6. ගුම්බිය ජාතකය (366)
‘මධුවණ්ණං මධුරසං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වෙසෙන සේක්, කලකිරුණු එක් භික්ෂු නමක අරබයා වදාළ සේක. ඒ භික්ෂු නම කැඳ වූ බුදුරජාණන් වහන්සේ, ‘මහණ, ඔබ කළකිරුණෙහිය යන්න සැබෑවක්දැ’යි ඇසූ සේක. ‘ස්වාමීනි, එසේ ය.’ ‘කුමක් දැක කළකිරුණෙහිද?’ ‘අබරණින් සැරසුණු කාන්තාවක් දැකීමෙනි.’ ‘මහණ, මේ පංචකාම ගුණ වනාහි, ගුම්බිය නම් වූ යක්ෂයකු විසින් හලාහල විෂ යොදා මහමග තබන ලද, මධු පටලයක් (මීවදයක්) වැනි යැ’යි වදාළ බුදුරජාණන් වහන්සේ එය විස්තර කරදෙන ලෙස ඉල්ලා සිටී. එම භික්ෂුවගේ ම අයැදුමෙන් මේ අතීත කථා පුවත වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, අප බෝසත් තෙමේ ගැල්වලින් වෙළෙඳාම් කරන වෙළෙඳ කුලයක උපන්නේය. තරුණ වියට පත්වූ බෝසත් තෙමේ කිසියම් සුදුසු දිනයක පන්සියයක් ගැල්වල බඩු පුරවාගෙන, පිරිස ද සමග වෙළෙඳාම සඳහා බරණැස් නුවරින් පිටත්විය. ප්රධාන මාර්ගයෙහි බොහේා දුරක් ගමන් කළ එතුමා, ප්රධාන මාර්ගයෙන් කැලෑ මගකට පිවිසෙන දොරටුවක් වෙත පැමිණ, එහිදී සියලු ගැල් නවත්වා පිරිස තමා ළඟට කැඳවීය. අනතුරුව බෝසත් තෙමේ, තම අනුචර පිරිස අමතා ‘පින්වතුනි, මේ මාර්ගය ඉතා බිහිසුණුය. මෙහි තැනින් තැන, විෂ සහිත කොළ-මල්-ගෙඩි ආදිය එමට ඇත. එහෙත් තෙපි මීට පෙර නොකෑවිරූ යමක් වේ නම් මගෙන් ඒ ගැන නො විමසා, අනුභව නො කරවු. එපමණක් නොව අමනුෂ්යයෝ විෂ යෙදූ බත් මුල්, දඬුවැල් බෑ, ගෙඩි වර්ග මග තන්හි තන්හි තබති. එවැන්නක් දුටහොත්, මගෙන් නාසා අනුභව නොකරවු යැ’යි අවවාද දී මගට පිළිපන්නේය. ඉක්බිති එක් ‘ගුම්බිය’ නම් යකෙක් මේ කැලෑබද මාර්ගයේ මැදට වන්නට තැන තැන පාර අද්දර, කොළපත් එලා, ඒ මත හලාහල විෂ යොදන ලද මීවද තබා, තෙමේ ඒ පෙනෙන මානයේ ගසක් ළඟට වී ‘මීයක් කැඩීමට ගසකට කොටන මිනිසකු මෙන්, ගසට කොටමින් සිටියේය. මේ කිසිත් නොදත් මිනිස්සු ‘පින් පිණිස තබන ලද ආහාර විය යුතු යැ’යි සිතා, ඒවා රිසි සේ භුක්ති විඳිති. ටික වේලාවකින් ඒ ආහාර අනුභව කළ සියලුදෙනා මැරී වැටෙති. අමනුෂ්යයෝ වටවී මළ මිනී බුදිති. බෝසතුන්ගේ ගැල් සාත්තුවේ ගැල්කරුවෝ ද, ඉහත කී ආකාරයේ මග දෙපස තැනින් තැන තබා තිබුණු ආහාර දුටුවාහුය. කරත්ත නවත්වා, එතැනට රැස් වූ, ඒ ගැල්කරුවන් අතරින් සමහර කෑදර මිනිස්සු