1. වණ්ණාරෝහ ජාතකය (361)
‘වණ්ණාරොහෙන’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ඇසුරුකොට දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, අගසවු දෙනම අරබයා වදාළ සේක. එක් කලෙක ඉහත කී තෙරවරු දෙනම ‘මේ වස් කාලය කැලෑ ප්‍රදේශයක විසිය යුතු යැ’යි කල්පනාකොට, බුදුරදුන් වෙත ගොස් ඊට අවසර ලබාගෙන, භික්ෂු ගණයාගෙන් වෙන්ව, තමන්වහන්සේම පා-සිවුරු ගෙන දෙව්රමින් නික්ම, එක් පසල්ගමක ආසන්නයේ වූ කැලෑ පෙදෙසක වස් විසූහ. මේ අතර තෙරවරුන් ඇසුරෙහි උන්වහන්සේට ලැබෙන දැයින් ජීවත් වීමට ඉටාගත් කිසියම් පුරුෂයෙක්, අවසර ලබාගෙන එකී දෙනමට උවටැන් කරමින් එම කැලෑ පෙදෙසෙහිම ජීවත් විය. දින කිහිපයකින්ම තෙරවරුන් දෙනමගේ සමගි සම්පන්න බව මැනවින් තේරුම් ගත්, යට කී උපස්ථායකයා, ‘මේ දෙනම ඉතාම සමගිව වෙසෙති. මා මොවුන් භේදකොට මිතුරුදම සිඳ දැමිය යුතුයැ’යි සිතුවේය. එසේ සිතා සැරියුත් තෙරුන් වෙත එළඹ ‘කිමෙක්ද? ස්වාමීනි, මහ මුගලන් තෙරුන් සමග ඔබේ කිසියම් වෛරයක් අමනාපයක් වේදැ’යි ඇසීය. ‘ඇවැත්නි, එසේ ඇසීමට හේතුව කිමදැ’යි තෙරහු ඇසූහ. ‘ස්වාමීනි, මා උන්වහන්සේ වෙත ගිය කල්හි, ‘ඔය සාරිපුත්ත භික්ෂුව ජාති-ගෝත්‍ර-කුල ප්‍රදේශ අතින්ද, සූත්‍රාන්ත දැනුම අතින් ද, අවබෝධයෙන් ද, සෘද්ධි බලයෙන් ද මා අනුව බලන කල්හි, කුමන හැකියාවක් ඇත්තෙක්දැ’යි මුගලන් තෙරුන් වහන්සේ ඔබවහන්සේගේ අගුණම මා සමග, කීහ’යි, ඇබිත්ත තරුණයා පැවසීය. එවිට සැරියුත් තෙරණුවෝ සිනා සී, ‘ඇවැත් තරුණය, දැන් ඔබ මෙතැනින් ගියොත් හොඳ යැ’යි වදාළහ.
එයින් නො නැවතුණු ඇබිත්ත තරුණයා මුගලන් තෙරුන් වෙත එළඹ, ඒ කථාවම පැවසීය. මුගලන් තෙරහු ද සිනා පහළකොට ‘ඇවැත්නි, ඔබ දැන් මෙතනින් ගියොත් හොඳ යැ’යි වදාළහ. අනතුරුව සැරියුත් වෙත වැඩි මහ මුගලන් තෙරහු ‘ඇවැත්නි, ශාරිපුත්‍රය, මේ ඇබිත්තයා ඔබ සමීඵයට පැමිණ කිසිවක් කීයේදැ’යි ඇසූහ. ‘එසේය ඇවැත්නි, මා සමග ද ඔහු යම් යම් දේ කියා ඇත. එබැවින් මොහු මෙතැනින් බැහැර කරන්නට සුදුසු යැ’යි, සැරියුත් තෙරණුවෝ පිළිතුරු වශයෙන් කීහ. මෙසේ දෙනමගේම අනුමැතියෙන් ඉහත කී කේලාම් කීමෙහි යෙදුණු තරුණයා අසුරක් ගසා සැරියුත් තෙරණුවන් විසින් පන්නා දමනු ලැබීය. ඉන්පසු දෙදෙනා වහන්සේම සමගියෙන් වස්වැස ඉන් අනතුරුව බුදුරදුන් සමීපයට ගොස් වැඳ, එකත්පස්ව හුන්හ. බුදුරජාණන් වහන්සේ ඒ දෙනම සමග පිළිසඳර කථාකොට ‘සැප සේ වස් විසූහුදැ’යි විචාළ සේක. එවිට අගසවු දෙනම වස් විසීමේ දී ඇබිත්ත තරුණයාගෙන් තමන් වහන්සේට සිදු වූ ගැහැට, බුදුරදුන් ඉදිරියේ ප්‍රකාශ කළහ. ‘ඇවැත් ශාරිපුත්‍රය, ඔබ දෙදෙනා බිඳවීමට ඔහු ගත්, පළමු උත්සාහය මෙය නොවේ. පෙර ද ඔහු එසේ උත්සාහ කොට, එය බැරි වී අවසානයේ දී පැන ගියේ යැ’යි වදාරා, අගසවු දෙනමගේ ආරාධනයෙන්, මේ අතීත කථාව වදාළ සේක.
