8. තචසාර ජාතකය (368)
‘අමිත්තහත්‍ථත්‍ථගතා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සේක්, ප්‍රඥා පාරමිතාව නිමිති කොටගෙන වදාළ සේක. එම අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, තථාගත තෙමේ දැන් පමණක් නොව, පූර්වයේදී ද ප්‍රඥා සම්පන්නයෙක්ව උපාය කුසලතාවයෙන් යුතු, සමතෙක් ව විසී යැයි වදාරා, භික්‍ෂූන්ගේ අයැදුමෙන් මේ අතීත කථාව වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ කුඩා ගමක කෙළෙඹි පවුලක උපන්නේය. ඉතිරි සියල්ල මීට මුලින් කී ජාතකයෙහි ආ පරිද්දෙන් දත යුතුය. මේ ජාතකයට අනුව වෙදා මළ කල්හි, එතැනට රැස්වුණු මිනිස්සු ‘මේ මිනීමරුවන් පිරිසකැ’යි කියා ඒ දරුවන් උණ කෝටු තබා බැඳ, රජුට දැක්වීම පිණිස බරණැසට ගෙන ගියහ. බෝසත් දරුවා අතරමගදීම, සෙසු දරුවන්ට කථාකොට, ‘තෙපි බිය නොවවු. රජු ඉදිරියට ගිය විටත්, අභීතව, සතුටු මුහුණු ඇතිව සිටිවු. රජතුමා පළමුකොට අපට කථා කරන්නේය. එතැන් සිට ඉතිරි කොටස මම බලා ගන්නෙමැ’යි අවවාද දුන්නේය. සෙසු ළමයි ද බෝසත් දරුවාගේ උපදෙස් පිළිගෙන, කී පරිද්දෙන් කටයුතු කළහ. රජතුමා මේ දරුවන් අභීතව, සතුටු මුහුණු ඇතිව සිටිනු දැක, ‘මොවුහු මිනීමරුවෝ යැ’යි කියා උණදඬු තබා බැඳ මෙහි ගෙනෙන ලද්දාහු වුවත්, ඔවුහු බිය නො වෙති. සතුටු මුහුණුවලින් යුක්ත වෙති. එබැවින් මොවුන්ගේ ශෝක නොවීමට හේතුව කවරේද? ඔවුන්ගෙන්ම ඒ ගැන අසා දැන ගන්නෙමි’යි සිතා මෙසේ පැවසීය.
අමිත්ත හත්‍ථත්‍ථගතා තචසාර සමප්පිතා,
පසන්න මුඛ වණණත්‍ථ - කස්මා තුම්හෙ නසොචථා ති
උණ දඬු තබා බඳිනා ලදුව, සතුරන්ගේ අත්අඩංගුවට පත් වූ නුඹලා ප්‍රසන්න මුහුණු ඇත්තාහු වෙති. තෙපි කුමක් හෙයින් ශෝක නොකරවුද?
මෙහි ‘අමිත්තහත්‍ථත්‍ථගතා’ යනු ‘බෙල්ලෙහි උණ දඬු තබා බැඳගෙන එන්නා වූ ද, සතුරන්ගේ අත්අඩංගුවට පත් වූ’, යන අර්ථයි. ‘තචසාරසසමප්පිතා’ යනු ‘උණ දඬු තබා බඳින ලද බැවින් මෙසේ කියන ලදි. ‘කස්මා’ යනු ‘මෙබඳු විපතකට වැටීත්, තෙපි කුමන කරුණක් නිසා ශෝක නො කරවුදැ’යි විචාරයි යන අර්ථයි.
ඒ අසා බෝසත් දරුවා ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මෙසේ උත්තර දුන්නේය.
2. ශෝක කිරීමෙන් ද, හැඬීමෙන් ද, මඳ වූ ප්‍රයෝජනයක්වත් නොලැබේමය. ශෝක වන බව, දුක්වන බව, දත් සතුරෝ, එයින් සතුටු වෙති.
