9. සුවණ්ණමිග ජාතකය (359)
‘වික්කම රෙ මහමිගා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, සැවැත් නුවර විසූ එක් කුල දුවක් අරබයා වදාළ සේක. සැවැත්නුවර අගසව් දෙනමට උපස්ථාන කරන සැදැහැති පවුලක උපන් ඉහත කී කුලදුව සැදැහැයෙන්ද, පැහැදීමෙන්ද, බුදු බැතියෙන්ද, තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන්ද, හැදියාවෙන්ද, බුද්ධිමත් බවින්ද, යුක්තව විසුවාය. දානාදී පින්කම්වල නිරත වූ ඇයට, සැවැත්නුවරම විසූ, එක ම කුලයට අයත්, එහෙත් අන්‍යාගමික පවුලකින් විවාහ යෝජනාවක් ලැබුණි. ඉන්පසු ඇයගේ දෙමව්පියෝ විවාහ යෝජනාව ගෙනා පවුලේ උදවියට ‘හිතවතුනි, අපේ දුව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්ය. දානාදි පින්කම්හි, නිතර ඇලී කටයුතු කරයි. ඔබ හැම වෙනත් ආගමකට අයත්ය. එබැවින් අපේ පවුල් දෙක මෙවැනි සම්බන්ධයකට නොගැලපේ. මේ විවාහය සිදුවුවහොත් ඇයට හිතේ හැටියට දන් දෙන්නට හෝ, බණ අසන්නට හෝ, පන්සල් යන්නට හෝ, සිල් ගන්නට හෝ, පොහෝ කටයුතු සිදුකරන්නට හෝ, ඉඩකඩ නො ලැබෙනු ඇත. එබැවින් මේ මඟලට අපි අකැමති වෙමු. වෙනත් ගැලපෙන තැනකින් විවාහ කටයුතු කරගනු මැනවි’යි කීහ. මේ කථාව අසා සිටි විවාහ යෝජනාව ගෙනා පිරිස, ඊට එකඟ නොවී ‘හිතවතුනි, අපට මේ කුමාරිකාව දුන මැනව. ඇයගේ ආගමික නිදහසට අපි කිසිසේත් බාධා නොකරමු. ඇයට රිසි සේ කටයුතු කරන්නට ඉඩ පහසුකම් සලසන්නෙමු. එබැවින් අපට ඔබගේ දියණිය පාවා දෙනු මැනවැ’යි කීහ. මේ ඉල්ලීම ගැන බොහෝදුරට සිතාබැලූ කුමාරියගේ දෙමාපියෝ, යෝජනාවට එකඟ වූහ. ඉන්පසු මනාලයාගේ පාර්ශවයේ උදවිය සුදුසු සුභ නැකැත් යෝගයක් බලා, මඟුල් උත්සවය සිදුකොට, මනාලිය සිය ගමට පෙරහැරකින් කැටුව ගියහ. කුලගෙට පිවිසි මේ කුලකුමරිය වත්පිළිවෙත් සරුව, නැන්දා-මාමා දෙපලට කීකරුව, සිය සැමියා දෙවියකු මෙන් සලකා කටයුතු කළාය.
