8. චුල්ලධම්මපාල ජාතකය (358)
‘අහමෙව ලුසියා භුනහතා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සේක්, දෙව්දතුන්ගේ නපුරු ක්‍රියාවක් නිමිති කොටගෙන වදාළ සේක. වෙනත් ජාතක කථාවල දෙව්දත් තෙමේ බෝසතුන්ට තැති ගැනීම් මාත්‍රයක්වත්, ඇති කිරීමට සමත් නොවීය. එහෙත් මේ චුල්ල ධර්මපාල ජාතකයෙහි වනාහි මාස හතක් වයසැති බෝසතුන්ගේ අත්-පා සහ හිස ද, සිඳුවා ‘අසිමාලක’ බවට පත් කෙළේය. ‘දද්දර’ ජාතකයෙහිදී බෝසතුන්ගේ බෙල්ල අඹරවා මරවා මස් ගෙන උඳුනෙහි පිස කෑවේය. ‘ක්‍ෂාන්තිවාදී’ ජාතකයෙහි දී බෝසතුන්ට කසපහර දෙදහසකින් කළවා, අත්-පා-කන්-නාසා කප්පවා ජටාවෙන් ඇද, උඩුබැලි අතට පෙරළා පපුවට පයින් ඇන යන්නට ගියේය. බෝසත් තෙමේ එදාම මරණයට පත්විය. ‘චුල්ල නන්දිය’ ජාතකයේදී ද ‘මහාකපි’ ජාතකයේදී ද, දෙව්දත් බෝසතුන් මරණයට පත් කෙළේය. මෙසේ දෙව්දත් බොහෝකලෙක සිටම බෝසතුන්ට වද දෙමින් අවුත් බුද්ධ කාලයේදී ද, වද දීමට උත්සාහ කෙළේමය. දිනක් දම් සභාවෙහි රැස් වූ භික්‍ෂූහු ‘ඇවැත්නි, දෙව්දත් තෙමේ බුදුරදුන් මැරීම සඳහා විවිධ උපක්‍රම යොදයි. විටෙක ඒ සඳහා දුනුවායන් යෙදවීය. තවත් විටෙක ගල් පෙරළුවේය. රා පොවා නාලාගිරි ඇතු බුදුරදුන් ඉදිරියට මෙහෙයවී යැ’යි මේ ආදි කථාවන් කරමින් හුන්හ. එවිට එතැනට පැමිණි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් සාකච්ඡා කළ කරුණු ඔවුන්ගෙන් අසා දැන, ‘මහණෙනි, දැන් පමණක් නොව, දෙව්දත් පෙර ද මට වද දීමට උත්සාහ කෙළේමය. එහෙත් මේ භවයේදී මට තැති ගැනීම් මාත්‍රයක්වත් ඇති කිරීමට ඔහු අපොහොසත් විය. එසේ වූ නමුත්, පෙර දෙව්දත් තෙමේ සිය පුතු වන මා ජීවිතක්‍ෂයට පත්කොට ‘අසිමාලක’ තත්ත්වයට ද පත් කෙලේ යැයි මේ අතීත කතාපුවත දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර ‘මහා ප්‍රතාප’ නම් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ රජුගේ අගමෙහෙසිය වන ‘චන්ද්‍රා’ දේවියගේ කුසෙහි ඉපිද ‘ධර්මපාල’ නමින් ප්‍රකට විය. රාජදේවිය සත්මසක් වූ කුමරු සුවඳ දියෙන් නහවා අලංකාරකොට, නළවමින් සිටියාය. මේ අතර දේවිය සිටි යහන්ගැබට රජතුමා පිවිසියේය. දුරු සෙනෙහසින් ඉපිල සිටි රාජදේවිය පුතු