2. සීලවීමංස ජාතකය (362)
‘සීල සෙය්‍යො’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර දී, සිල් විමසන එක් බ්‍රාහ්මණයකු අරබයා වදාළ සේක. රටේ රජතුමා ඉහත කී බමුණා සිල්වතෙකැ යි යන හැඟීම නිසා, සෙසු බමුණන් ඉක්මවා ඔහුට සලකයි. බමුණා රජුගේ මේ සැලකිල්ල ගැන වෙසෙසින් කල්පනා කොට, ‘මේ රජතුමා මා සිල්වතකු කොට සිතා සලකා ද? එසේ නැතහොත් මා උගතකු යැයි කල්පනාකොට සලකා ද? පළමුකොට මේ ගැන විමසා බලා මා තුල සීලය අධිකද? නැතහොත් උගත්කම අධිකදැ’යි, දැන ගන්නෙමි’යි අදිටන් කර ගත්තේය. මෙසේ සිතූ බමුණා එක් දවසක් කහවණු හා රන්මසු වෙළෙන්දෙකුගේ මේසය මතින් කහවණුවක් ගත්තේය. ඒ වෙළෙන්දා ද ගෞරවය නිසා කිසිවක් නොකීය. තවත් වරෙක බමුණා එය ම කළ ද, වෙළෙන්දා එවර ද නිශ්ශබ්ද විය. තෙවන වර බමුණා කහවණුව ගන්නවාත් සමගම වෙළෙන්දා, ‘මේ මං පහරන සොරෙකැයි’ ඔහු අල්වාගෙන රජුට දක්වා, පසෙකට වී බලා සිටියේය. එවිට රජතුමා ‘මොහු කළ වරද කුමක්දැ’යි ඇසීය. ‘මොහු මා සතු වස්තුව පැහැර ගත්තේ යැ’යි වෙළෙන්දා පිළිතුරු දුන්නේය. ‘බමුණ, මේ කථාව සත්‍යයක්ද?’ ‘මහරජතුමනි, මම මොහු සතු වස්තුව පැහැර නොගත්තෙමි. මට, මා තුළ සීලය අධිකද? නැතහොත් දැනුම අධිකදැ’යි කුකුසක් ඇතිවිය. එබැවින් මම ඒ ගැන විමසමින් තුන්වරක් මොහුගෙන් කහවණුව බැගින් ගත්තෙමි. තෙවනවර මොහු මා අල්වාගෙන, ඔබතුමාට දැක්වීය. දැන් මා විසින් උගත්කමට වඩා සීලයේ මහත් බව තේරුම් ගන්නා ලදි.’ මෙසේ උත්තර දුන් බමුණා ‘මට දැන් මේ ගිහිගෙයි විසීමෙන් ප්‍රයෝජනයක් නැත. එබැවින් පැවිදි වන්නෙමි’යි රජුගෙන් පැවිද්දට අනුමැතිය ලබාගෙන, සිය ගෙදර දෙසවත් නො බලා ම දෙව්රමට ගොස් බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියේය. බුදුහු ඔහුට පැවිද්ද ද උපසම්පදාව ද දෙවූහ. උපසම්පදාවෙන් නොබෝ කලෙකින්ම විදසුන් වැඩූ ඔහු රහත්ඵලයෙහි පිහිටියේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් දම්සභාවට රැස් වූ භික්‍ෂූහු දිනක් සාකච්ඡා කරමින් හුන්හ. එවිට එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ, භික්‍ෂූන් සාකච්ඡා කළ කරුණු ගැන ඔවුන්ගෙන් අසා දැ, ‘මහණෙනි, මේ භික්‍ෂුව පමණක් නොව, පෙර විසූ පඬිවරු ද, සීලය ගැන හොඳින් විමසා බලා දැන, පැවිදි ව තමාට යහපතක් ම සිදුකර ගත්තාහු යැ’යි වදාරා, මේ අතීත කථා පුවත ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ බමුණු කුලයක උපන්නේය. නිසි වියට පත් වූ ඔහු තක්‍ෂිලාවට ගොස්, එහිදී සියලු ශිල්ප ශාස්ත්‍ර උගෙන නිමවා, බරණැසට පෙරළා පැමිණ, රජතුමා බැහැදැක්කේය. ඔහු කෙරෙහි පැහැදුණු රජතුමා ඔහුට පුරෝහිත තනතුර දුන්නේය. මේ බමුණු තරුණයා නිති පන්සිල් රකියි. රජතුමා ද ඔහුගේ සිල්වත්කම නිසා, වැඩිපුර ඔහුට සලකයි. ගෞරව දක්වයි. දිනක් මේ බමුණු තරුණයා ‘කිමෙක් ද? රජතුමා සිල්වත්කමට මට සලකා ද? නැතහොත් මගේ උගත්කමට මේ ඔහුගේ ගෞරව දැක්වීමක්දැ’යි, මෙසේ සිතුවේය. ඉතිරි සියලු විස්තර මෙහිම, වර්තමාන කථාවට අනුව දත යුතුය. අතීත කථාවට අනුව මේ බ්‍රාහ්මණ තරුණයා ‘උගත්කමට වඩා සීලයේ මහන්තත්වය, මා විසින් අවබෝධ කරගන්නා ලදැ’යි මේ ගාථා ප්‍රකාශ කෙළේය.