පෙර බරණැස් නුවර ‘බ්‍රහ්මදත්ත’ රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ කැලයක රුක් දෙවියෙක්ව උපන්නේය. එකල ඒ කැලයේ ම සිංහයෙක් ද, ව්‍යාඝ්‍රයෙක් ද මිතුරුව පර්වත ගුහාවක විසූහ. එක් සිවලෙක් ඉහත කී සතුන් දෙනොට උපස්ථාන කරමින්, ඔවුන්ගේ ඉඳුල්වලින් යැපෙමින් ජීවත් විය. ඉඳුල් කා ඉතා විශාල වූ කයක් ඇති, මේ සිවලා ‘මා විසින් මින් පෙර සිංහමස් හෝ ව්යාඝ්ර මස් නොකෑ විරූය. එබැවින් මුන් දෙන්නා එකිනෙකා කොටවා ඔවුන් මළ පසු මස් කන්නෙමැ’යි මෙසේ සිතීය. පසුදිනෙක සිංහයා හමුවට ගිය සිවලා ‘ස්වාමීනි, ව්‍යාඝ්‍රයා ඔබවහන්සේ සමග තරහදැ’යි ඇසීය. එවිට සිංහයා ‘යහලුව, නුඹ එසේ කීයේ මන්දැ’යි ඇසීය. ‘ස්වාමීනි, මා ව්‍යාඝ්‍රයා ළඟට ගියවිට ‘ඔය සිංහයා ශරීර වර්ණයෙන් හෝ, ආරෝහ පරිණාහයෙන් හෝ, ජාතියෙන් බලයෙන් වීර්යයෙන් යන මෙකී ගුණයන් අනුව මා හා සසඳා බලනකල්හි, ඔහුගේ හැකියාව අඩකලාවක් (1/32) පමණවත් නොවටී යැ’යි, ඔබතුමාගේ අගුණම කීවේයැ’යි, සිවලා පැවසීය. එවිට සිංහයා ‘ඔහු කිසිවිටෙක මට එසේ නො කියයි. එබැවින් බොරු නොකියා වහා මෙතැනින් යව’යි කීය. පසුව සිවලා ව්‍යාඝ්‍රයා වෙත ගොස්, ඒ කථාවම ව්‍යාඝ්‍රයාට ද පැවසීය. එය විශ්වාස නොකළ ව්‍යාඝ්‍රයා සිංහයා වෙත එළඹ, ‘මිතුර, ඔබ මට මේ මේ දෑ කීවෙහිදැ’යි විචාරමින් මෙසේ පැවසීය.
වණ්ණාරොහෙන ජාතියා බලනික්ක මණෙනච,
සුබාහු න මයා සෙය්යො - සුදාඨ ඉති භාසසීති
සුබාහු න මයා සෙය්යො - සුදාඨ ඉති භාසසීති
වර්ණයෙන් ද, ආරෝහ සම්පත්තියෙන් ද, ජාතියෙන් ද, බලයෙන් ද, උත්සාහයෙන් ද, මේ ‘සුබාහු’ නම් ව්‍යාඝ්‍රයා මා තරම් උතුම් නොවේ. ‘සුදාඨ’ (මනා වූ දළ ඇත්තාණෙනි) ඔබ එසේ කීවෙහිද? (‘සුබාහු’ යනු ව්යාඝ්රයාගේ නම වන අතර ‘සුදාඨ’ යනු සිංහයාගේ නමයි)
මෙහි ‘බලනික්කමණෙන ච’ යනු ‘කාය බලයෙන් මෙන්ම වීර්යයෙන්’ යන අර්ථයි. ‘සුබාහු න මයා සෙය්යො’ යනු මේ සුබාහු නම් ව්‍යාඝ්‍රයා මෙකී කරුණුවලින් මා හා සමාන නොවේ. මා තරම් උසස් ද නොවේ. ශෝභන දළවලින් යුක්ත වූ, මනා වූ දළ ඇති මෘග රාජයාණෙනි, ඔබ මෙසේ කී බව සැබෑවක් ද?