දිනෙක සිය සැමියා ඇමතූ ඇය ‘ස්වාමිපුත්‍රය, දන්නා හඳුනන හිමිවරුන්ට අපි දානයක් දෙමුදැ’යි ඇසුවාය. එවිට සැමියා ‘මැනව සොඳුර, ඔබ කැමති හැටියකට දන්දුන මැනවැ’යි සිය බිරිඳ දිරිමත් කෙළේය. අනතුරුව භික්‍ෂූන් වහන්සේට ආරාධනා කළ ඇය, ප්‍රණීත භෝජන සකස්කොට උන්වහන්සේ මැදුරට වඩමවා, සකසා දුන් පිළිගන්වා සැදැහැයෙන් වළඳවා දානයෙන් පසු, එකත්පසෙක හිඳගෙන, භික්‍ෂූන් අමතා ‘ස්වාමීනි, මේ පවුලේ උධවිය අන්‍යාගමිකය. සැදැහැයෙන් තොරය. තෙරුවන් ගුණ නො දනිති. එබැවින් මොවුන් තෙරුවන් ගුණ අවබෝධ කරගන්නා තෙක්, ඔබවහන්සේ මෙහිම දානයට වඩිනු මැනවැ’යි ආරාධනා කළාය. ආරාධනාව පිළිගත් භික්‍ෂූහු, දිනපතා එහිම දන් වැළඳූහ. දිනක් කුමාරිකාව සිය සැමියාට ‘ස්වාමි පුත්‍රය, හිමිවරු මෙහි නිතර දානයට වඩිති. එය බලන්නටවත් ඔබතුමා නො පැමිණෙන්නේ මන්දැ’යි ඇසුවාය. ‘මැනවි සොඳුර, මම හෙට නොවරදවා පැමිණෙන්නෙමි’යි සැමියා පිළිතුරු දුන්නේය. පසුදා තෙරවරුන්ට දන් පිළිගැන්වූ කුමාරිය, භික්‍ෂූන් දන් වළඳා අවසන් වනවාත් සමගම සිය සැමියාට එතැනට පැමිණෙන ලෙස, දැනුම් දුන්නාය. තෙරවරුන් වෙත පැමිණි ඔහු, උන්වහන්සේ සමග පිළිසඳර කථාකොට, එකත්පස්ව හිඳ ගත්තේය. ඉක්බිති දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝ, අනුමෝදනා බණ වදාළහ. බණ ඇසූ ඔහු තෙරුන්ගේ බණට ද, උන්වහන්සේලාගේ ඇවතුම් පැවතුම්වලටද පැහැදී, එතැන් පටන් දිනපතා භික්‍ෂූන්ට අසුන් පනවයි. පැන් පෙරා දෙයි. දානෙන් පසු අනුමෝදනා බණ ද අසයි. මෙසේ ටික කලෙක දී ම ඔහුගේ මිසදිටු බව පහව ගියේය.
පසුදිනක අනුමෝදනා බණ දෙසන සැරියුත් තෙරණුවෝ අඹු-සැමි දෙදෙනාට චතුරාර්ය සත්‍යය මාතෘකා කොටගෙන දම් දෙසූහ. දේශනාව අවසානයේදී දෙදෙනාම සෝවාන් ඵලයට පත්වූහ. එතැන් පටන් නිවසේ මව්පියන් ඇතුළුකොට, යටත් පිරිසෙයින් දැසි-දස්-කම්කරුවන් දක්වා සියලු දෙනාම, මිථ්‍යා දෘෂ්ටියෙන් මිදී තෙරුවන් කෙරෙහි මාමකත්වයෙන් යුතුව, ඉමහත් ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නට පටන් ගත්හ. දිනක් කුමරිය සැමියා අමතා ‘ස්වාමි පුත්‍රය, මේ ගිහිගෙයි වාසය මම අප්‍රිය කරමි. එබැවින් පැවිදි වීමට කැමැත්තෙමි’යි කීවාය. ‘සොඳුර, ඉතා මැනවි, මම ද පැවිදිවීමට ඉතා කැමැත්තෙන් සිටිමි’යි සැමියා සිය බිරිඳට උත්තර දුන්නේය. පසුදිනෙක ඔහු සිය බිරිඳ මහත් වූ පිරිවරින් කැඳවා ගෙනගොස්, මෙහෙණවරකට පමුණුවා පැවිදි කරවා, තෙමේ ද බුදුරදුන් වෙත ගොස්, උන්වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියේය. බුදුරජාණන් වහන්සේ ඔහු පැවිදි