3. හිරි ජාතකය (363)
‘හිරිං තරන්තං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක්, අනේපිඬු සිටුතුමාගේ සහායක වූ පසල් දනව් වැසි සිටුවරයකු අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුවත් අතීත කථා වස්තුවත් යන කථා දෙකම ඒකක නිපාතයෙහි නව වැනි වර්ගයේ අවසාන ජාතකයෙහි (අකතඤ්ඤු ජාතකයෙහි) දක්වා ඇත. මේ ජාතකයට අනුව ‘පසල් දනව් වැසි සිටුවරයාගේ මිනිස්සු සියලු සම්පත් පැහැර ගන්නා ලදුව, ස්වකීය ඇඳිවත පවා අහිමිව පැන දිවූහ’යි බරණැස් සිටුතුමාට ආරංචි විය. එවිට බරණැස් සිටු තෙමේ ‘තමා වෙත පැමිණි අයට කළයුතු උදව් උපකාර නොකරන උදවිය, කිසිදා ප්රත්යුපකාර නොලබත් යැ’යි කියා, මේ ගාථා ප්රකාශ කෙළේය.
හිරිං තරන්තං විජිගුච්ඡ මානං, තවා හමස්මි ඉති භාසමානං,
සෙය්යානි කම්මානි අනාදියන්තං, නෙ සො මමන්ති ඉති නං විජඤ්ඤා
සෙය්යානි කම්මානි අනාදියන්තං, නෙ සො මමන්ති ඉති නං විජඤ්ඤා
ලජ්ජාව ඉක්මවා කටයුතු කරන, මිතුරන් පිළිකුල් කරන, එහෙත් ‘මම ඔබේ මිත්රයෙක්මි’යි කියන, උතුම් කටයුත්තක් නොකරන, එවැනි පුද්ගලයකු ගැන ‘මොහු මාගේ මිතුරෙක් නොවේ යැ’යි තේරුම් ගන්නේය.
2. යමක් කරන්නේ ද, එය කියන්නේය. යමක් නො කරන්නේ නම්, එය නො කියන්නේය. නොකර කියන දෑ පඬිවරු හොඳින් හඳුනති.
3-4 මිත්රත්වය වූ කලී ප්රමෝදය ඇතිකිරීමට හේතු වේ. ප්රශංසාව හා සැපය ගෙනදේ. එබැවින් මනා වූ පෞරුෂත්වයක් ඇති තැනැත්තා, මිත්රත්වයේ ඵලය හා ආනිසංස වර්ධනය කරයි.
5. ධර්මප්රීති රසය බොන තැනැත්තා, කාය-චිත්ත විවේක රසයද, කෙලෙස් සංසිඳීමේ රසය ද, පානය කොට කෙලෙස් උවදුරු නැත්තෙක් ද, නිෂ්පාපියෙක් ද වේ.
මෙහි ‘හිරිං තරන්තං’ යනු ‘ලජ්ජාව ඉක්ම වූ’ යන අර්ථයි. ‘විජිගුච්ඡමානං’ යනු ‘මෛත්රී හැඟීමක් නැති බැවින් මිතුරන් පිළිකුල් කරන’, යන අර්ථයි. ‘තවාහමස්මි’ යනු ‘මම ඔබේ මිතුරෙක්මි’යි හුදු වචන මාත්රයක් පමණක් කියන’ යන අර්ථයි. ‘සෙය්යානි කම්මානි’ යනු ‘දෙන්නෙමි, කරන්නෙමි යන වචනවලට අනුරූප වූ උතුම් ක්රියා’ යන අර්ථයි. ‘අනාදියන්තං’ යනු ‘නොකරන’ යන අර්ථයි. ‘නෙසො මම’ යන අර්ථයි.
‘පාමොජ්ජකරණං ඨානං’ යනු දානයත් ශීලයත් භාවනාවත් පණ්ඩිත වූ කල්යාණ මිත්රයන් සමග ඇති මිත්රභාවයත්ය.’ මෙය කියන ලද්දේ ඉහත සඳහන් මිත්රභාවය සඳහාමය. පණ්ඩිත වූ කල්යාණ මිත්රයකු සමග වූ මිත්රභාවය ප්රමෝදය ද ඇතිකරයි. ප්රශංසාව ද ගෙන දේ. මෙලෝ පරලෝ දෙක්හි කායික-චෛතසික සැපයට හේතුවන බැවින් මිත්රයාට ‘සකි’ යන වචනය කියනු ලැබේ. එබැවින් මේ ඵලයත් ආනිසංසයත් දකින්නා, ඒ දෙකටම හිමිකම් ඇති කුලපුත්රයෙකි. මනුෂ්යයන් විසින් දාන-ශීල-භාවනා-මිත්රධර්මය යන මේ සිවුවැදෑරුම් පෞරුෂත්වය ඉසිලිය යුතුය. මේ මිත්රභාව සංඛ්යාත පෞරුෂත්වය උසුලන්නා, සතුට ඇති කිරීමට හේතුවන ප්රශංසාව හා සැපය ගෙන දෙන මිත්රත්වය වඩයි. වර්ධනය කරයි. පණ්ඩිතයන් විසින් මිත්රභාවය නොබිඳිනු ලැබේ යැයි දක්වයි.