මේ අසා සිටි ‘සුදාඨ’ නම් වූ සිංහයා සෙසු ගාථා සතර ප්‍රකාශ කෙළේය.
2. වර්ණයෙන් ද, ආරෝහ සම්පත්තියෙන් ද, ජාතිය-බලය-උත්සාහය යන මෙයින් ද, මේ සුදාඨ නම් සිංහයා මා තරම් උතුම් නොවේ. සුබාහු ඔබ එසේ කීවෙහිද?
3. සුබාහු මිත්‍රය, ඉදින් මෙසේ වාසය කරන්නා වූ මට (ඔබ) ද්‍රෝහි වෙහිද? දැන් මම ඔබ සමග එක්ව, විසීම නොකැමැත්තෙමි.
4. යමෙක් අනුන්ගේ වචන සත්‍ය ලෙස ගෙන අදහා ද? (ඔහු) මිත්‍රයා කෙරෙහි වහා බිඳෙන්නේය. වෛරය ද බොහෝ සේ උපදවන්නේ ය.
න සො මිත්තො යො සදා අප්පමත්තො, භෙදා සංකී රන්ධ මෙවානු පස්සී,
යසමිඤ්ච සෙති උරසීව පුත්තො, සවෙ මිත්තො සො අභෙජ්ජො පරෙහී
යසමිඤ්ච සෙති උරසීව පුත්තො, සවෙ මිත්තො සො අභෙජ්ජො පරෙහී
යමෙක් සැමකල්හි නොපමාව මිත්‍රභේදය ගැන සැකයෙන් පසු වේද? (මිත්‍රයාගේ) අඩුපාඩුම දකියි ද? ඔහු මිත්‍රයෙක් නොවේ. යමෙක් අනුන් විසින් නො බිඳිය හැක්කෙක් ව, යමකු කෙරෙහි (නිර්භය ව) ජාත පුත්‍රයකු යන හැඟීමෙන් යුතුව සැතපේද? ඒකාන්තයෙන් ඔහු මිත්රයෙකි.
මෙහි ‘සම්ම’ යනු ‘මිත්‍රය’ යන්නයි. ‘දුබ්භසි’ යනු ‘ඉදින් ඔබ මෙසේ ඔබ සමග එක්ව වසන මට, සිවලකුගේ කථාව පිළිගෙන ද්‍රෝහ කෙරේද? මා නසන්ට කැමති වේද? මේ මොහොතේ පටන් මම ඔබ හා විසීමට නොකැමති වෙමි’ යන අර්ථයි. ‘යථාතථං’ යනු ‘ඇති සැටියෙන්, සත්‍යය පරිද්දෙන්, සත්‍යවාදී වූ උතුමකු විසින් කියන ලද වචනය විශ්වාස කළ යුතුය. මෙසේ ඇතැමෙක් එක එක අයගේ වචන විශ්වාස කරති’ යන අර්ථයි. ‘යො සදා අප්පමත්තො’ යනු ‘යමෙක් නිතර නොපමාව සිය මිතුරාට විශ්වාසය නූපදවයිද? ඔහු මිතුරකු නොවේ’ යන අර්ථයි. ‘භෙදාසංකී’ යනු ‘මිතුරුකම අද බිඳෙන්නේය. හෙට බිඳෙන්නේ යැයි මෙසේ මිතුරාගේ මිතුරුකම බිඳීම ගැන ම සැක කෙරේ’, යන අර්ථයි. ‘රන්ධමෙවානුපස්සී’ යනු ‘සිදුරක්, අඩුපාඩුවක් ම බලන්නා’ යන අර්ථයි. ‘උරසීව පුත්තො’ යනු මවකගේ හදවතෙහි සිය පුතා ගැන ඇති හැඟීම මෙන්, යම් මිතුරකු නිසැකව නිර්භය ව සැතපේද?’ යන අර්ථයි.