කරවා, උපසම්පදාවද ලබාදුන් සේක. දෙපලක සිටි ස්වාමි-භාර්යා දෙදෙනා ම, විදසුන් වඩා නොබෝ දිනකින්ම රහත් බවට පත්වූහ. දිනක් දම්සභාවට රැස්වූ භික්‍ෂූහු, ඉහත කී රහත් දෙනම ගැන කථා කරමින් ‘ඇවැත්නි, අසවල් තරුණ භික්‍ෂුණිය තමා ද පැවිදි වී, සැමියාට ද පැවිද්ද ලබාගන්නට සලස්වා, තමාද රහත් බවට පත්වී, සිය සැමියාට ද රහත්වීමට උදව් කළායැ’යි ප්‍රකාශ කළහ. මේ අතර එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කළ කරුණු ගැන භික්‍ෂූන්ගෙන් අසා දැන, ‘මහණෙනි, ඒ ළදරු භික්‍ෂුණිය, මේ භවයේ දී සිය සැමියා කෙලෙසුන්ගෙන් මුදා ගත්තාය. පෙර ඇය ඇයගේ සැමියා මරණයෙන් මුදා ගත්තා යැ’යි වදාරා, මේ අතීත කථා ප්‍රවෘත්තිය දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ මුව ජාතියෙහි ඉපිද තරුණවියට එළඹ ඉතා දැකුම්කලු, දුටුවන් පැහැදෙන රූප විලාසයකින් යුක්ත මුවෙක් විය. රන්වන් සිරුරක් ඇති, මේ මුවාගේ කකුල් ලාකඩ පිරියම් කළාක් වැනිය. රිදී පැහැති අංතට්ටුවක් ඇති, මේ මුවාගේ ඇස් මැණික්ගල් යුවලක් වැනි විය. රතු පැහැති සේද රෙද්දෙන් තැනූ රෙදි ගුළියක් වැනි මුවක් ඌට තිබුණි. උගේ බිරිඳ වන මුව දෙන ද ඉතා තරුණය. සුරූපී ය. දුටුවන් පහදවන සුලුය. මේ දෙදෙනා ඉතා සමගියෙන් එක්ව විසූහ. අසූ දහසක් පමණ වූ, විසිතුරු මුවෝ රංචුවක් මේ දෙදෙනා පිරිවරකොට ගත්හ. මෙකල ද වැද්දෝ මුව දඩයමෙහි යෙදී සිටියහ. මළපුඩු ද යෙදූහ. එක්දිනක් බෝසත් මුවා, සෙසු මුවන් පිරිවරා ඉදිරියෙන් ගමන් කරන විටකදී, උගේ එක් කකුලක් මළපුඩුවකට හසුවිය. මළපුඩුව කඩා දමන්නට සිතූ මුවා තදින් සිය කකුල ඉවතට ඇද්දේය. එයින් කකුලේ සම ඉරී තුවාල විය. මෙසේ නැවත නැවත ඇදීම නිසා, සම ද මස ද නහර ද කැපී ගොස්, කකුලේ ඇටකටුව දක්වා මළපුඩුව හිර විය. කොපමණ උත්සාහ දැරුවත්, මළපුඩුව කඩාගත නොහැකි වූ තැන මුවා මහහඬින් හැඬීය. ඒ හඬින් බියට පත් මුවෝ වහා එතැනින් පලා ගියහ. මුවන් අතර සිටි මුවදෙන, සිය සැමියා වන මුවරජාට වූ විපත ගැන කිසිවක් නොදැන, දිවයන මුව රංචුවට එකතු වූවාය. මඳ දුරක් දිවගිය ඇය මුව රංචුව තුළ සිය සැමියා නො දැක, ආපසු හැරුණාය. ‘එකත් එකටම විලාප හඬ නගන ලද්දේ මුව රජු විසින් යැ’යි සැක කළ ඇය ඉතා වේගයෙන් සැමියා සොයමින් දිව අවුත්, උගුලට හසු වූ මුවරජු සමීපයට පැමිණියාය. කඳුළු වැගිරෙන ඇස් ඇති ඇය, විලාප හඬ නගමින් ‘ස්වාමීනි, ඔබ මහත් බලසම්පන්න මුව රජෙකි. කුමක් නිසා මේ මළපුඩුව සිඳ දමන්නට නොහැක්කෙහිද? එබැවින් වෙර යොදා එය සිඳිනු මැනවැ’යි, මුව රජුට උත්සාහ ඇති කරවමින්, මේ ගාථාව ප්‍රකාශ කළාය.