1. දීඝිති කෝසල ජාතකය (371)
‘එවං භූතස්ස තෙ රාජා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, කොසඹෑ නුවර විසූ කලහකාරී භික්‍ෂු පිරිසක් අරබයා වදාළ සේක. පසුව ඒ භික්‍ෂු පිරිස දෙව්රමට විත් බුදුරදුන්ට වැඳ සමාකරවා ගත් කල්හි, බුදුරජාණන් වහන්සේ ඔවුන් අමතා ‘මහණෙනි, ඔබ හැම මාගේ මුඛයෙන් හටගත් ඖරස පුත්‍රයෝ ය. දරුවන් විසින් කිසිදා පියාගේ අවවාද බිඳ දැමීමට නුසුදුසුය. එසේ වුවත් ඔබ හැමදෙනා මාගේ අවවාද නො පිළිපැද්දාහුය. පැරණි පඬිවරු, සිය දෙමාපියන් නසා, රජය පැහැර ගත්, සොරා කැලයේදී අතට පත් වුවත්, සිය දෙමාපියන් දුන් අවවාද බිඳීමට නොහැකි බැවින් සතුරාට අභය දානය දුන්හ’ යි වදාරා මේ අතීත කථා පුවත වදාළ සේක.
මේ ජාතකයෙහි වර්තමාන කථා වස්තුවත්, අතීත කථා වස්තුවත්, යන දෙකම, ‘සංඝභේදක’ ජාතකයෙහි විස්තර වශයෙන් දැක්වේ. ඊට අනුව ඒ ‘දීඝාවු’ කුමාරයා කැලයේ දී තමාගේ උකුල මත වැද හෙව නිදන, බරණැස් රජුගේ කෙස්වැටියෙන් අල්ලාගෙන, ‘දැන් මාගේ දෙමාපියන් ඝාතනය කල සොරා කෑලි දාහතරකට කපා මරණයට පත් කරන්නෙමි’යි කඩුව එසවීය. එකෙණෙහි ම තම මවුපියන් තමාට දුන් අවවාද කුමරුට සිහිපත් විය. ‘ජීවිතය ගියත් මවුපියන්ගේ අවවාද නොබිඳින්නෙමි’යි ඉටා ගත් කුමරු, ‘එහෙත් මොහුට තර්ජනය කරන්නෙමැ’යි සිතා රජුට මෙසේ කීය.
එවං භූතස්ස තෙ රාජ - ආගතස්ස වසෙ මමං,
අත්‍ථි නු කොචි පරියායො - යො තං දුක්ඛා පමොචයෙ
රාජය, මගේ වසඟයට පැමිණ මේ තත්ත්වයට පත්වූ, තට මේ දුකෙන් මිදීමට යම්කිසි හේතුවක් ඇත්නම්, එය කියව.
මෙහි ‘වසෙ මමං’ යනු ‘මගේ වසඟයට පැමිණි’ යන අර්ථයි. ‘පරියායො’ යනු ‘කාරණයකි’ න අර්ථයි.
ඉක්බිති රජතුමා, කුමරුට මෙසේ පැවසීය.
2. පුත, ඔබේ වසඟයට පැමිණ, මේ තත්ත්වයට පත්වූ මට, මේ දුකෙන් මිදීමට කිසිදු හේතුවක් නැත.
මෙහි ‘නො’ යනු නිපාතයක් පමණි. ‘මා මේ දුකෙන් මුදවාලීමට කිසිදු හේතුවක් නැත’ යන අර්ථයි.
අනතුරුව බෝසත් තෙමේ, රජුට මේ අදහස් පැවසීය.
3. මරණ මොහොත ළංවූ විට, සුචරිතය හැර අන් සරණක් නැත. සුභාෂිතය හැර අන් පිහිටක් නැත. ඉන් ධාන්‍ය වූ ධනය වනාහි, ධනය ම පමණි.
4. මට බැන්නේය, මට පහර දුන්නේය, මා පැරදවීය, මාගේ දේ පැහැර ගත්තේ යැයි, යමකු ගැන යම් කෙනෙක් වෛර බඳිත්ද? ඔවුන්ගේ ඒ වෛරය නො සන්සිඳේ.
