2. මිගපෝතක ජාතකය (372)
‘අගාරා පච්චුජෙතස්ස’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක්, එක් මහලු භික්ෂුවක් අරබයා වදාළ සේක. කිසියම් දිනෙක, ඉහත කී භික්ෂුව එක් කුඩා දරුවකු පැවිදිකොට ගත්තේය. ඒ සාමණේරයා තම ගුරුවරයා වන, මහලු භික්ෂුවට සකසා උවටැන් කෙළේය. පසුකලෙක කිසියම් අසනීපයක් නිසා කුඩා නම මිය ගියේය. ඔහුගේ මරණය මහලු භික්ෂුවට ඉවසුම් නොදෙන්නක් විය. මහත් වූ ශෝකයෙන් පෙළුණු මහලු භික්ෂුව, හඬ නගා වැළපෙමින් ඒ මේ අත යයි. ඔහුගේ හිත හදන්නට සෙසු භික්ෂූහු උත්සාහ ගත් නමුත්, එය නොහැකි වූහ. දම් සභාවෙහි රැස් වූ භික්ෂූහු ඒ ගැන සාකච්ඡා කරමින් හුන්හ. එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා මහණෙනි, තෙපි කුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නාහුදැ’යි ඇසූ සේක. එවිට භික්ෂූහු, ‘ස්වාමීනි, අසවල් මහලු භික්ෂුව සාමණේරයාගේ මරණය ඉවසිය නොහී, වැලපෙමින් ඒ මේ අත ඇවිදියි. ස්වාමීනි, ඒ භික්ෂුව මරණානුස්සති භාවනාවෙන් පරිබාහිර වූවෙකැ’යි උත්තර දුන්හ. ‘මහණෙනි, ඔහු දැන් පමණක් නොව පෙර ද එසේ මළගමක් ඉවසාගත නොහී, වැළපෙමින් හැසිරුණේ යැ’යි, වදාළ බුදුරජාණන් වහන්සේ ඒ හා සම්බන්ධ, මේ අතීත කථාව දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, බෝසත් තෙමේ ශක්රයා ව ඉපිද සිටියේය. එකල එක් කසීරට වැසි පුද්ගලයෙක් හිමාල වනයට පිවිස සෘෂි පැවිද්දෙන් පැවිදිව, ඵලවැලින් යැපෙමින් දිවි ගෙවීය. ඔහු කිසියම් දවසක කැලයේ දී මව මළ එක් මුව පොව්වකු දැක, ඌ අසපුවට ගෙනැවිත් ආහාර කවා පෝෂණය කෙළේය. මුව පැටියා ද ඉතා රූපසම්පන්න ව සෞභාග්යයෙන් යුතුව වැඩුණේය. තාපසයා ඌ තමාගේ පුත් තනතුරෙහි ලා කටයුතු කරයි. කිසියම් දවසක පමණ ඉක්මවා තණකොළ කෑ මුවපොව්වා, ඒවා දිරවාගත නොහැකි වී, එයින්ම මරණයට පත්විය. ඒ දුටු තාපසයා ‘මගේ පුතා මළේ යැ’යි, කියමින් වැලපෙමින් ඒ මේ අත හැසිරුණේය. එකල සක්දෙව් රජ ලොව පිරික්සා බලනුයේ, ඉහත කී වැළපෙන තවුසා දුටුවේය. දුකෙන් පෙළෙන ඔහු සංවේගයට පත්කිරීමට කල්පනා කළ ශක්රයා වහා අවුත් අහසෙහි සිට මෙසේ පැවසීය.
අගාරා පච්චුපෙතස්ස - අනාගාරස්ස තෙ සතො,
සමණස්ස න තං සාධූ - යං පෙත මනු සොචසී ති
සමණස්ස න තං සාධූ - යං පෙත මනු සොචසී ති
මළගිය කෙනකු වෙනුවෙන් ශෝක කිරීමක් වේ නම්, එය ගිහිගෙයින් වෙන් වී අනගාරික වූ ශ්රමණයකුට නුසුදුසුයි. ශක්රයාගේ ඒ කියමන ඇසූ තවුසා, මෙසේ කීය.
2. ශක්රය, ඒකාන්තයෙන් එකට විසීමෙන් මිනිසකුගේ ද, මුවකුගේ ද හදවත්හි ප්රේමය ඇති වේ. එබැවින් ශෝක නොකර ඉන්නට නො පිළිවන.
මෙහි ‘න තං සත්තා’ යනු ‘ප්රේමය මිනිස් වුවත්, තිරිසන් වුවත්, ශෝක නොකර ඉන්නට නො පිළිවන. එබැවින් මම ශෝක කරමි’ යන අර්ථයි.
ඒ පිළිතුරෙන් පසු ශක්රයා මෙසේ පැවසීය.
3. මළ තැනැත්තාට ද මැරෙන්නාට ද යම් උදවිය හඬති. වැලපෙති. සෘෂිය, එබැවින් නුඹ නො හඬව. සත්පුරුෂයෝ ‘හැඬීම හිස් වැඩෙකැ’යි කියති.