නළවමින් හුන් අතර, රජු දුටු නමුත් හුන් තැනින් නොනැගිට්ටාය. මෙය දැඩි සේ සිතට ගත් රජතුමා ‘මැය දැනට ම පුතා නිසා මානයක් උපදවාගෙන සිටින බව පෙනේ. ඇය මා තඹේකට ගණන් නො ගත්තාය. පුතා ළදරු කළ මෙසේ නම්, වැඩුණු කල මා මනුෂ්‍යයෙකු ලෙසවත් ගණන් නොගනු ඇත. එබැවින් දැන්මම මේ කුමරා මරවන්නෙමි’යි සිතුවේය. වහා ආපසු හැරුණු රජතුමා ඉක්මණින් රාජ සභාවට ගොස් සිංහාසනය මත හිඳ වධකයා කැඳවීය. කසාවත් වස්ත්‍ර හැඳ රතු පැහැති මල්දමක් ගෙල පැළඳ කෙටේරියක් උරෙහි එල්ලාගෙන, දංගෙඩියක්ද අත්-පා කැපීමට ආධාර කොටගන්නා දණ්ඩක් ද රැගෙන රජු ඉදිරියෙහි පෙනී සිටි වධකයා, ‘දේවයන් වහන්ස, කුමක් කළ යුතුදැ’යි ඇසීය. ‘වධකය, වහා දේවියගේ සිරියහන් ගැබට ගොස් ධර්මපාල කුමාරයා මෙහි ගෙනෙව’යි රජතුමා නියෝග කෙළේය. මේ අතර රාජදේවිය රජු කිපී ආපසු හැරී ගිය බව තේරුම් ගෙන බියට පත්ව, බෝසතුන් පපුවට තුරුලු කොටගෙන හඬමින් හුන්නාය. රජුගේ අණ පිළිගත් වධකයා වහා ගොස් දේවියට පිටි අතින් පහරක් ගසා, ඇගේ අතින් දරුවා ඇදගෙන විත් රජු ඉදිරියට පමුණුවා ‘දේවයන් වහන්ස, දැන් කුමක් කරම්දැ’යි ඇසීය. අනතුරුව එක් මේසයක් එතැනට ගෙන්වූ රජා, එය තමන් ඉදිරියෙහි තබවා, ඒ මත දරුවා හොවන්නට අණ කෙළේය. වධකයා සියල්ල කී අයුරෙන්ම කෙළේය.
චන්ද්‍රා දේවිය දරුවා පසුපස වැලපෙමින් පැමිණියාය. ඉක්බිති වධකයා ‘දේවයිනි, දැන් කුමක් කරම්දැ’යි ඇසීය. ‘ධර්මපාලගේ දෙඅත් කපව’යි රජ කීය. මේ අසා සිටි චන්ද්‍රා දේවිය ‘මහරජතුමනි, මගේ පුතා සත්මස් වියැති ළදරුවෙකි. ඔහු කිසිත් නොදනී. මෙය ඔහුගේ වරදක් නොවේ. විශාල වරදක් වුවත් ඊට වගකිව යුත්තේ මා යි. එබැවින් දරුවා වෙනුවට මගේ අත්දෙක සිඳවනු මැනවැ’යි කියමින් මේ ගාථාව ප්‍රකාශ කළාය. කිසිත් නොදනී. මෙය ඔහුගේ වරදක් නොවේ. විශාල වරදක් වුවත් ඊට වගකිව යුත්තේ මා යි. එබැවින් දරුවා වෙනුවට මගේ අත්දෙක සිඳවනු මැනවැ’යි කියමින් මේ ගාථාව ප්‍රකාශ කළාය.
අහමෙව දුසියා භූනභතා රඤ්ඤො මහා පතාපස්ස,
එතං මුඤ්චතු ධම්මපාලං හත්‍ථෙ මෙ දෙවෙ ඡෙදෙහී ති
දේවයිනි, මහාප්‍රතාප රජු වන ඔබතුමාට වරද කෙළේ, අයහපත කෙළේ මම ම ය. මේ ධර්මපාල කුමරුන් මුදනු මැනවි. මගේ අත් සිඳවනු මැනවි.