5. මට බැන්නේය, මට පහර දුන්නේය, මා පැරදවීය, මගේ දේ පැහැර ගත්තේයැයි යමකු ගැන යම් කෙනෙක් වෛර නොබඳිත්ද? ඔවුන්ගේ ඒ වෛරය සන්සිඳේ.
6. මෙලොව වෛරයෙන් වෛරය කිසිකලෙකත් නොසන්සිඳේ. අවෛරයෙන්ම වෛරය සන්සිඳේ. මෙය සදාකාලික දහමකි.
මෙහි ‘නාඤ්ඤං සුචරිතං’ යනු ‘සුචරිතය හැර අන් යමක් නොදකිමි’ යන අර්ථයි. ‘නාඤ්ඤං සුචරිතා’ යන මෙයම පාඨය හෝ විය හැකි ය. මෙහි ‘සුචරිත යැයි ද, සුභාෂිත යැයි ද කියන ලද්දේ මවුපියන් විසින් දෙන ලද අවවාද සඳහාය’ යන අර්ථයි. ‘එවමෙව’ යනු ‘නිරර්ථකය’ යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අදහසයි. එනම් ‘මහරජ, අවවාද අනුශාසනා සංඛ්‍යාත සුචරිතය හා සුභාෂිතය හැර, මරණ මොහොතට ළං වූවකුට පිහිටවන, රැකවරණය දෙන, අන් කිසිවක් නැත. ඉන් අන්‍ය වූ ධනය යන යමක් වේ නම්, එය ධනයම පමණි. එනම් එය නිරර්ථක දෙයක්ම වේ. ඔබ වනාහි, දැන් මට කෝටි ලක්ෂයක පමණ ධනයක් දුන්නත්, ඉන් ජීවිතය නො ලබන්නෙහිය. එබැවින් ධනයට වඩා, සුචරිතයම සුභාෂිතයම උත්තරීතර යැ’යි, දත යුතුය.
සෙසු ගාථාවන්හි අර්ථය සැකෙවින් මෙසේය. ‘මහරජ, යම් කෙනෙක් මොහු මට බැන්නේය. පහර දුන්නේය. මා පැරදවීය. මා සන්තක දේ පැහැර ගත්තේ යැ’යි මෙසේ වෛරය සිත තබා ගනිත්ද, වෛර බැඳ ගනිත්ද? ඔවුන්ගේ ඒ වෛරය නොසන්සිඳේ. යම් කෙනෙක් එසේ වෛර බැඳ නොගනිත්ද? වෛරය සිත්හි තබා නො ගනිත්ද? ඔවුන්ගේ ඒ වෛරය සන්සිඳේ. වෛරයෙන් වෛරය කිසිදා නො සන්සිඳේ. අවෛරයෙන්ම සන්සිඳේ’ යන අර්ථයි. ‘එසධම්මො සනන්තනො’ යනු ‘මෙය පුරාණ දහමකි. බොහෝ කලක සිට පැවතෙන ස්වභාවයකි.’ යන අදහසයි.
මෙසේ කියූ බෝසත් තෙමේ, ‘මහරජ, මම ඔබට ද්වේෂ නොකෙරෙමි. ඔබතුමා මා මරනු මැනවැ’යි කියා, රජුගේ අතෙහි කඩුව තැබීය. එවිට රජතුමා ද ‘පුත, මම ද ඔබට ද්වේෂ නො කෙරෙමි’යි, දිවුරා පොරොන්දු වී, කුමරුත් කැටුව නුවරට ගොස්, ඇමතියන් රැස් කොට ඔවුන්ට කුමරු පෙන්වා, ‘හිතවතුනි, මේ කොසොල් රජුගේ පුත් දීඝාවු කුමාරයාය. මොහු විසින් මට ජීවිත දානය දෙන ලදි. මොහුගෙන් කිසිදු පීඩාවක් නො ලැබීමි’යි කියා, තම දියණිය කුමරුට පාවා දී කුමරු පියසන්තක රාජ්‍යයෙහි පිහිට වීය. එතැන් පටන් මේ දෙදෙනා ම, සමගිව සතුටු සිතින් යුතුව රාජ්‍යය විචාළහ.
