6. කාරණ්ඩිය ජාතකය (356)
‘එකො අරඤ්ඤෙ’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක්, දම් සෙනෙවි සැරියුත් තෙරුන් අරබයා වදාළ සේක. සැරියුත් තෙරණුවෝ වනාහි තමන් වහන්සේ වෙතට පැමිණි මුව වැද්දන්, මාලු මරන්නන් ඇතුලු දුටු දුටු අයට ‘තෙපි සිල් ගනිවු’ යැයි කියමින් ඔවුන්ට සිල් දෙති. තෙරණුවන්ට ඇති ගෞරවය නිසාත්, උන්වහන්සේගේ වචනය ප්‍රතික්‍ෂේප කිරීමට නොකැමති නිසාත්, ඒ උදවිය සිල් ගනිති. එහෙත් සිල් ආරක්‍ෂා නොකොට තම තමන්ගේ පුරුදු කටයුතුවල ම නිරත වෙති. තෙරණුවෝ තම සද්ධි විහාරික භික්‍ෂූන් අමතා ‘ඇවැත්නි, මේ මිනිස්සු මා වෙතින් සිල් ගත්හ. එහෙත් ‘ගත් සිල් නොරකිති’යි කීහ. එවිට භික්‍ෂූහු ‘ස්වාමීනි, අකැමැති අයට සිල් නොදෙනු මැනවි. ඔවුහු ඔබවහන්සේගේ කථාව ඉක්මවා යන්නට නොකැමැති නිසා, සිල් ගනිති. එබැවින් මෙතැන් පටන් එවැනි අයට සිල් නොදෙනු මැනවැ’යි ඉල්ලා සිටියහ. මෙයින් සැරියුත් තෙරණුවෝ නොසතුටු සිත් ඇත්තෝ වූහ. දම් සභාවෙහි දී භික්‍ෂූහු මේ ගැන සාකච්ඡා කරමින් හුන්හ. ඒ අතර එතැනට වැඩි බුදුහු භික්‍ෂූන්ගෙන් සාකච්ඡා කරමින් හුන් කරුණු ගැන අසා දැන, ‘මහණෙනි, සැරියුත් තෙර මෙබඳු දෑ දැන් පමණක් නොව, පෙර ද කෙළේ යැ’යි වදාරා, මේ අතීත කථාපුවත ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ බමුණු කුලයක ඉපිද නිසිවියට එළඹ, තක්ෂිලාවේ දිසාපාමොක් ඇදුරුතුමාගේ ප්‍රධාන අන්තේවාසිකයා විය. ‘කාරණ්ඩිය’ යනු බෝසතුන්ගේ එකල නාමය’යි. දිසාපාමොක් ඇදුරුතුමා කෙවුල් ආදී වූ දුටු දුටු අයට ඔවුන්ගේ ඉල්ලීමකින් තොරවම, ‘සිල් ගනිවු, සිල් ගනිවු’ යැයි කියමින් ඔවුන්ට සිල් දෙති. ඔවුහු ද සිල් ගත්තත් ආරක්ෂා නොකෙරෙති. ඇදුරුතුමා මේ බව සිය ගෝලයන්ට කීය. එවිට ගෝලයෝ ‘ස්වාමීනි, ඔබතුමා ඔවුන්ගේ අකමැත්ත පිට සිල්දෙයි. ඔවුන් සිල් බිඳින්නේ ඒ නිසාවෙනි. එබැවින් අද පටන් ඉල්ලා සිටින අයට පමණක් සිල් දෙනු මැනවි. නොඉල්ලන අයට නොදෙනු මැනවැ’යි කීහ. මේ කථාවෙන් ගුරුවරයාගේ සිත කලකිරුණේය. එසේ වුවත්, දුටු දුටු අයට සිල් දෙන එක නැවැත්තුවේ නැත.
