5. ඝත ජාතකය (355)
‘අඤ්ඤෙ සොවන්ති රොදන්ති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, කොසොල් රජුගේ එක් ඇමතියකු අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාපුවත කලින් දක්වන ලද්දකි. එම කථාවට අනුව රජතුමා, තමාට උපකාරී වූ ඇමතිවරයාට මහත් යස-ඉසුරු දී පසුව කේලමුන්ගේ වචන පිළිගෙන ඒ ඇමතිවරයා බන්ධනාගාරගත කරවීය. සිරගෙදර සිටියත්, ඉහත කී ඇමැතිවරයා එකදිගට හිඳගෙන භාවනාකොට, සෝවාන් මාර්ගය ඉපිදවීය. රජතුමා ඔහුගේ ගුණයා හා තත්ත්වය ගැන සලකා බන්ධනාගාරයෙන් ඔහු නිදහස් කෙළේය. නිදහස ලැබූ ඔහු මල්-සුවඳ ආදිය ගෙන බුදුරදුන් හමුවට ගොස්, උන්වහන්සේට නමස්කාර කොට, හිඳ ගත්තේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ ‘ඔබට කරදරයක් වූයේ නොවේ දැ’යි, ඇසූ සේක. ‘ස්වාමීනි, එසේය, නමුත් එයින් මට යහපතක් සිදුවිය. මම එහිදී සෝවාන් මාර්ගය උපදවා ගතිමි.’ ‘උපාසකය, විපතින් සැපතක් උපදවා ගත්තේ ඔබ පමණක් නොවේ. පෙර පඬිවරු පවා එසේ කළහ’යි, දේශනාකොට වදාළ බුදුහු, ඇමැතිවරයාගේ අයැදුමින් මේ අතීත කථාව දේශනා කළහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමෙ අග මෙහෙසියගේ කුසෙහි රජුට පුත්ව උපන්නේය. ඔහු ‘ඝත’ කුමාරයා යැයි ප්‍රසිද්ධ විය. මේ කුමරා පසුකලෙක තක්ෂිලාවට ගොස් ශිල්ප උගෙන, සිය පියාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්විය. දැහැමින් රාජ්‍යය විචාළ ඔහුගේ රාජ සභාවට අයත්, එක් ඇමැතිවරයෙක් කිසියම් ද්‍රෝහී ක්‍රියාවක් කෙළේය. ඔහු ගැනත් ඔහුගේ ක්‍රියාව ගැනත් විමසා, මැනවින් අවබෝධ කොටගත් රජතුමා, ඔහු රටින් පිටුවහල් කෙළේය. මෙකල සැවැත්නුවර ‘ධංක’ නම් රජෙක් රාජ්‍යය කරවීය. නෙරපන ලද ඇමැතිවරයා ‘ධංක’ රජුගේ ළඟට ගොස්, ඔහු පහදවාගෙන එහි සේවය කරන්නට පටන් ගත්තේය. බරණැස් රජු ගැන ගතු කේලාම් කියා, බරණැස් රාජ්‍යය ආක්‍රමණය කිරීමට ධංක රජු කැමති කරවා ගත් මේ ද්‍රෝශී ඇමැතිවරයා ටික කලකින්ම, බරණැස් රජු අල්ලා යටත්කොට ගෙන, රාජ්‍යය ද පැහැරගෙන බෝසත් රජුට මාංචු දමා, බන්ධනාගාරගත කරවීය. එහිදී බෝසත් රජතුමා භාවනාකොට ධ්‍යාන උපදවා ගෙන අහසෙහි පලක් බැඳ වාඩිවී හුන්නේය. මෙය දුටු ධංක රජුගේ ඇඟ පුරා දැවිල්ලක් ඇතිවිය. බෝසතුන්ගේ ඉදිරියට ගිය ධංක රජතුමා රන් කැඩපතෙක තබන ලද පිපුණු රත් පියුමක් වැනි වූ බෝසත් රජුගේ මුහුණ බලා එතුමාගෙන් මෙසේ ප්‍රශ්න කෙළේය.
අඤ්ඤෙ සොචන්ති රොදන්ති - අඤ්ඤෙ අස්සුඛොජනා,
පසණ්ණ මුඛ වණ්ණෙසි - තස්මා පවිත න සොචසීති
ඝත රජතුමනි, වෙනත් අය (මෙවැනි අවස්ථාවන්හි ද) ශෝක කෙරෙති. හඬති. තවත් අය කඳුළු පිරි මුහුණින් කල් ගෙවති. ඔබගේ මුහුණේ ස්වභාවය ප්‍රසන්නය. කුමක් නිසා ශෝක නොකරහිද?
මෙහි ‘අඤ්ඤෙ’ යනු ‘ඔබ හැර සෙසු මිනිස්සු’ යන අර්ථයි.