3. හොඳ නරක තේරුම් ගතහැකි, නුවණැත්තා යම් හෙයකින් ආපදාවලදී කම්පා නොවේද? එසේ හෙයින් ඔහුගේ වෙනසකට පත් නොවූ, පැරණි මුහුණුම දැක, සතුරෝ දුක් වෙති.
4. මන්ත්‍ර ජප කිරීමෙන් හෝ, සාකච්ඡා මාර්ගයෙන් හෝ, ප්‍රිය වචන කථා කිරීමෙන් හෝ, වන්දි ගෙවීමෙන් හෝ, පරම්පරාවේ වැදගත්කම කියාපෑමෙන් හෝ යන මේ යම් ආකාරයකින් වැඩක් වේ නම්, ඒ ඒ ආකාරයෙන්, එම අවස්ථාවෙහි යත්න දරන්නේය.
5. මවිසින් හෝ අනෙකකු විසින් හෝ මෙකී අර්ථය නොලැබිය හැකි යැයි යම් හෙයකින් දන්නේ නම් ශෝක නොවී ‘තමා කළ දේ බරපතලය. දැන් කුමක් කරම්දැ’යි, ඉවසන්නේය.
මෙහි ‘අත්‍ථො’ යනු ‘යහපතක්’ යන අර්ථයි. ‘පච්චත්‍ථිකා අත්තමනා’ යනු ‘මේ මිනිසා ශෝක වන බව, දුක් වන බව, දැන සතුරෝ සතුටු වෙති. ඔවුන් තුටු කිරීම නම්, නුවණැත්තකු විසින් සිදුකිරීම නො වටී යැ’යි දක්වයි. ‘යතො’ යනු ‘යම් දිනක’, යන අර්ථයි. ‘න වෙධතී’ යනු ත්‍රාසයේ හා බියෙන් හිත කම්පා නොවේ’ යන අර්ථයි. ‘අත්‍ථිවිනච්ඡයඤ්ඤු’ යනු ‘ඒ ඒ යහපත් දෑ සම්බන්ධයෙන් විනිශ්චය කරගැනීමේ දක්‍ෂකම් ඇත්තා’ යන අර්ථයි.
‘ජප්පෙන’ යනු ‘මන්ත්‍ර ජප කිරීමෙන්’ යන අර්ථයි. ‘මන්තෙන’ යනු ‘නුවණැත්තන් සමග සාකච්ඡා කිරීමෙන්’ යන අර්ථයි. ‘සුභාසිතෙන’ යනු ‘ප්‍රිය වචනයෙන්’ යන අර්ථයි. ‘අනුප්පදානෙන’ යනු ‘අල්ලස් දීමෙන්’, යන අර්ථයි. ‘පවෙණියා’ යනු ‘කුල වංශය ගැන කීමෙන්’, යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අදහසයි. එනම් ‘මහරජතුමනි, පණ්ඩිතයකු විසින් නම්, විපත හටගත් කල්හි, ශෝක නොවිය යුතුය. අවසිහියෙන් කටයුතු නොකළ යුතුය යනුවෙනි. ඉහත කියන ලද කාරණා පහ අතුරෙන්, එකෙකින් හෝ සතුරෝ දිනිය යුතු වෙති. එසේම හැකිනම්, මන්ත්‍ර මතුරා මුව ගොළුකොට හෝ, ඔවුහු ජයගත යුතු වෙති. එය ද නොහැකි වූ නුවණැත්තා විසින්, ඔවුන් සමග සාකච්ඡා කොට කිසියම් උපායකින් ජයගත යුතු වෙති. මිහිරි වචන කථා කිරීමට හැකියාව ඇත්තකු විසින් නම්, එසේ කිරීමෙන් ඔවුහු ජය ගත යුතු වෙති. එයද නොහැකි නම්, විනිසුරුවන්ට අල්ලස් ලබා දී, ඒ මාර්ගයෙන් ජයගත යුතු වෙති. එය ද නොහැකි නම්, කුලවංශය ගැන කියා එනම්, ‘අපි අසවල් පරම්පරාවේ අය වෙමු. අපිත් ඔබත් එකම පරපුරකට අයිති වෙමු. මෙසේ ඔප්පු කළ හැකි නෑ සබඳකම්, කෙතරම් දුර නෑකම් වුවත්, සම්බන්ධ කොට කියා එයින් ජයගත යුතු වෙති’ යන අර්ථයි. ‘යථා යථා’ යනු ‘මේ කරුණු පහ අතුරෙන්, යම් යම් කරුණකින් යම් යම් තැනක දී තමාට යහපතක් වන්නේ නම්, යන අර්ථයි. ‘තථා තථා’ යනු ‘ඒ ඒ කාරණයෙන් ඒ ඒ තැන දී උත්සාහ කරන්නේය, එසේ උත්සාහ දරා සතුරන් ජය ගන්නේ ය’ යන අර්ථයි.