‘පවිවෙකරසං’ යනු ‘කාය-චිත්ත-උපධි විවේකයෙන්ගේ රසය යි.’ ඒ විවේකයන් නිසා උපන් සොම්නස් රසය මින් අදහස් කෙරේ. ‘උපසමස්සච’ යනු ‘කෙලෙස් සංසිඳීමෙන් ලබන ලද සොම්නසේ’ යන අර්ථයි. ‘නිද්දරො හොති නිප්පාපො’ යනු ‘සියලු කෙලෙස් උවදුරු නැති බැවින් ‘නිද්දර’ නම් වේ. කෙලෙස් නැති බැවින් ‘නිප්පාප’ නම් වේ. ‘ධම්මපීතිරසං’ යනු ‘ධර්මප්රීති සංඛ්යාත රසයයි. එනම් විමුක්ති ප්රීතිය බොන්නා’ යන අර්ථයි.
මෙසේ බෝසත් තෙමේ පාපමිත්රයන් හා එක්වීම ගැන කලකිරුණේය. පසුව බුදුරජාණන් වහන්සේ සත්ත්වයන් විවේක රසය කරණ කොටගෙන අමා මහ නිවනට පමුණුවා මේ ජාතක කථා ධර්ම දේශනාව කුළුගැන්වූ සේක.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා පසල් දනව් වැසි සිටුවරයා නම්, මෙදා ද පසල් දනව් වැසි සිටුවරයාම ය. එදා බරණැස් සිටුතුමා වූ කලී, ‘මම ම වීමි’යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
4. ඛජ්ජොපණක ජාතකය (364)
‘කොනු සත්තම්හි පජ්ජොතෙ’ යන මේ ගාථා කොටස අයත් ඛජ්ජොපණක ජාතකයෙහි දැක්වෙන ඛජ්ජොපණ ප්රශ්න මහා උම්මග්ග ජාතකයෙහි විස්තර වශයෙන් දැක්වේ.
5. අහිතුණ්ඩික ජාතකය (365)
‘ධුත්තොම්හි’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි, එක් මහලු භික්ෂුවක අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව මීට පෙර ‘සාලක ජාතකයෙහි විස්තර කරන ලදි. මේ ජාතකයට අනුව ඒ මහලු භික්ෂුව එක් ගමෙක කුඩා දරුවකු මහණ කොටගෙන නිකරුණේ ඔහුට බනියි. පහරදෙයි. දිනක් ඒ කරදරයෙන් මිදීමට සිතූ සාමණේර නම, අරමෙන් පලාගොස් සිවුරු හැරියේය. මහලු භික්ෂුව දෙවන වර ද, දරුවා කැඳවාගෙන ඇවිත් නැවත පැවිදි කෙළේය. එහෙත් ගුරුවරයාගේ රළු පරළුකම් නිම වූයේ නැත. එබැවින් සාමණේර නම දෙවන වතාවට ද සිවුරු හැර ගියේය. මහතෙර නම නැවත වතාවක් දරුවා සොයා ගොස් ඔහුට පැවිදි වනු සඳහා ආයාචනා කළ ද, ඔහු මහලු තෙරුන් දෙස බලන්නටවත් කැමති නොවීය. පසුදිනෙක දම්සභාවෙහි රැස් වූ භික්ෂූහු මේ ප්රවෘත්තිය මාතෘකා කොටගෙන සාකච්ඡා කරමින්, ‘ඇවැත්නි, කුඩා දරුවා යහපත් තැනැත්තෙකි. එහෙත් මේ මහලු තෙර නම සාමණේරයා ඇතුවත් නැතුවත්, වසන්නට අපොහොසත් තැනැත්තෙකැ’යි ප්රකාශ කළහ. මේ අතර එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ගෙන්, ඔවුන් සාකච්ඡා කළ කරුණු අසා දැන, ‘මහණෙනි, ඔය මහලු භික්ෂුව දැන් පමණක් නොව, පෙර ද එබඳු ම ගති සිරිත් ඇත්තෙක් ව විසී යැ’යි, වදාරා මේ අතීත කථාව දේශනා කළ සේක.