මෙහි ‘සීලමෙව සුතා සෙය්‍යො’ යනු ‘උගත් ධර්මයට වඩා ශීලයම සිය-දහස් ගුණයෙන් උත්තරීතර ය. මෙසේ ද කියා ශීලය වූ කලී, සංවර ශීලය වශයෙන්, එක් වැදෑරුම් ද, චාරිත්‍ර-වාරිත්‍ර වශයෙන්, දෙ වැදෑරුම් ද, කායික-වාචසික-මානසික වශයෙන්, තෙ වැදෑරුම් ද, ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය - ඉන්‍ද්‍රිය සංවර ශීලය - ආජීව පාරිශුද්ධ ශීලය - ප්‍රත්‍ය සංනිශ්‍රිත ශීලය වශයෙන්, සිව් වැදෑරුම් ද වේ යැයි මාතෘකා තබා, විස්තර කරමින් ශීල වර්ණනාව දේශනා කෙළේය’ යන අර්ථයි.
‘මොඝා’ යනු ‘නිශ්ඵල, හිස් යන අර්ථයි. ‘ජාති’ යනු ක්‍ෂත්‍රිය ආදී කුලවල ඉපදීමයි. ‘වණ්ණො’ යනු ‘ශරීර වර්ණය හා රූමත්කම යි. යම් හෙයකින් දුස්සීලයාගේ යම් බඳු ජාති සම්පත්තියක් හෝ, වර්ණ සම්පත්තියක් හෝ, දෙව්සැප ලබාදීමට ප්‍රමාණවත් නොවේද? එබැවින් ඒ දෙකම හිස් යැයි දේශනා කෙළේය,’ යන අර්ථයි. ‘සීලමෙව කිර’ යනු ‘අසා පුරුද්දෙන් කියයි. නමුත් තෙමේ එය නොදනී’ යන අර්ථයි. ‘අනුපෙතස්ස’ යනු ‘යුක්ත නොවූ පුද්ගලයාට’ යන අර්ථයි. ‘සුතෙ නත්‍ථො න විජ්ජති’ යනු ‘ඒ දුස්සීලයෝ දෙව්ලොවත් මිනිස්ලොවත් යන දෙලොවම අතහැර දුගතියෙහි උපදිත් යන අර්ථයි.
[missing trans] ‘චණ්ඩාල පුක්කුසා’ යනු ‘මිනී අදින චණ්ඩාලයෝ ද, පර මල් ඉවත ලද පුක්කුසයෝ ද’ යන අර්ථයි. ‘භවන්ති තිදිවෙසමා’ යනු ‘මේ සියලු දෙනාම ශීලයෙහි ආනුභාවයෙන් දෙව්ලොව හටගත් බැවින් සමව උපදිත්. ඔවුහු අවිශේෂයෙන් දෙවිවරු ගණයට වැටෙත්.
පස්වැනි ගාථාව වනාහි, උගත්කම් ආදී සියල්ලේ හිස්බව දැක්වීමට කියන ලදි. මෙහි අර්ථය මෙසේය. මහරජතුමනි, මේ උගත්කම් ආදිය, මෙලොව යසස් මාත්‍රයක් හැර, පරලොව දෙවන හෝ තෙවන හෝ භවයක දී යසස් සම්පත් හෝ සැප ලබාදීමට අපොහොසත් වේ. එබැවින් තමාගේ පිරිසිදු ශීලය ම ඊට ප්‍රමාණවත් වේ.
මෙසේ බෝසත් තෙමේ ශීලයෙහි ගුණ වර්ණනාකොට, රජුගෙන් පැවිද්දට අවසර ද ලබාගෙන, එදිනම හිමාලයට පිවිස සෘෂි පැවිද්දෙන් පැවිදිව අභිඥාවන් ද, සමාපත්තිද, උපදවාගෙන ජීවත්ව සිට, දිවි කෙළවර බ්‍රහ්ම ලෝකයෙහි උපත ලැබීය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමාකොට, ‘එදා ශීලය විමසා බලා සෘෂි පැවිද්දෙන් පැවිදි වූයේ මම ම වීමි’යි කියා වදාළ සේක.