දුටුමතින් ආශාව පාලනය කොටගත නොහැකිව. වහා පැන ඒවා කා දැමූහ. එතැන සිටි නුවණැති මිනිස්සු, ‘අසා බලා දැනගෙන ම අනුභව කරන්නෙමු යැ’යි කියා බෝසතුන් වෙත ඒවා රැගෙන ගියහ. බෝසත් තෙමේ ඔවුන් දුටු විගසම අත්වල තිබූ ආහාර වහා ඉවත දමන ලෙස අණ කෙළේය. ආහාර අනුභව කළ පිරිස අතුරෙන් මුළුමනින් ගිල දැමූ උදවිය, ඉක්මණින්ම ජීවිතක්ෂයට පත්වූහ. කොටසක් ආහාරයට ගත් උදවියට වමනය කරවීමෙන් හා විරේක කරවීමෙන් අනතුරුව, චතුමධුර කන්නට දී, ඔවුන්ගේ දිවි ගලවා ගැනීමට බෝසත්තුමා සමත් විය. මෙසේ එතුමාගේ ආනුභාවයෙන් බොහෝ අය ජීවිත ලාභය ලැබූහ. අනතුරුව බෝසත් තෙමේ වෙනත් කරදරයකින් තොරව, යහතින් බලාපොරොත්තු වූ ස්ථානයට ළඟා වී, එහිදී බඩු විකුණා, සියලු කටයුතු නිමාකොට, සුවසේ පෙරළා සිය නිවෙස වෙත පැමිණියේය. මේ කරුණ පැහැදිලිකොට වදාළ බුදුරජාණන් වහන්සේ, පහත එන ගාථා දේශනා කළ සේක.
මධුවණ්ණං මධුරසං - මධු ගන්ධං විසං අහූ,
ගුම්මියො ඝාසමෙසානො - අරඤ්ඤෙ ඔදහී විසං
ගුම්මියො ඝාසමෙසානො - අරඤ්ඤෙ ඔදහී විසං
මීපැණි පැහැය ඇති, මීපැණි වැනි රස ඇති, මීපැණ මෙන් සුවඳ ඇති විෂ වර්ගය වීය. ගුම්බිය යකා තමාට අහර සොයමින් කැලයෙහි විෂ තැබීය.
2. ඒ ‘මීවද යැ’යි සිතූ යම් කෙනෙක් වෙත්ද? ඔවුහු ඒ විෂ කෑහ. ඒ විෂ ඔවුන්ට කටුක විය. ඒ විෂෙන්ම මරණයට පත්වූහ.
3. ලෙඩවූවන් අතුරෙන්, දැවෙන්නන් අතුරෙන්, යම් කෙනෙක් ඒ විෂ ප්රතික්ෂේප කළාහුද? ඔවුහු නිදුක් වූහ. නිවුණාහ.
4. එපරිද්දෙන් මිනිසුන් කෙරෙහි ඇති, කාම සම්පත් විෂ නම් වේ. එබැවින් කාම සම්පත් යනු, විෂ මුසු අහරකි. බන්ධනයකි. කාමාශක්ත පුද්ගලයා වනාහි, මාරයාට වසඟව ශරීරය නමැති ගුහාවෙහි, සයනය කරන්නෙකි.
5. එපරිද්දෙන් කෙලෙසුන්ගෙන් ආතුර වූ, යම් කෙනෙක් වෙත්ද? ඔවුහු පිරිවර සහිත මේ පංචකාමයන් හැමකල්හි, දුරු කෙරෙති. ඔවුහු ලෝකයෙහි ඇලුම් ඉක්ම වූ අය වෙති.
මෙහි ‘ගුම්බියො’ යනු ‘ඒ වන ලැහැබෙහි සැරිසරන බැවින් ඒ නම ලැබූ යකෙකි’ යන අර්ථයි. ‘ඝාසමෙසානො’ යනු ‘ඒ විෂ කා මළවුන් ආහාරයට ගන්නෙමි’යි මෙසේ සිය අහස සොයන්නා වූ’ යන අර්ථයි. ‘ඔදහී’ යනු පැහැයෙන් - සුවඳින් - රසයෙන් මී හා සමාන කොට විෂ යෙදුවේය’ යන අර්ථයි. ‘කටුකං ආසි’ යනු තියුණු විය’ යන අර්ථයි. ‘මරණං තෙනුපාගමුං’ යනු ඒ සත්ත්වයෝ ඒ විෂ කරණකොට ගෙන, මරණයට පැමිණියාහුය’ යන අර්ථයි.