මීට පිළිතුරු සපයන බෝසත් රජතුමා, ශෝක නොකිරීමේ හේතු මෙසේ දැක්වීය.
2. ධංක රජතුමනි, ශෝකය වූ කලී, නැති වූ දෙය නැවත ලබාදෙන්නක් නොවේ. තමා වෙත නොපැමිණි සැපයක්, ළඟාකොට දෙන්නක් ද නොවේ. ශෝකයෙහි සහායක බවක් නැත. එබැවින් ශෝක නොකරමි.
3. ශෝක කරන්නා පඬු පැහැ වේ. ඔහුට ආහාර රුචිය ද නැතිවේ. ශෝක නමැති හුලෙන් පීඩාවට පත් ඔහු ගැන, සතුරෝ සතුටු වෙති.
4. ගමේ හෝ කැලයේ හෝ, බෑවුමක හෝ සමතලා බිමක හෝ සිටි මා වෙතට ඉහත කී විපත් නොපැමිණේද? එවැනි උසස් තැනකට මම පත්වීමි.
5. යමකුගේ හුදු ආත්මය, සියලු කැමැති රසයන් ගෙනදීමට ප්‍රමාණවත් නොවේද? මුළු පොළොවද, ඔහුට සැප ගෙන නොදේ.
මෙහි ‘නාබ්භතීතහරො’ යනු ‘නැති වූ දෙය ලබාදෙන්නක් නොවේ’ යන අර්ථයි. ‘නාබ්භතීතාහරො’ යනුවෙන් ද පාඨයක් ඇත. ශෝකය නම්, නැති වූ දෙය, ඉක්මගිය දෙය, නිරුද්ධ වූ අස්ථංගත වූ දෙය, නැවත ළංකොට නොදේ. ‘දුතීයතා’ යනු සහාය බවක්, එනම් නැති වූවක් ලබාදීමට හෝ, නො පැමිණි යමක් පමුණුවාලීමට හෝ, ශෝකය කිසිවකුට සහාය නොවෙයි. ඒ කරුණ නිසා මම ශෝක නොකරමි’යි, කියයි. ‘සොචං’ යනු ‘ශෝක කරන්නා’ ය. ‘සල්ලවිද්ධස්ස රුප්පතො’ යනු ‘ශෝක හුලෙන් පීඩාවට පත් තැනැත්තා ගැන, එයින් පෙළෙන්නා ගැන ඔහුගේ සතුරෝ, ‘අපගේ පසමිතුරා පිටුදැක්කෙමු’යි සතුටු වෙති’ යන අර්ථයි.
‘ඨිතං මං නාගමිස්සති’ යනු ‘යහලු ධංක රජතුමනි, මේ ගම් ආදී වූ යම්කිසි තැනෙක සිටියා වූ මා කරා, පඬුපැහැ ගැන්වීමක් හෝ, කෙට්ටු වීමක් හෝ මේ ආදී වූ ශෝකය මුල්කොට ගත් විපතක් නොපැමිණෙන්නේය න අර්ථයි. ‘එවං දිට්ඨ පදො’ යනු ‘යම් සේ එබඳු විපතක් නොපැමිණෙන්නේද? එලෙස මා විසින් ධ්‍යාන වඩන ලදි. ‘මෙය අටලෝ දම් වැඩීමකි’යි ද ඇතමෙක් කියති’ යන අර්ථයි. පෙළෙහි ‘නමත්තං නාගමිස්සති’ යනුවෙන් ගාථා පාදයක් දක්නට ඇතත් අට්ඨකථාවල එබන්දක් නැත. අවසන් ගාථාවෙහි කැමැති වන ලද, පතන ලද, ධ්‍යාන සුඛ සංඛ්‍යාත සියලු කාමරස ලබාදේ යන අර්ථයෙන් ‘සබ්බකාම රසාගරො’ යන්න යොදා ඇත. ඉන් කියන ලද්දේ මෙයයි. එනම් යම් රජකුට අන් යහලුවන් හැර තමාගේ හුදු ආත්මය, සියලු කැමැති රස ලබාදීමට ප්‍රමාණවත් නොවේද? ධ්‍යාන සුඛ සංඛ්‍යාත සියලු කාම රස ලබාදීමට අසමත්ද? ඒ රජුට මුලු පොළොවම ලැබුණත් සැපත ළං නොවේ. කාමයෙන් ආතුර වූ පුද්ගලයාට සැපයක් නම් නැත. යමෙක් වනාහී කෙලෙස් දැවිල්ලෙන් තොර ධ්‍යාන සුවය උපදවා ගැනීමට සමත් වේද? ඒ රජ, සැප ඇත්තෙක් වේ’ යන අර්ථයි. මේ ගාථාවේ ‘යස්සත්‍ථා නාලමෙකොති’ යනුවෙන් ද පාඨයක් ඇතත්, ඊට අර්ථයක් ඇති බවක් නො පෙනේ.