සීලං සෙය්‍යො සුතං සෙය්‍යො - ඉති මෙ සංසයො අහූ,
සීලමෙව සුතා සෙය්‍යො ඉති මෙ නත්‍ථි සංසයො
සීලය උතුම් ද? උගත්කම උතුම්ද, යන මේ ගැන මට සැකයක් ඇතිවිය. උගත්කමට වඩා සීලයම උතුම්ය. දැන් මට සැකයක් නැත.
මොඝා ජාති ච වණ්ණෙ ච සීලමෙව කිරුත්තමං,
සීලෙන අනුපෙතස්ස සුතෙනත්‍ථො න විජ්ජති
ජාතිය-කුලය යන මේවා නිශ්ඵල ය. ශීලය ම උතුම්ය. ශීලයෙන් තොර පුද්ගලයාගේ උගත්කමෙන් වැඩක් නැත.
ඛත්තියොච අධම්මට්ඨො වෙස්සො ත්‍වා ධම්ම නිස්සිතො,
තෙ පරිච්චජුහො ලොකෙ උප්පජ්ජන්ති දුග්ගතිං
අධර්මයෙන් පිහිටි ක්‍ෂත්‍රියාද, අධර්මය ඇසුරු කරන වෛශ්‍යයා ද යන දෙදෙනා ම දෙලොව අතහැර දුගතියෙහි උපදිත්.
ඛත්තියා බ්‍රාහ්මණ වෙස්සා සුද්දා චණ්ඩාල පුක්කුසා,
ඉධ ධම්මං චරිත්‍වාන භවන්ති තිදිවෙ සමා
ක්‍ෂත්‍රියයෝ ද, බමුණෝ ද, වෛශ්‍යයෝ ද, ක්‍ෂුද්‍රයෝ ද, චණ්ඩාලයෝ ද, කසල ශෝධකයෝ ද යන මොවුහු මෙලොව දහම් හි හැසිර, දෙව්ලොව සමව උපදිත්.
න වෙදා සම්පරායාය - න ජාති පිබන්‍ධවා,
සකඤ්ච සීලං සංසුද්ධං සම්පරාය සුඛා වහන්ති
පරලෝ සැප පිණිස උගත්කම ද, ජාතිය ද, නෑයෝ ද, හේතු නොවේ. තම පිරිසිදු ශීලයම පරලෝ සැප ගෙන දේ.
මෙහි ‘සීලමෙව සුතා සෙය්‍යො’ යනු ‘උගත් ධර්මයට වඩා ශීලයම සිය-දහස් ගුණයෙන් උත්තරීතර ය. මෙසේ ද කියා ශීලය වූ කලී, සංවර ශීලය වශයෙන්, එක් වැදෑරුම් ද, චාරිත්‍ර-වාරිත්‍ර වශයෙන්, දෙ වැදෑරුම් ද, කායික-වාචසික-මානසික වශයෙන්, තෙ වැදෑරුම් ද, ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය - ඉන්‍ද්‍රිය සංවර ශීලය - ආජීව පාරිශුද්ධ ශීලය - ප්‍රත්‍ය සංනිශ්‍රිත ශීලය වශයෙන්, සිව් වැදෑරුම් ද වේ යැයි මාතෘකා තබා, විස්තර කරමින් ශීල වර්ණනාව දේශනා කෙළේය’ යන අර්ථයි.
‘මොඝා’ යනු ‘නිශ්ඵල, හිස් යන අර්ථයි. ‘ජාති’ යනු ක්‍ෂත්‍රිය ආදී කුලවල ඉපදීමයි. ‘වණ්ණො’ යනු ‘ශරීර වර්ණය හා රූමත්කම යි. යම් හෙයකින් දුස්සීලයාගේ යම් බඳු ජාති සම්පත්තියක් හෝ, වර්ණ සම්පත්තියක් හෝ, දෙව්සැප ලබාදීමට ප්‍රමාණවත් නොවේද? එබැවින් ඒ දෙකම හිස් යැයි දේශනා කෙළේය,’ යන අර්ථයි. ‘සීලමෙව කිර’ යනු ‘අසා පුරුද්දෙන් කියයි. නමුත් තෙමේ එය නොදනී’ යන අර්ථයි. ‘අනුපෙතස්ස’ යනු ‘යුක්ත නොවූ පුද්ගලයාට’ යන අර්ථයි. ‘සුතෙ නත්‍ථො න විජ්ජති’ යනු ‘ඒ දුස්සීලයෝ දෙව්ලොවත් මිනිස්ලොවත් යන දෙලොවම අතහැර දුගතියෙහි උපදිත් යන අර්ථයි.
[missing trans] ‘චණ්ඩාල පුක්කුසා’ යනු ‘මිනී අදින චණ්ඩාලයෝ ද, පර මල් ඉවත ලද පුක්කුසයෝ ද’ යන අර්ථයි. ‘භවන්ති තිදිවෙසමා’ යනු ‘මේ සියලු දෙනාම ශීලයෙහි ආනුභාවයෙන් දෙව්ලොව හටගත් බැවින් සමව උපදිත්. ඔවුහු අවිශේෂයෙන් දෙවිවරු ගණයට වැටෙත්.