එක්දිනක් කිසියම් ගමකින් ඇදුරුතුමා වෙත පැමිණි මිනිස්සු කණ්ඩායමක් බ්‍රාහ්මණ පාඨ කියවා ගැනීම සඳහා ආරාධනා කළහ. එවිට ඇදුරුතුමා කාරණ්ඩිය නම් වූ සිය ප්‍රධාන ගෝලයා කැඳවා ‘පුත, බ්‍රාහ්මණ පාඨ කියවන ගෙදරට යන්නට මට ඉඩයක් නැත. නුඹ මේ පන්සියයක් මානවකයන් රැගෙන එහි ගොස්, ගිය කාරිය නිමවා නුඹලාට ලැබෙන දෑ ද, අපට දෙන්නට කියා දුන් දෑ ද, රැගෙන එව’යි කීය. මෙසේ සිය ගුරුවරයාගේ නියෝගය අනුව පිරිස ද කැටුව පිටත්ව ගිය කාරණ්ඩිය මානවකයා, ගිය කටයුතු නිමවා ආපසු එන ගමනේ දී, එක් දිය කඳුරක් දැක ‘අපේ ගුරුතුමා ඉල්ලීමකින් තොරව දුටු දුටු අයට සිල් දෙයි. එහෙත් අද පටන් ඉල්ලන අයට පමණක් සිල් දෙන්නට වැඩ සලස්වන්නෙමි’යි සිතා, සුවසේ වාඩිවී හුන් සිය මිතුරු පිරිස අතරින් නැගිට ගොස් විශාල ගල්ගෙඩියක් ඔසවා දියකඳුරට විසිකෙළේය. නැවත නැවතත් නො නවත්වා මේ ක්‍රියාව දිගටම කරගෙන ගියේය. මේ දුටු සෙසු මානවකයෝ ‘ඇදුරුතුමනි, ඔබ මේ කුමක් කෙරෙහිදැ’යි දෙටු ශිෂ්‍ය නායකයාගෙන් විමසූහ. ඔහු ඊට කිසිදු උත්තරයක් නොදුන්නේය. එවිට ශිෂ්‍ය පිරිස වහා ගොස්, දිසාපාමොක් ඇදුරුතුමා හමුවී, සියලු විස්තර එතුමාට දැනුම් දී, එතුමන් සමග කාරණ්ඩිය ගල විසිකරන තැනට පැමිණියහ. දිසාපාමොක් ඇදුරුතුමා වහා කාරණ්ඩිය වෙත ගොස්, ඔහුට කථා කරමින් මෙසේ පැවසීය.
එකො අරඤ්ඤෙ ගිරිකන්‍දරායං, පග්ගය්හ පග්ගය්හ සීලං පවෙජ්ඣසී,
පුනප්පුනං සන්තරමානරූපො, කාරණ්ඩිය කොනු තවයිධත්‍ථො ති,
කාරණ්ඩිය, නුඹ කැලයෙහි තනිවම ගල් රැගෙන ගිරි කඳුරට විසිකරහි. මෙය වහ වහා නැවත නැවත කරන බව පෙනේ. මෙයින් නුඹට ඇති ප්‍රයෝජනය කවරේද?
මෙහි ‘කොනු තවයිධත්‍ථො’ යනු ‘ගිරි කඳුරට ගල් විසිකිරීමෙන් නුඹට ඇති ප්‍රයෝජනය කවරේද?’ යන අර්ථයි.
ඒ අසා සිටි කාරණ්ඩිය, ගුරුවරයාට එතුමාගේ අඩුපාඩු පෙන්වා දෙන අටියෙන් මෙසේ කීය.
2. මම වනාහි සයුර විසින් සේවනය කරන ලද මේ පොළොව, කඳු හා පර්වත ද, බිඳහෙළා අත්ල මෙන් සම කරන්නෙමි. එම නිසා ගිරිකඳුරට ගල් විසි කරමි.
මෙහි ‘අහංහිමං’ යනු ‘මම වනාහි මේ මහපොළොව’ යන අර්ථයි. ‘සාගරසෙවිතන්නං’ යනු ‘සිව් සයුරු කෙළවර කොට ඇති සාගරයන් විසින් සෙව්නා ලද’, යන අර්ථයි. ‘යථාපිපාණි’ යනු ‘අත්ල මෙන් සම කරන්නෙමි’, යන අර්ථයි. ‘විකිරිය’ යනු ‘බිඳ හෙළා’ යන අර්ථයි. ‘සානුනි ච පබ්බතානි ච’ යනු ‘පස්කඳු හා ගල් පර්වත’ යන අර්ථයි.
කාරණ්ඩියගේ මේ පිළිතුර අසා සිටි දිසාපාමොක් ඇදුරුතුමා නැවත මෙසේ කීවේය.
3. කාරණ්ඩිය, මිනිසෙක් තනිව ම මේ මහපොළොව අත්ල මෙන් සම කිරීමට ප්‍රමාණවත් නොවේ. දැදුර වෙනුවෙන් ගන්නා මේ උත්සාහයටම, ජීව ලෝකය අත්හරින්නට සිදුවේයැයි හඟිමි.
මෙහි ‘කරණායමෙකො’ යනු ‘තනිව සිදු කිරීමයි. එසේ කිරීමට නොහැකි වේ යැයි දක්වයි. ‘මඤ්ඤාමිමඤ්ඤෙව දරිං ජිංගිසං’ යනු ‘පොළොව තිබුණාවේ, මේ එකම කඳුරැළිය පිරවීමට දරන වෙහෙස වෙනුවෙන් උත්සාහ කිරීමෙන්, එනම් ගල් සොයමින්, උපායයන් සිතමින්ම ඔබ මේ ජීව ලෝකය අත්හරින්නෙහිය. මරණයට පත්වන්නෙහිය’ යන අර්ථයි.
මේ කථාව අසා සිටි කාරණ්ඩිය මානවකයා මෙසේ පැවසීය.
4. බ්‍රාහ්මණතුමනි, ඉදින් මේ එක මිනිසෙක් පොළොව සම කිරීමට සමත් නොවේද? එපරිද්දෙන් ඔබ ද නානා දෘෂ්ටිගත ඒ මේ මිනිසුන් ග්‍රහණයට නොගන්නෙහිය.