. ඔහු මැරෙනතෙක් ඔහුගේ ආදාහනය සිදුවනතෙක්, බලා සිටියොත්, මම මහල්ලෙක් වන්නෙමි. නාකි වූ පසු ලැබෙන රජ සැපතින් කවර ප්‍රයෝජනයක්දැ’යි කීවේය. ඒ ඇසූ ආරක්ෂක පුරුෂයෝ ‘කුමරුනි, අපට පසල් දනව්වකට ගොස් සොරකම්කොට අවශ්‍ය දෑ සපයා ගෙන, රාජ්‍යයක් ගොඩනැගීම, කිසිදා කළ නොහැක්කකි. එබැවින් කුමන හෝ උපායකින්, පියරජු මරා රාජ්‍යය ගනු මැනවැ’යි කුමරුට උපදෙස් දුන්හ. ආරක්ෂකයින්ගේ උපදෙස් අකුරට ම ක්‍රියා කිරීමට තීරණය කරගත් රාජ කුමාරයා පියරජු ඝාතනය කිරීමට මාන බලමින් සිටියේය. මේ අතර කිසියම් දිනක රජතුමා, නාන්නට අවශ්‍ය වූ බැවින් රජමාලිගය සමීපයේ ඇති, පොකුණ වෙත යන්නට තීරණය කර ගත්තේය. රජුගේ සාමාන්‍ය සිරිත නම්, ස්නානයට මඟුල් පොකුණට යාමයි. එහෙත් සැඳෑ කලෙක වුවහොත් මාලිගය සමීපයේ වූ පොකුණෙන් ස්නානය කිරීම රජතුමා පුරුද්දක් කොට ගත්තේය. රජු මේ සැන්දෑවේ නාන්නට සූදානම් වන බව දැනගත් රාජකුමාරයා, තමාගේ මනදොළ මුදුන්පත් කරගැනීමට අදිටන්කොට ගෙන, කඩුවක් ද අතෙහි දරා ‘මෙහිදී රජු මරා දමන්නෙමි’යි සිතා, පොකුණ සමීපයෙහි සැඟවී සිටියේය. රාජ මාලිගයෙහි ‘මූසිකා’ නමින් දාසියක් වූවාය. රජතුමා ඇයට කථාකොට ‘මම තව ටිකෙකින් ස්නානය සඳහා පැමිණෙන්නෙමි. නුඹ ගොස් පොකුණ අවට පිරිසිදු කරව’යි කියා, දාසිය පිටත්කොට හැරියේය. අණ ලද සැණින් එහි ගිය මූසිකා නම් වූ දාසිය, පොකුණ අවට පිරිසිදු කරගෙන යනවිට, සැඟව සිටි කුමරුන් දැක්කාය. එවිට ‘තමාගේ මේ ක්‍රියාව ප්‍රකට වේ යැ’යි, යන බියෙන් කුමරු වෙව්ලන්නට පටන් ගත්තේය. එම හේතුවෙන් ඉදිරියට පැන ගත් කුමරු, කඩුව ඇද එයින් දාසියට පහර දී ඇය දෙකට කපා, පොකුණෙහිම ගිල්වීය. මේ අතර රජතුමා නාන්නට එතැනට එමින් සිටියේය. රජු සමග පැමිණි පරිවාර ආරක්ෂක පුරුෂයෝ, ‘පොකුණ පිරිසිදු කිරීමට මෙහි පැමිණි මූසිකාව කොහිදැ’යි, කොතැනට ගියාදැ’යි ප්‍රශ්න කරමින් පොකුණ සමීපයේ සිටියහ. රාජපුරුෂයන් විසින් කියන ලද ‘මූසිකා’ යන වචනය ශ්‍රවණය කළ රජතුමාට, ඔහු පාඩම් කළ ගාථා අතුරෙන් පළමුවැන්න සිහිපත් විය. එබැවින් පොකුණුතෙර සිට රජතුමා එය මෙසේ පැවසීය.