3. හිරි ජාතකය (363)
‘හිරිං තරන්තං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක්, අනේපිඬු සිටුතුමාගේ සහායක වූ පසල් දනව් වැසි සිටුවරයකු අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුවත් අතීත කථා වස්තුවත් යන කථා දෙකම ඒකක නිපාතයෙහි නව වැනි වර්ගයේ අවසාන ජාතකයෙහි (අකතඤ්ඤු ජාතකයෙහි) දක්වා ඇත. මේ ජාතකයට අනුව ‘පසල් දනව් වැසි සිටුවරයාගේ මිනිස්සු සියලු සම්පත් පැහැර ගන්නා ලදුව, ස්වකීය ඇඳිවත පවා අහිමිව පැන දිවූහ’යි බරණැස් සිටුතුමාට ආරංචි විය. එවිට බරණැස් සිටු තෙමේ ‘තමා වෙත පැමිණි අයට කළයුතු උදව් උපකාර නොකරන උදවිය, කිසිදා ප්‍රත්‍යුපකාර නොලබත් යැ’යි කියා, මේ ගාථා ප්‍රකාශ කෙළේය.
හිරිං තරන්තං විජිගුච්ඡ මානං, තවා හමස්මි ඉති භාසමානං,
සෙය්‍යානි කම්මානි අනාදියන්තං, නෙ සො මමන්ති ඉති නං විජඤ්ඤා
ලජ්ජාව ඉක්මවා කටයුතු කරන, මිතුරන් පිළිකුල් කරන, එහෙත් ‘මම ඔබේ මිත්‍රයෙක්මි’යි කියන, උතුම් කටයුත්තක් නොකරන, එවැනි පුද්ගලයකු ගැන ‘මොහු මාගේ මිතුරෙක් නොවේ යැ’යි තේරුම් ගන්නේය.
2. යමක් කරන්නේ ද, එය කියන්නේය. යමක් නො කරන්නේ නම්, එය නො කියන්නේය. නොකර කියන දෑ පඬිවරු හොඳින් හඳුනති.
3-4 මිත්‍රත්වය වූ කලී ප්‍රමෝදය ඇතිකිරීමට හේතු වේ. ප්‍රශංසාව හා සැපය ගෙනදේ. එබැවින් මනා වූ පෞරුෂත්වයක් ඇති තැනැත්තා, මිත්‍රත්වයේ ඵලය හා ආනිසංස වර්ධනය කරයි.
5. ධර්මප්‍රීති රසය බොන තැනැත්තා, කාය-චිත්ත විවේක රසයද, කෙලෙස් සංසිඳීමේ රසය ද, පානය කොට කෙලෙස් උවදුරු නැත්තෙක් ද, නිෂ්පාපියෙක් ද වේ.
මෙහි ‘හිරිං තරන්තං’ යනු ‘ලජ්ජාව ඉක්ම වූ’ යන අර්ථයි. ‘විජිගුච්ඡමානං’ යනු ‘මෛත්‍රී හැඟීමක් නැති බැවින් මිතුරන් පිළිකුල් කරන’, යන අර්ථයි. ‘තවාහමස්මි’ යනු ‘මම ඔබේ මිතුරෙක්මි’යි හුදු වචන මාත්‍රයක් පමණක් කියන’ යන අර්ථයි. ‘සෙය්‍යානි කම්මානි’ යනු ‘දෙන්නෙමි, කරන්නෙමි යන වචනවලට අනුරූප වූ උතුම් ක්‍රියා’ යන අර්ථයි. ‘අනාදියන්තං’ යනු ‘නොකරන’ යන අර්ථයි. ‘නෙසො මම’ යන අර්ථයි.