4. බමුණ, ඒකාන්තයෙන් හැඬීමෙන් මළ තැනැත්තා නැවත පණ ලබා නම්, අපි සියලුදෙනා එක්ව, ඔවුනොවුන්ගේ නෑයින් වෙනුවෙන් හඬමු.
මෙහි ‘මරිස්සං’ යනු ‘යමෙක් දැන් මැරෙන්නේ ද? ඔහුයි’ ‘ලපන්ති ච’ යනු ‘වැලපෙති’ යන අර්ථයි. මින් කියන ලද්දේ මෙයයි. එනම්, ලොව යම් කෙනෙක් මළවුන් හා මැරෙනවුන් උදෙසා හඬද්ද? වැළපෙද්ද? ඔවුන්ගේ කඳුළු වියැළෙන දවසක් නැත. මක්නිසාද? මැරෙන අය සදාකාලික ව ඇති නිසාය. එබැවින් ‘සෘෂිය, නුඹ නො හඬව’ කුමක් නිසාද? සත්පුරුෂයන් ‘හැඬීම හිස් දෙයකැ’යි කියන ලද බැවිනි. බුද්ධාදීහු ‘හැඬීම හිස් ක්රියාවෙකැ’යි කියති. ‘මතො පෙතො’ යනු ‘යමෙක් මළේ නම්, ඔහුට ‘ප්රේත’ යැකි කියනු ලැබේ. ඉදින් හැඬීම නිසා ඒ මළ තැනැත්තා මළවුන්ගෙන් නැගිටින්නේ නම්, එසේ ඇති කල්හි, කුමක් නිසා උත්සාහ නොකොට ඉවත්ව යමුද? එබැවින් සියලුදෙනා ම එකට එක්ව ඔවුනොවුන්ගේ නෑයින් වෙනුවෙන් හඬමු. යම් හෙයකින් හැඬීම කරණ කොටගෙන ඔවුහු මළවුන්ගෙන් නො නැගිටිත් නම්, හඬන්නාගේ මෝඩකම ම ඉන් ප්රකට වේ.’ යන අර්ථයි.
මෙසේ ශක්රයා දිගින් දිගට ම කරුණු කියන විට තාපසයා හැඬීමෙහි නිරර්ථක බව තේරුම් ගත්තේය. අනතුරුව ශක්රයාට ස්තුති කරමින් තාපසතුමා මෙසේ කීය.
5. ගිතෙල් ඉසින ලද ගින්නක් දිය ඉස නිවන්නාක් මෙන්, දැවෙන මාගේ සියලු පීඩාවන් නිවා දැමීය.
6. ශෝකයෙන් පීඩිත වූ මාගේ පුත්ර ශෝකය, යමෙක් දුරු කෙළේද? ඔහු මාගේ හදවතෙහි ඇනී තිබූ ශෝක නමැති හුල ද, උදුරා දැමීය.
7. සක්රජුනි, ඒ මම ඔබට ඇහුම්කන් දී, උදුරන ලද හුල් ඇත්තේ වෙමි. ශෝකය පහ කෙළෙමි. නො කැළඹෙම්, දුක් නො වෙම්, නො හඬමි.
මෙහි ‘යමාසි’ යනු ‘යමක් මා තුළ වීද?’ යන අර්ථයි. ‘හදයනිස්සිතං’ යනු ‘හදවතෙහි පවතින’, යන අර්ථයි. ‘අපානුදි’ යනු ‘බැහැර කෙළේය’ මෙසේ ශක්ර තෙමේ තවුසාට අවවාද දී, සිය දෙව්ලොව බලා පෙරළා ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා තාපසයා නම්, මේ මහලු භික්ෂුවය. මුවා නම්, සාමණේරයාය. සක්දෙවිඳු වූ කලී, ‘මම ම යැ’යි, බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
3. මූසික ජාතකය (373)
‘කුහිං ගතා කත්ථ ගතා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවෙසෙන සේක්, අජාසත් රජු අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව මීට පෙර ‘ථූස’ ජාතකයෙහි විස්තර කරන ලදි. මේ ජාතකයට අනුව බුදුරදුන් දම් දෙසද්දී අජාසත් රජතුමා විටෙක තම පුතා සමග සෙල්ලම් කරයි. තවත් විටෙක බණ අසයි. මේ බව දුටු බුදුරජාණන් වහන්සේ ‘කවදා හෝ මේ දරුවා නිසා රජුට බිය උපදවන්නේ යැ’යි දැන, ‘මහරජතුමනි, පැරණි රජවරු සැක කළ යුතු අවස්ථාවන්හි සැක කොට සිය පුතාට, ‘මා මියගිය කල්හි, ආදාහනයෙන් පසුව ඇවිත් රාජ්යය බාරගන්න යැ’යි කියා, ඔහු සිය රාජ්යයෙන් බැහැරකොට තැබූහ’යි වදාරා මේ අතීත කථාව දේශනා කළ සේක.