බුදුරජාණන් වහන්සේ මේ දම් දෙසුම ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා දෙමාපියෝ නම්, මෙදා මහාරාජ කුලය (සුද්ධෝදන රජතුමා හා මහාමායා බිසව) ය. දීඝාවු කුමාරයා වූ කලී, ‘මම ම යැ’යි, බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
2. මිගපෝතක ජාතකය (372)
‘අගාරා පච්චුජෙතස්ස’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක්, එක් මහලු භික්‍ෂුවක් අරබයා වදාළ සේක. කිසියම් දිනෙක, ඉහත කී භික්‍ෂුව එක් කුඩා දරුවකු පැවිදිකොට ගත්තේය. ඒ සාමණේරයා තම ගුරුවරයා වන, මහලු භික්‍ෂුවට සකසා උවටැන් කෙළේය. පසුකලෙක කිසියම් අසනීපයක් නිසා කුඩා නම මිය ගියේය. ඔහුගේ මරණය මහලු භික්‍ෂුවට ඉවසුම් නොදෙන්නක් විය. මහත් වූ ශෝකයෙන් පෙළුණු මහලු භික්‍ෂුව, හඬ නගා වැළපෙමින් ඒ මේ අත යයි. ඔහුගේ හිත හදන්නට සෙසු භික්‍ෂූහු උත්සාහ ගත් නමුත්, එය නොහැකි වූහ. දම් සභාවෙහි රැස් වූ භික්‍ෂූහු ඒ ගැන සාකච්ඡා කරමින් හුන්හ. එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් අමතා මහණෙනි, තෙපි කුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නාහුදැ’යි ඇසූ සේක. එවිට භික්‍ෂූහු, ‘ස්වාමීනි, අසවල් මහලු භික්‍ෂුව සාමණේරයාගේ මරණය ඉවසිය නොහී, වැලපෙමින් ඒ මේ අත ඇවිදියි. ස්වාමීනි, ඒ භික්‍ෂුව මරණානුස්සති භාවනාවෙන් පරිබාහිර වූවෙකැ’යි උත්තර දුන්හ. ‘මහණෙනි, ඔහු දැන් පමණක් නොව පෙර ද එසේ මළගමක් ඉවසාගත නොහී, වැළපෙමින් හැසිරුණේ යැ’යි, වදාළ බුදුරජාණන් වහන්සේ ඒ හා සම්බන්ධ, මේ අතීත කථාව දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ ශක්‍රයා ව ඉපිද සිටියේය. එකල එක් කසීරට වැසි පුද්ගලයෙක් හිමාල වනයට පිවිස සෘෂි පැවිද්දෙන් පැවිදිව, ඵලවැලින් යැපෙමින් දිවි ගෙවීය. ඔහු කිසියම් දවසක කැලයේ දී මව මළ එක් මුව පොව්වකු දැක, ඌ අසපුවට ගෙනැවිත් ආහාර කවා පෝෂණය කෙළේය. මුව පැටියා ද ඉතා රූපසම්පන්න ව සෞභාග්‍යයෙන් යුතුව වැඩුණේය. තාපසයා ඌ තමාගේ පුත් තනතුරෙහි ලා කටයුතු කරයි. කිසියම් දවසක පමණ ඉක්මවා තණකොළ කෑ මුවපොව්වා, ඒවා දිරවාගත නොහැකි වී, එයින්ම මරණයට පත්විය. ඒ දුටු තාපසයා ‘මගේ පුතා මළේ යැ’යි, කියමින් වැලපෙමින් ඒ මේ අත හැසිරුණේය. එකල සක්දෙව් රජ ලොව පිරික්සා බලනුයේ, ඉහත කී වැළපෙන තවුසා දුටුවේය. දුකෙන් පෙළෙන ඔහු සංවේගයට පත්කිරීමට කල්පනා කළ ශක්‍රයා වහා අවුත් අහසෙහි සිට මෙසේ පැවසීය.