4. ඛජ්ජොපණක ජාතකය (364)
‘කොනු සත්තම්හි පජ්ජොතෙ’ යන මේ ගාථා කොටස අයත් ඛජ්ජොපණක ජාතකයෙහි දැක්වෙන ඛජ්ජොපණ ප්‍රශ්න මහා උම්මග්ග ජාතකයෙහි විස්තර වශයෙන් දැක්වේ.
5. අහිතුණ්ඩික ජාතකය (365)
‘ධුත්තොම්හි’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි, එක් මහලු භික්‍ෂුවක අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව මීට පෙර ‘සාලක ජාතකයෙහි විස්තර කරන ලදි. මේ ජාතකයට අනුව ඒ මහලු භික්‍ෂුව එක් ගමෙක කුඩා දරුවකු මහණ කොටගෙන නිකරුණේ ඔහුට බනියි. පහරදෙයි. දිනක් ඒ කරදරයෙන් මිදීමට සිතූ සාමණේර නම, අරමෙන් පලාගොස් සිවුරු හැරියේය. මහලු භික්‍ෂුව දෙවන වර ද, දරුවා කැඳවාගෙන ඇවිත් නැවත පැවිදි කෙළේය. එහෙත් ගුරුවරයාගේ රළු පරළුකම් නිම වූයේ නැත. එබැවින් සාමණේර නම දෙවන වතාවට ද සිවුරු හැර ගියේය. මහතෙර නම නැවත වතාවක් දරුවා සොයා ගොස් ඔහුට පැවිදි වනු සඳහා ආයාචනා කළ ද, ඔහු මහලු තෙරුන් දෙස බලන්නටවත් කැමති නොවීය. පසුදිනෙක දම්සභාවෙහි රැස් වූ භික්‍ෂූහු මේ ප්‍රවෘත්තිය මාතෘකා කොටගෙන සාකච්ඡා කරමින්, ‘ඇවැත්නි, කුඩා දරුවා යහපත් තැනැත්තෙකි. එහෙත් මේ මහලු තෙර නම සාමණේරයා ඇතුවත් නැතුවත්, වසන්නට අපොහොසත් තැනැත්තෙකැ’යි ප්‍රකාශ කළහ. මේ අතර එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන්ගෙන්, ඔවුන් සාකච්ඡා කළ කරුණු අසා දැන, ‘මහණෙනි, ඔය මහලු භික්‍ෂුව දැන් පමණක් නොව, පෙර ද එබඳු ම ගති සිරිත් ඇත්තෙක් ව විසී යැ’යි, වදාරා මේ අතීත කථාව දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ ධාන්‍ය වර්ග විකුණන වෙළෙඳ පවුලක ඉපිද, තරුණවියට පත්ව වෙළෙඳාමෙන් ජීවිකාව ගෙන ගියේය. මේ අතර එක් අහිගුණ්ඨිකයෙක් නයි නැටවීමට අමතරව වඳුරකු අල්වාගෙන, මැනවින් පුරුදු කරවා සතුන් දෙදෙනා නැටවීමෙන් ජීවිකාව කෙළේය. මේ සමයෙහි බරණැස් නුවර සැණකෙළි උත්සවයක් ආරම්භ විය. ඉහත කී නයි නටවන්නා බෝසත් වෙළෙඳතුමා හමුවට පැමිණ, වඳුරා වෙළෙන්දාගේ භාරයේ තබා, නයා ද රැගෙන උත්සවයට නයි නටවන්නට ගියේය. අහිගුණ්ඨිකයා සතියක්ම නයි නටවමින් ඒ මේ අත සැරිසැරුවේය. වෙළෙන්දා ද වඳුරාට ඇති තරම් කෑම-බීම දුන්නේය. දින හතකට පසු අහිගුණ්ඨිකයා හොඳටම මත් වී පැමිණ, නිකරුණේ වඳුරාට උණ පතුරකින් තුන්විටක් තැළීය. අනතුරුව වඳුරා ද, රැගෙන උයනකට ගිය ඔහු වඳුරා එහි ගසෙක බැඳ, නින්දට වන්නේය. වඳුරා ද කෙසේ හෝ බැඳුමෙන් මිදී අඹ ගසකට නැග, අඹ කමින් අත්තක වාඩිවී හුන්නේය. ටික වේලාවකින් නින්දෙන් ඇහැරුණු අහිගුණ්ඨිකයා වටපිට බලා, වඳුරා අඹ අත්තක හිඳිනු දැක, ‘මූ නළවා චාටුවෙන් අල්ලා ගත යුතුයැ’යි, සිතා වඳුරා සමග කථා කරමින් මෙසේ කීය.
ධුත්තොම්හි සම්ම සුමුඛ - ජූතෙ අක්ඛ පරාජිතො,
භරෙහි අම්බ පක්කානි - විරියන්තෙ භක්ඛයමසෙ
ලස්සන මුහුණක් ඇති මිත්‍රය, මම සූදු කාරයෙක්මි. සූදුවෙන් පැරදුනෙමි. අඹ බිමට හෙළන්න. උඹේ මහන්සියෙන් උපයාගත් දේ අනුභව කරමු.
