10. සුසන්ධි ජාතකය (360)
‘වාතිගන්ධො තිමිරානං’ යන මේ ගාථා කොටස දැක්වෙන ජාතක කථාව, බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, කලකිරුණු භික්ෂුවක අරබයා වදාළ සේක. එහිදී බුදුරජාණන් වහන්සේ ඉහත කී භික්ෂුව කැඳවා, ‘මහණ, ඔබගේ කලකිරීම සැබෑවක්දැ’යි ඇසූ සේක. ‘ස්වාමීනි, එසේයැ’යි, භික්ෂුව උත්තර දුන්නේය. ‘මහණ, කුමක් දැක කලකිරුණෙහිද?’ ‘අබරණින් සැරසුණු කාන්තාවක් දැකීමෙනි.’ ‘මහණ, කාන්තාවෝ වනාහි, රැකීමට නොහැක්කෝය. පැරණි පඬිවරු පවා, ගුරුළු භවනයෙහි තබා රැකීමට උත්සාහ ගත් නමුත්, ස්වකීය භාර්යාවන් ආරක්ෂා කරගන්නට අපොහොසත් වූහ’යි වදාළ බුදුරජාණන් වහන්සේ, ඒ කලකිරුණු භික්ෂුවගේ අයැදුමෙන් මේ අතීත කථාව වදාළ සේක.
පෙර බරණැස් නුවර ‘තම්බ’ නම් රජෙක් රාජ්යය කරවීය. ඒ රජතුමාට ‘සුසන්ධි’ නම් අගමෙහෙසියක් වූවාය. ඇය උසස් රූපශ්රීයෙන් යුක්තය. එකල බෝසත් තෙමේ ගුරුළු ජාතියෙහි ඉපිද සිටියේය. එකල ‘නාගදීපය’, ‘සේරුම දීපය’ නමින් හැඳින්වීය. බෝසත් තෙමේ එම දිවයිනෙහි ගුරුළු භවනයක වාසය කරයි. දිනක් ගුරුළු භවනයෙන් නික්මුණු බෝසත් ගුරුළුරාජයා බරණැසට ගොස් මානවක ස්වරූපයක් මවාගෙන, තම්බ රජු සමග දූකෙළියෙහි යෙදුණේය. ගුරුළු රජුගේ රූප සම්පත්තිය දුටු රාජ සේවිකාවක්, අගමෙහෙසිය වෙත දිවැ ගොස් රජු සමග සූදුකෙළින තුරුණ මානවකයා ගැන, වර්ණනාත්මක විස්තරයක් දේවියට පැවසුවාය. ඒ ඇසූ දේවියට තරුණයා බැලීමට, තද ආසාවක් ඇති විය. එය ඉවසා සිටි දේවිය පසුදිනෙක මානවකයා රජු සමග ක්රීඩා කරමින් සිටි අවස්ථාවක් බලා, වස්ත්රාභරණයෙන් සැරසී, ක්රීඩා මණ්ඩපයට පැමිණ, සෙසු සේවිකාවන් අතර සිටිමින් තරුණ ගුරුළු රජු දෙස බැලුවාය. ඔහු ද ඇය දෙස බැලුවේය. දෙදෙනාම එක බැල්මෙන් ම ඔවුනොවුන් කෙරෙහි පිළිබඳ සිත් ඇත්තෝ වූහ. එවිට ගුරුලු රාජයා තමාගේ ආනුභාවයෙන් නුවර පුරා තද සුළඟක් මැවීය. සුළඟේ බරපතලකම නිසා ‘රාජමාලිගය බිමට පාත්වේ’ යැයි සිතූ මිනිස්සු, වහා එයින් ඉවතට පැන ගත්හ. ඒ අතර තම ආනුභාවයෙන් දැඩි අන්ධකාරයක් මැවූ ගුරුළු රාජයා, වහා දේවිය රැගෙන අහසට නැග නාගදීපයෙහි, ස්වකීය භවනයට ගියේය. ‘රාජ දේවිය කොහි ගියාදැ’යි කිසිවෙක් නොදත්හ. එදා සිට ගුරුළු රාජයා ඈ සමග සිත් අලවා වෙසෙමින්, සුපුරුදු ලෙසින් ම රජු සමග දූ කෙළියට බරණැස බලා යයි. එපමණක් නොව, කිසිවක් නොදත්තාක් මෙන් රජු සමග ක්රීඩාවෙහි ද යෙදෙයි.