‘ආතුරෙසු’ යනු විෂ වේගයෙන් මරණාසන්න වූවන් අතුරෙන්, යන අර්ථයි. ‘දය්හමානෙසු’ යනු ‘විෂ සැරෙන් දැවෙනවුන් අතුරෙන්’ යන අර්ථයි. ‘විසං කාමා සමොහිතා’ යනු ‘ඒ මහා මාර්ගයෙහි විෂ යොදා තබන ලද දෑ යම් සේද? මිනිසුන් විෂයෙහි ඇති රූපාදී වූ පස්වැදෑරුම් වස්තු කාමයන් ද එසේය. ඒවා ද ඒ ඒ තැන දමන ලද විෂ මුසු අහර වැනි යැයි දත යුතුය’ යන අර්ථයි. ‘ආමිසං බන්ධනඤ්චතං’ යනු ‘මේ පස්කම් ගුණ නම්, මාරයා නම් වූ බිලී වැද්දා විසින් දමන ලද ආහාර ද, භවයෙන් නික්මෙන්නට නොදෙන පිණිස යෙදූ දම්වැල් වැනි, නන් වැදෑරුම් බැඳුම් ද යන අර්ථයි. ‘මච්චුවසො ගුහාසයො’ යනු ‘ශරීර නමැති ගුහාවේ වසන බැවින්, මරණ නමැති මාරයාට වසඟව වෙසේ’ යන අර්ථයි.
‘එවමෙව ඉමෙ කාමෙ’ යනු ‘මහමග තබන ලද විස මුසු අහර යම්සේ ද, ඒ ඒ තැන ඇති රූපාදී කාම වස්තූන් ද එසේ ය’ යන අර්ථයි. ‘ආතුරා’ යනු ‘මරණය ඒකාන්ත ධර්මයක් වන බැවින් එයින් ආතුර වූ මරණය ආසන්න එකෙකැයි දත් පණ්ඩිත මිනිස්සු යන අර්ථයි. ‘පරිචාරිකෙ’ යනු ‘කෙලෙස් පිරිවරා ඇති අරමුණු, කෙලෙස් බැඳුම් යන අර්ථයි. ‘යෙ සදා පරිවජ්ජෙන්ති’ යනු ‘යට කියන ලද ආකාරයේ පණ්ඩිත මිනිස්සු නිරතුරුව, මෙබඳු කාමයන් බැහැර කෙරෙති’ යන අර්ථයි. ‘සංගං ලොකෙ’ යනු ‘ලොවෙහි ඇලුම් ඇතිකරන බැවින් ‘සංග’ නම් වූ කෙලෙස්වලින් හටගත්, රාගාදී ප්රභේදයන්, යන අර්ථයි. ‘උපච්චගුං’ යනු ‘ඉක්මෙව්වාහු වෙති’යි දතයුතුය. ‘ඉක්මවති’ යන වචනය ද, මෙහිලා අර්ථවත් වේ.
බුදුරජාණන් වහන්සේ මෙසේ සත්යය ප්රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී කලකිරුණු භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. බුදුහු ‘එදා සාත්තු නායකයා වූයේ මම ම යැ’යි වදාළහ.
7. සාළිය ජාතකය (367)
‘ය්වාහං සාලියජාපො’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවෙසෙන සේක්, ‘ඇවැත්නි, දෙව්දත් තෙමේ බුදුන් බියගන්වන්නට අපොහොසත් වී යැ’යි භික්ෂූන් විසින් කියන ලද ප්රකාශයක් නිමිතිකොට ගෙන වදාළ සේක. බුදුරජාණන් වහන්සේ මේ කරුණ සම්බන්ධයෙන් ‘මහණෙනි, දෙව්දත් තෙමේ, දැන් පමණක් නොව, පෙර ද මට බිය උපදවන්නට අසමත් වූයේ යැ’යි වදාරා, මේ අතීත කථාපුවත දේශනා කළ සේක.