7. සාළිය ජාතකය (367)
‘ය්වාහං සාලියජාපො’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවෙසෙන සේක්, ‘ඇවැත්නි, දෙව්දත් තෙමේ බුදුන් බියගන්වන්නට අපොහොසත් වී යැ’යි භික්‍ෂූන් විසින් කියන ලද ප්‍රකාශයක් නිමිතිකොට ගෙන වදාළ සේක. බුදුරජාණන් වහන්සේ මේ කරුණ සම්බන්ධයෙන් ‘මහණෙනි, දෙව්දත් තෙමේ, දැන් පමණක් නොව, පෙර ද මට බිය උපදවන්නට අසමත් වූයේ යැ’යි වදාරා, මේ අතීත කථාපුවත දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ කිසියම් කුඩා ගමක කෙළෙඹි පවුලක උපන්නේය. ඔහු ලාබාල වියේදී, වැලිකෙළියෙහි නිරත දරුවන් සමග එකතුව, ගම් දොරටුවෙහි නුග ගසක් මුල නිතිපතා සෙල්ලම් කරයි. දිනක් ඒ ගමට පැමිණි එක් දුර්වල වෙදෙක්, ගමෙන් කිසිදු වැඩක් නොලැබුණු තැන, වෙනත් ගමකට යන්නට සිතා, ගම් දොරටුවට පැමිණියේය. එහිදී ළමයින් නුග ගස මුල ක්‍රීඩා කරනු දැක, නුග ගස සමීපයට පැමිණි වෙදා, එහි නැවතී ළමයින්ගේ ක්‍රීඩා බලමින් සිටියේය. අහම්බෙන් නුග ගස දෙස බැලූ වෙදාට එහි වෙළෙප් අතර, හිස පිටතට දමා නිදන නයකු දක්නට ලැබිණි. ඒ දුටු වෙදා ‘මට මේ ගමෙන් කිසිදු වැඩක් ලැබුණේ නැත. එබැවින් මම මේ දරුවන් රවටා සර්පයා ලවා දෂ්ට කරවා, ඔවුන්ට වෙදකම් කොට, මුදලක් උපයා ගන්නෙමි’යි සිතීය. අනතුරුව බෝසත් දරුවාට කථා කළ වෙදා, ‘දරුව, සැළලිහිණි පැටවකු දුටුවොත් අල්ලා ගන්නෙහි දැ’යි ඇසීය. ‘එසේය, අල්වා ගන්නෙමි.’ ‘එසේනම් බලන්න. ඌ අර අතු අතර නිදා සිටී යැ’යි වෙදා සර්පයා පෙන්වීය. අහිංසක දරුවා ඒ සර්පයකු බව නො දැන, ගසට නැග ඌ බෙල්ලෙන් ම අල්ලා ගත්තේය. ළමයා ඌ සර්පයකු බව තේරුම් ගත්තේ, අල්ලා ගැනීමෙන් පසුවය. නයාට ආපසු හිස හරවන්නට ඉඩ නොලැබෙන සේ, තරකොට අල්ලා ගත් දරුවා, ඉතා වේගයෙන් ඌ ඉවතට විසිකොට දැමීය. විසිවී ගිය නයා, වෙදාගේ බෙල්ල මතට වැටුණි. කිපී සිටි නයා, වෙදාගේ බෙල්ල තදින් වෙළාගෙන, ‘කර-කර’ යන හඬින් ගෙල සපා කෑවේය. කපටිවෙදා, එතැනම මැරී වැටුණේය. මේ කලබලය ඇසී මිනිස්සු වහා එතැනට රැස්වූහ.
රැස්වූ පිරිසට කරුණු පැහැදිලි කරමින්, දම් දෙසමින් බෝසත් දරුවා, මෙසේ පැවසීය.