මෙහි ‘දූසියා’ යනු වරදකාරියයි. එනම් ‘ඔබතුමා දැක නැගී නො සිටීමෙන් වරදක් කළ තැනැත්තිය’ යන අර්ථයි. මීට ‘දූසිකා’ යනුවෙන් ද පාඨයක් ඇත. එහි අර්ථය ඉහත දැක්වූ අර්ථය ම ය. ‘භූනහතා’ යනු ‘අයහපත සිදුකළ’ යන අර්ථයි. මෙහි ‘රඤ්ඤො’ යන පදය ‘දූසියා’ යන වචනය හා යෙදිය යුතුය. මහා ප්‍රතාප රජුට අපරාධ කළ තැනැත්තිය මම වෙමි. මේ කුමරා නොවේ. එබැවින් නිවැරදිකරු වූ මේ ළපටි ධර්මාපල කුමරු මුදවනු මැනව. අත්-පා කපනු කැමැති නම් වැරැදිකාරය වන මගේ අත්-පා කපනු’ යන්න මෙහි අර්ථය යි.
මෙය අසා සිටි වධකයා, තමා දෙස බලා සිටින රජුගෙන් ‘දේවයන් වහන්ස, දැන් කුමක් කරම්දැ’යි ඇසීය. ‘වධකය, පමා නොවී කුමරාගේ අත්දෙක කපව’යි රජතුමා නැවත ද අණ කෙළේය. එවිට වධකයා සිය තියුණු කෙටේරිය ගෙන ළදරු කුමරාගේ උණගොබ වැනි ළපටි දෙඅත් කපා හෙළීය. ළදරුවා තම දෙඅත් කපන කල්හි නොහැඬුවේය. නොවැලපුණේය. ක්‍ෂාන්තිය හා මෛත්‍රිය පෙරටු කොටගෙන සියල්ල ඉවසීය. කැපී වැටුණු අත් කැබැලි උකුලෙහි හොවාගත් රාජදේවිය ලෙයින් නැහැවී සිරුර ඇතිව වැලපෙමින්, ඒ මේ අතර ඇවිද්දාය. නැවත රජු දෙසට හැරුණු වධකයා, ‘දේවයිනි, දැන් කුමක් කරම්දැ’යි ඇසීය. ‘කකුල් දෙක ද කපව’යි රජතුමා අණ කෙළේය. ඒ ඇසූ දේවිය මෙසේ කීවාය.
2. දේවයිනි, මහා ප්‍රතාප රජුනි, ඔබතුමාට වරද කෙළේ, අයහපත කෙළේ මම ම ය. මේ ධර්මපාල කුමරුන් මුදනු මැනවි. ඒ වෙනුවට මගේ පා කප්පවනු මැනවි.
[missing trans]
[missing trans] කකුල් කෙටි තුරුලු කොටගත් චන්ද්‍රා දේවිය වැලපෙමින් ‘ස්වාමීනි, මහා ප්‍රතාප රජතුමනි, මින් පෙර දඬුවම් වශයෙන් ඔබතුමා විසින් අත්-පා කප්පවන ලද දරුවන්, ඔවුන්ගේ මෑණිවරු ගෙන ගොස්, පෝෂණය කරති. එබැවින් ස්වාමීනි, මම කුලීවැඩ කොට හෝ මගේ පුතා පෝෂණය කරන්නෙමි. මට මගේ දරුවා දෙනු මැනවැ’යි කීවාය. එවිට වධකයා ‘දේවයිනි, කී දෙය කෙළෙමි. මගේ වැඩ අවසන් දැ’යි ඇසීය. ‘තව ම අවසන් නැත. ‘දැන් කුමක් කරම්ද?’ ‘මොහුගේ හිස සිඳලව’ රජුගේ මේ නියෝග ඇසූ සැණින් දේවිය මෙසේ කීවාය.
3. දේවයිනි, මහා ප්‍රතාප රජ වන ඔබතුමාට වරද කෙළේ, අයහපත කෙළේ මම ම ය. මේ ධර්මපාල කුමරුන් මුදනු මැනවි. ඒ වෙනුවට මගේ හිස කප්පවනු මැනවි.