‘යතො ච ජානෙය්‍ය’ යනු ‘යම්විටෙක දැන ගන්නේ ද? මවිසින් හෝ, අනෙකකු විසින් මින් වැඩක් නො වන්නේ යැයි, එනම් උත්සාහ කොට ද, මිදීමක් ලැබිය නොහැකි නම්, එකල නුවණැති පුරුෂයෙක් නම්, ඔහු ශෝක නොවී වෙහෙසට පත් නොවී ‘මවිසින් පෙර කළ කර්මය බරපතලය. එය ස්ථිරවම වැළැක්විය නොහැකිය. දැන් කුමක් කරන්නදැ’යි, සිතා ඉවසන්නේය.
රජතුමා බෝසත් දරුවාගේ මේ දැහැමි කථාව අසා, ඔවුන්ගේ නඩුව පිරිසිදුව විනිශ්චය කොට බලා, දරුවන් නිදොස් බව දැන බැඳ තිබූ උණ දඬු බැහැර කරවා, බෝසතුන්ට මහත් යසඉසුරු දී, රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ඇමති රත්නයක් බවට පත් කෙළේය. සෙසු දරුවන්ට ද යස ඉසුරු දී සුදුසු තනතුරු ද දුන්නේය.
බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා බරණැස් රජ නම් අනඳ තෙරණුවෝය. දරුවෝ නම් ථෙර, අනුථෙර හිමිවරුය. පණ්ඩිත දරුවා වූ කලී ‘මම ම යැ’යි බුදුහු වදාළහ.
9. මිත්තවින්‍දක ජාතකය (369)
‘ක්‍යාහං දෙවානමකරං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර දී, එක් අකීකරු භික්‍ෂුවක අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව ‘මහා මිත්ත වින්‍දක’ ජාතකයෙහි දැක්වේ. මේ මිත්ත වින්‍දකයා වනාහි, මුහුදේ පතිතව අධික ආශාවෙන් යුක්ත වූ බැවින් පෙරටුව ගොස්, නිරයට අයත් සත්ත්වයන් පැසෙන තැනක් වන ‘ඔසුපත්’ නිරය දැක, ‘එය එක් නගරයකැ’යි සිතා, ඒ හැඟීමෙන් එහි පිවිස ‘ඛුර චක්‍රය’ක් ස්පර්ශ කෙළේය. (මෙහි ඛුර චක්‍රය යනු ඉතා තියුණු ලෙස මුවහත් වූ දැළිපිහි වැනි වූ පාරා වළල්ලක ස්වරූපය ඇති ආයුධයකි.) මේ අතර දිව්‍යපුත්‍ර භාවයක් ලබා සිටි බෝසත් තෙමේ, එදින ඔසුපත් නිරයෙහි චාරිකාවක යෙදුනේය. ඔහු දුටු මිත්ත වින්‍දකයා මෙසේ කීය.