මෙහි ‘අක්ඛපරාජිතො’ යනු ‘දූ කෙළියෙන් පැරදුනෙමි’ යන අර්ථයි. ‘හරෙහි’ යනු ‘හෙළන්න’ යන අර්ථයි. ‘පාතෙහි’ යනුවෙන්ද පාඨයක් ඇත.
අහිගුණ්ඨිකයාගේ කථාව ඇසූ වඳුරා මෙසේ කීය.
2. මිත්‍රය, ඔබ මට නැති ගුණ කියා ප්‍රශංසා කරහි, ඒකාන්තයෙන් ඕවා බොරුය. ‘වඳුරකුට ලස්සන මුහුණක් ඇතැයි, ඔබ දැක තිබේද? කවරකුගෙන් හෝ අසා තිබේද?
3. නයි නටවන්නාණෙනි, මත් වූ ඔබ බඩගින්නෙන් සිටි මා, ධාන්‍ය කඩයකට දමා, කුමට මට තැළුවෙහිද? එයි දැනුදු මගේ සිතේ පවතී.
4. ඒ දුක් විඳීම සිහිකරන මම, එසේම බියට පත්කරන ලද මම, රාජ්‍යත්වයෙහි තබන බව කීවත්, ඔබට අඹ නො දෙමි. තොප විසින් මම බියෙන් තැති ගන්වන ලදිමි.
5. උසස් කුලයක උපන්, යහන් ගැබක තෘප්තිමත්ව වෙසෙන, මසුරුකම් නැති, යමකු ගැන දන්නේද? ඔහු හා සමග හිතවත්කමක්, මිත්‍රත්වයක් ඇතිකර ගැනීම ගැටීමට හේතු වේ.
‘අලිකං වත’ යනු ‘ඒකාන්තයෙන් බොරුවකි’, යන්නය. ‘අභූතෙන’ යනු ‘නැති දැයින්’, යන අර්ථයි. ‘කො තෙ’ යනු ‘ඔබ විසින් කොහිදී, යන අර්ථයි. ‘සුමුඛො’ යනු ‘සුන්දර මුහුණක් ඇති’ යන අර්ථයි. ‘අහිතුණ්ඩික’ යනු ‘එනමින් ඔහු අමතයි’ යන අර්ථයි. ‘අහිගුණ්ඩික’ යනුද පාඨයකි. ‘ජාතං’ යනු ‘බඩසයින් පෙළුණු, දුබල වූ, අසරණ වූ’ යන අර්ථයි. ‘හනාසි’ යනු ‘උණ පතුරෙන් තුන්විටක් ගැසුවෙහි’ යන අර්ථයි. ‘තාහං’ යනු ‘මම ඔබට’ යන අර්ථයි. ‘සරං’ යනු ‘සිහිකරමින්’ යන අර්ථයි. ‘දුක්ඛ සෙය්‍යං’ යනු ‘ඒ කඩයෙහි දුකසේ නිදීම’, ‘අපිරජ්ජම්පි කාරයෙ’ යනු ‘ඉදින් බරණැස් රාජ්‍යය අල්වාගෙන, එය මට දී, මා රාජ්‍යත්වයට පත් කරන්නෙහි නමුත්, ‘ඒ ඔබට’ යන අර්ථයි. ‘නෙවාහං යාචිතො දජ්ජං’ යනු ‘ඔබ ඉල්ලා සිටියත් මම ඔබට එක අඹ ගෙඩියක්වත් නොදෙන්නෙමි’ යන අර්ථයි. මක්නිසාද? ‘තථා හි භයතජ්ජිතො’ යනු ‘මම තා විසින් බියට පත්කරන ලද්දෙක් වන බැවිනි’ යන අර්ථයි.
‘ගබ්භෙ තිත්තං’ යනු ‘රස අහරින් ද, මවු කුසක වැනි අලංකාර කරන ලද, යහන් ගැබෙක තෘප්තිමත්ව, සම්පත් පරිභෝගයෙන් පොහොසත් ව, යන අර්ථයි. ‘සඛිඤ්ච මිත්තඤ්ච’ යනු ‘යහලුකමෙන් යුතු, නොමසුරු තැනැත්තකු සමග මිතුරුකමක් ඇතිකර ගැනීමට, සම්බන්ධවීමට පණ්ඩිතයෙක් කැමතිය’ යන අර්ථයි. ‘අරහ’ යනු දිළිඳු අහිගුණ්ඨිකයෙකු වූ තා සමග නැවත කවරෙක් නම් මිත්‍ර සම්බන්ධයක් ඇතිකර ගනීද? යන අර්ථයි. වඳුරා මෙසේ ද කියා වහා වන වදුලට පැන ගත්තේය.