බරණැස් රජුට හිතවත් ‘අග්ග’ නම් ගාන්ධර්වයෙක් විය. ‘සිය දේවිය කොහි ගියා දැ’යි, සොයමින් සිටි රජතුමා, දිනක් ඉහත කී ගාන්ධර්වයාට කථාකොට, ‘පුත, යන්න. සියලු ගොඩබිමත් සයුරත් වෙනත් ජලය ඇති ස්ථානත් සොයා බලා, ‘දේවිය කොහි සිටීදැ’යි මට දන්වන්න’ යැයි කියා ඔහු පිටත්කොට යැවීය. රජුගෙන් අවසර ගත් ගාන්ධර්වයා ගමනට අවශ්ය සියලු දේ සපයාගෙන, වාසල්දොරටුවේ පටන් සොයමින් ගොස්, ‘භාරු කච්ඡ’ නම් ස්ථානයට පැමිණුනේය. භාරු කච්ඡ යනු වරායකි. එහි සිට නිතර වෙළෙන්දෝ නැව්වලින් ස්වර්ණ භූමියට, එනම් බුරුම දේශයට යති. වරායෙහි සිටි වෙළෙඳුන් වෙත පැමිණි අග්ග, ‘වෙළෙඳුනි, මම ගාන්ධර්වයෙක් වෙමි. මා ද ඔබේ ගමනට සම්බන්ධ කරගනු මැනවි. මම ඔබට සංගීතය සපයන්නෙමි. එබැවින් මාගෙන් මුදල් අය නොකරනු මැනවැ’යි කීය. ඊට එකඟ වූ වෙළෙන්දෝ අග්ගද නැවට නංවාගෙන, නැව දියත් කළහ. වෙළෙන්දෝ නැවෙන් සැප සේ ගමන් කරන අතරේදී, අග්ගට කථා කොට ‘ගාන්ධර්වය, අපට සංගීතය පවත්වනු මැනවැ’යි කීහ. ‘හිතවතුනි, මට සංගීතය දැක්විය හැකිය. එහෙත් සංගීතයට මාලු කැළඹෙති. එසේ වුවහොත් නුඹලාගේ මේ නැව බිඳී යන්නට බැරි නැතැ’යි, අග්ග පැවසීය. මේ අදහස නොපිළිගත් වෙළෙන්දෝ ‘තනි මිනිසකුගේ සංගීතයට මාලුවෝ නොකැළඹෙති. අපට සංගීතය දක්වනු මැනවැ’යි කීහ. ‘එසේ නම් මා හා අමනාප නොවනු මැනවැ’යි කී අග්ග තම වීණාව ඉවතට ගෙන එය සුසර කොට, වීණා නාදයත් ගීත ගායනයත් එකින් එක අභිබවා නොයන පරිද්දෙන් සමව සංගීත ප්රසංගය ඇරඹීය. එයින් මත් වූ මාලු රැළ මහත් සේ කලබල කරන්නට පටන් ගත්හ.
ඒ අතර සිටි දැවැන්ත මෝරෙක් කරණමක් ගසා නැවට පැන්නේය. එයින්ම නැව බිඳී ගියේය. සුන් වූ නැවෙන් වක් වූ ලෑල්ලක් හසුකොට ගත් අග්ග, එය ආධාර කොටගෙන ලෑල්ල සුළඟට යොමු කරමින් කෙසේ හෝ නාගදීපයට ළඟාවිය. එහි ඒ මේ අත ඇවිදින අග්ග, ගුරුළු භවනය පිහිටා තිබූ විශාල නුග ගස සමීපයට පැමිණුනේය. සුසන්ධි දේවිය ද, ගුරුළු රජු භවනයෙන් බැහැර වූ අවස්ථාවල දී වෙරළෙහි ඇවිදින්නට යයි. එසේ විමානයෙන් බැස ඇවිදින ඇවිදින ඇයට අග්ගයා මුණගැසිණි. දුටු පමණින් වහා හඳුනා ගත් ඇය, ඔහු වෙත ගොස් ‘ඔබ මෙහි කෙසේ පැමිණියෙහිදැ’යි ඇසුවාය. අග්ග සියලු විස්තර මුලපටන් ඇයට කීවේය. ‘එසේ නම්, ඔබ බිය නොවන්න. මම ඔබට පිහිට වන්නෙමි’යි කී දේවිය, ඔහු අස්වසා ඔහුගේ දෑත් වැළඳගෙන, විමානයට කැඳවාගෙන ගොස්, යහන මත ඔහු සතපවා විඩා හරින්නට සලස්වා පසුව දිව්යභෝජන අනුභව කරවා දිවසුවඳ මුසු ජලයෙන් නහවා, දිවසලු හඳවා දිව්යමය සුවඳින් හා මලින් සරසා, දිව යහනක නිදන්නට සැලැස්වූවාය. මේ අයුරින් අග්ගයා පෝෂණය කළ සුසන්ධි රාජදේවිය, ගුරුළු රජු පැමිණෙන අවස්ථාවලදී අග්ගයා සඟවා තබන්නටත්, ගුරුළු රජු බැහැර ගිය කල්හි, සැඟවූ තැනින් එළියට ගෙන, ඔහු හා විනෝදයෙන් කෙළිදෙලෙන් කල් ගෙවමින්, අඹුසැමියන් ලෙස ජීවත්වන්නටත් පටන් ගත්තාය. මෙයින් මාස එකහමාරකට පමණ පසුව, බරණැස් නුවර වැසි වෙළෙඳ පිරිසක් දර හා වතුර අවශ්යතාවක් නිසා, ඔවුන්ගේ නැවෙන් නාගදීපයට ගොඩබැස්සාහුය. ගුරුළු විමානය සහිත නුගගස සමීපයෙහි හැසිරුණු ඔවන් දුටු අග්ග, ඔවුන් හා කථාකොට මිතුරුව, ඔවුන් සමග එම නැවෙන් බරණැස් නුවරට පැමිණියේය. බරණැසට පැමිණි වහාම රජු හමුවට ගිය අග්ගට, පෙර පරිද්දෙන්ම දූකෙළියෙහි යෙදී සිටින රජවරුන් දෙදෙනා දැකගත හැකිවිය. වීණාවක් රැගෙන ඔවුන් සමීපයට ගිය අග්ග, ඔවුන්ට සංගීත රසය ලබාදෙන අයුරෙන් මෙසේ ගායනා කෙළේය.