මෙසේ මේ ගාථා සතරෙන් සිංහයා විසින් මිත්‍ර ගුණයන් වර්ණනා කළ කල්හි, ව්‍යාඝ්‍රයා ‘මගේ වැරැද්දට සමාවන්නැ’යි සිංහයා සමා කරවා ගත්තේය. ඉන්පසු ඔවුහු පෙර සේ ම සමගිව එක්ව විසූහ. සිවලා එතැනින් පැන අන් තැනකට ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා සිවලා නම්, අද ඇබිත්තයාය. සිංහයා නම් සැරියුත් තෙරණුවෝය. ව්‍යාඝ්‍රයා නම් මුගලන් තෙරණුවෝය. ඒ කරුණ ප්රත්යක්ෂ වශයෙන් දැක, ඒ වනයේ ම විසූ වෘක්ෂ දේවතාවා වූ කලී, ‘මම ම වීමි’යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
2. සීලවීමංස ජාතකය (362)
‘සීල සෙය්යො’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර දී, සිල් විමසන එක් බ්‍රාහ්මණයකු අරබයා වදාළ සේක. රටේ රජතුමා ඉහත කී බමුණා සිල්වතෙකැ යි යන හැඟීම නිසා, සෙසු බමුණන් ඉක්මවා ඔහුට සලකයි. බමුණා රජුගේ මේ සැලකිල්ල ගැන වෙසෙසින් කල්පනා කොට, ‘මේ රජතුමා මා සිල්වතකු කොට සිතා සලකා ද? එසේ නැතහොත් මා උගතකු යැයි කල්පනාකොට සලකා ද? පළමුකොට මේ ගැන විමසා බලා මා තුල සීලය අධිකද? නැතහොත් උගත්කම අධිකදැ’යි, දැන ගන්නෙමි’යි අදිටන් කර ගත්තේය. මෙසේ සිතූ බමුණා එක් දවසක් කහවණු හා රන්මසු වෙළෙන්දෙකුගේ මේසය මතින් කහවණුවක් ගත්තේය. ඒ වෙළෙන්දා ද ගෞරවය නිසා කිසිවක් නොකීය. තවත් වරෙක බමුණා එය ම කළ ද, වෙළෙන්දා එවර ද නිශ්ශබ්ද විය. තෙවන වර බමුණා කහවණුව ගන්නවාත් සමගම වෙළෙන්දා, ‘මේ මං පහරන සොරෙකැයි’ ඔහු අල්වාගෙන රජුට දක්වා, පසෙකට වී බලා සිටියේය. එවිට රජතුමා ‘මොහු කළ වරද කුමක්දැ’යි ඇසීය. ‘මොහු මා සතු වස්තුව පැහැර ගත්තේ යැ’යි වෙළෙන්දා පිළිතුරු දුන්නේය. ‘බමුණ, මේ කථාව සත්‍යයක්ද?’ ‘මහරජතුමනි, මම මොහු සතු වස්තුව පැහැර නොගත්තෙමි. මට, මා තුළ සීලය අධිකද? නැතහොත් දැනුම අධිකදැ’යි කුකුසක් ඇතිවිය. එබැවින් මම ඒ ගැන විමසමින් තුන්වරක් මොහුගෙන් කහවණුව බැගින් ගත්තෙමි. තෙවනවර මොහු මා අල්වාගෙන, ඔබතුමාට දැක්වීය. දැන් මා විසින් උගත්කමට වඩා සීලයේ මහත් බව තේරුම් ගන්නා ලදි.’ මෙසේ උත්තර දුන් බමුණා ‘මට දැන් මේ ගිහිගෙයි විසීමෙන් ප්‍රයෝජනයක් නැත. එබැවින් පැවිදි වන්නෙමි’යි රජුගෙන් පැවිද්දට අනුමැතිය ලබාගෙන, සිය ගෙදර දෙසවත් නො බලා ම දෙව්රමට ගොස් බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියේය. බුදුහු ඔහුට පැවිද්ද ද උපසම්පදාව ද දෙවූහ. උපසම්පදාවෙන් නොබෝ කලෙකින්ම විදසුන් වැඩූ ඔහු රහත්ඵලයෙහි පිහිටියේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් දම්සභාවට රැස් වූ භික්ෂූහු දිනක් සාකච්ඡා කරමින් හුන්හ. එවිට එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ, භික්ෂූන් සාකච්ඡා කළ කරුණු ගැන ඔවුන්ගෙන් අසා දැ, ‘මහණෙනි, මේ භික්ෂුව පමණක් නොව, පෙර විසූ පඬිවරු ද, සීලය ගැන හොඳින් විමසා බලා දැන, පැවිදි ව තමාට යහපතක් ම සිදුකර ගත්තාහු යැ’යි වදාරා, මේ අතීත කථා පුවත ගෙනහැර දැක්වූ සේක.