ය්වායං සාලිය ඡාපොති - කණ්හ සප්පං අගාහයී,
තෙන සප්පෙනයං දට්ඨො - තතො පාපානුසාසකො
ඒ මේ පුද්ගලයා ‘සැළලිහිණි පැටියා යැ’යි කියා කලු සර්පයකු අල්ලා ගන්නට සැලැස්වීය. ඒ පාපී අනුශාසකයා, ඒ සර්පයා විසින්ම දෂ්ට කරන ලදුව මරණයට පත්විය.
අහන්තාර මහන්තාරං යො නරො හන්තු මිච්ඡති,
එවං සො නිහතො සෙති - යථායං පුරිසො හතො
යම් මිනිසෙක් කාට හෝ හානියක් කිරීමට, විනාශයක් සිදුකිරීමට තමන් ඉදිරිපත් නොවී, වෙනකකු ලවා කරවීමට කැමැති වේද? මේ මිනිසා නැසුණු පරිද්දෙන් ඔහු විනාශයට පත්වේ.
අහනන්ත මඝාතෙනතං යො නරො හන්තු මිච්ඡති,
එවං සො නිහතො සෙති යථායං පුරිසො හතො
යම් මිනිසෙක් කාට හෝ හානියක් කිරීම සඳහා, කවුරුන් හෝ ඝාතනය කිරීම සඳහා, වෙනකෙකු යොදා ගැනීමට කැමැති වේද? ඔහු මේ මිනිසා නැසුණු පරිද්දෙන්, විනාශයට පත්වේ.
යථා පංසුමුට්ඨිං පුරිසො පටිවාතං පටික්ඛිපෙ,
තමෙව සො රජො හන්ති තථායං පුරිසො හතො
යම් සේ පුරුෂයෙක් පස් කුඩු මිටක් උඩු සුළඟට දමා ද? එහි දූවිල්ල ඔහුට ම වදී. මේ මිනිසාගේ මරණය මෙනි.
5. කිසි වැරැද්දක් නැති, පිරිසිදු වූ, කෙලෙස් දුරුකළ, මිනිසකුට යමෙක් ද්වේෂ කෙරේ ද? උඩු සුළඟට විසිකරන ලද සියුම් දුහුවිල්ලක් මෙන්, ඒ පාපය අනුවණයා කරා පෙරළා පැමිණේ.
මෙහි ‘ය්වායං’ යනු ‘යම් බඳු වූ මොහු’ යන අර්ථයි. නිවැරදි පාඨය මෙයම හෝ විය හැකිය. ‘සප්පෙනයං’ යනු ‘ඒ සර්පයා විසින් මේ මිනිසා දෂ්ට කරන ලදි’ යන අර්ථයි. ‘පාපානුසාසකො’ යනු ‘පවිටු අනුශාසකයෝ’ ය.
‘අහන්තාරං’ යනු ‘පහර නොදෙන’ යන අර්ථයි. ‘අහන්තාරං’ යනු ‘නො මරණ’ යන අර්ථයි. ‘සෙති’ යනු ‘මරණ මංචකයේ හෝනේ ය’ යන අර්ථයි. ‘අඝාතෙන්තං’ යනු ‘නො මරණ’ යන අර්ථයි. ‘සුද්ධස්ස’ යනු ‘නිරපරාධ වූ යන අර්ථයි. ‘පොසස්ස’ යනු ‘සත්ත්වයාට’ යන අර්ථයි. ‘අනංගණස්ස’ යන මෙය ද, ‘නිරපරාධ භාවය’ සඳහා ම කියන ලද්දකි. ‘පච්චෙති’ යනු ‘කළ කර්මයට ගැලපෙන ලෙස විපාකය පෙරළා පැමිණේ’ යන අර්ථයි.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා දුබල වෙදා නම්, දේවදත්තයා ය. පණ්ඩිත (නුවණැති) දරුවා වූ කලී, ‘මම ම යැ’යි, බුදුරජාණන් වහන්සේ වදාළ සේක.