4. උරග ජාතකය (354)
‘උරගොව තචං ජිණ්ණං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර දී, පුතා මළ කෙළෙඹි පුත්රයකු අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව, මීට ඉහත දී දක්වන ලද, බිරිය මළ තැනැත්තාගේ හා පියා මළ තැනැත්තාගේ කථා වස්තු හා සමානය. මේ කථා පුවතේ දීද, බුදුරජාණන් වහන්සේ කලින් දක්වන ලද කථාවල දී මෙන්, කෙළෙඹි පුත්රයාගේ නිවෙසට වැඩ, පනවන ලද අසුනෙහි වැඩහුන් සේක. එහිදී කෙළෙඹි පුත්රයා බුදුරදුන් වෙත පැමිණ උන්වහන්සේට නමස්කාර කොට, එකත්පස්ව හිඳගත්තේය. එවිට බුදුරජාණන් වහන්සේ, ඔහු අමතා ‘කිමෙක්ද ඇවැත්නි, ඔබ ශෝක කරහිදැ’යි ඇසූ සේක. ‘ස්වාමීනි, එසේය. මාගේ පුතා මළ දා පටන් ශෝක කරමි.’ ‘ඇවැත්නි, බිඳෙන දේවල්, කවදා නමුත් බිඳේ. නැසෙන දේවල් ද, කෙසේ හෝ නැසේ. මෙය එකකුට පමණක්, එක ගමකට පමණක් සිදුවන්නක් නොවේ. අප්රමාණ චක්රවාළවල, තුන් භවයන්හි නොමැරෙන, විනාශ නොවන, කිසිවක් නැත. ස්වකීය ස්වභාවයෙන් පවතින්නට හැකියාව ඇති, ස්ථිර වූ එකදු සංස්කාර ධර්මයක් නම් නැත. සියලු සත්ත්වයෝ මරණ ස්වභාවකොට ඇත්තාහ. සංස්කාරයෝ නැසෙනසුලු වෙති. මෙය මැනවින් තේරුම් ගත් පැරැණි පඬිවරු පවා, දරුවන් මළ කල්හි, ‘නැසෙන දේවල්, කවදා නමුත් නැසේ යැ’යි, දැන ශෝක කළාහු යැ’යි, වදාළ බුදුරජාණන් වහන්සේ, කෙළෙඹි පුත්රයාගේ ආරාධනාවෙන්, මේ අතීත කථා ප්රවෘත්තිය ගෙනහැර, දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, බෝසත් තෙමේ බරණැස් නුවර වාසල් දොරටුව සමීපයේ, බමුණු කුලයක ඉපිද යුග දිවියට ඇතුළත්ව, ගොවිතැන් කටයුතු කරමින් ජීවත් වූයේය. ඔහුට පුතෙක් ද දුවක් ද වශයෙන් දරුවෝ දෙදෙනෙකි. සිය පුත්රයා තරුණයකු බවට පත් වූ කල්හි, බෝසත් තෙමේ ඔහුට සමාන කුලයකින් බිරියක ගෙනැවිත්, පාවා දුන්නේය. මෙසේ බෝසතුන්ගේ පවුලේ ජීවත් වූ පිරිස ගෙදර සිටි දාසියත් ඇතුළුව, හයදෙනෙක් වූහ. ඔවුහු සියලු දෙනා ඉතා සතුටින් එකිනෙකාට ප්රියමනාපව, විසූහ. සිරිතක් වශයෙන් බෝසත් තුමා පවුලේ සෙසු අයට, දන් දීමටත් සිල් රැකීමටත් පොහෝ කටයුතු කිරීමටත්, නිතර උපදෙස් දෙයි. ඊට අමතරව, මරණය සියල්ලටම උරුම ධර්මයක් බවත්, ඒ ගැන සලකා, හැකි සෑම විටම ‘මරණානුස්සති’ය වැඩිය යුතු බවත්, ලොව සියලු සතුන්ගේ මරණය ස්ථිර එකක් වන අතර, ජීවිතය අස්ථිර බවත්, තම පවුලේ අයට කියාදුන් බෝසත්තුමා, සියලු සංස්කාර අනිත්ය වන බැවින් ද, ඒවා ගෙවෙන-විනාශවන ස්වභාවයෙන් යුක්ත වන බැවින් ද, ‘සෑම දෙනා දිවා රෑ නො පමා ව කටයුතු කළ යුතුයැ’යි අනුශාසනා කෙළේය. පවුලේ සෙසු උදවිය, බෝසතුන්ගේ අවවාද පිළිගෙන, අප්රමාදීව මරණානුස්සති භාවනාව වඩති.
ඉක්බිති එක් දවසක් බෝසත් තෙමේ, සිය පුතු සමග කුඹුරට ගොස් සීසායි. පියා සීසාන අතරතුර, පුතා, කුණු එකතුකොට ඒවා පුළුස්සන්නට පටන් ගත්තේය. එම ගිනිගොඩට නුදුරෙන් තිබූ, තුඹසක නාගයෙක් ජීවත් වෙයි. දුමෙන් වේදනාවට පත් නයා තරහෙන් කිපී, තුඹසින් නික්ම අවුත් ‘මා වේදනාවට පත්කළ තැනැත්තා මොහු යැ’යි යන හැඟීමෙන්, දළ සතරම වදින සේ බමුණු කුමාරයාට දෂ්ට කෙළේය. එසැණින් ඔහු මැරී වැටුනේය. කරකැවී බිම ඇදවැටුණු සිය පුතා දුටු බෝසත් තෙමේ, වහා ගොනුන් අතහැර දමා පුතු වෙතට දිවැ ගොස් බලා, පුතා මරණයට පත් වී ඇති බව තේරුම් ගෙන, ඔහු සිය දෑතින් ඔසවා ගෙන, කිසියම් ගසක් මුල බිම හොවා, වස්ත්රයකින් වසා දැමීය. බෝසත්තුමා මේ සියල්ල සිදු කළත්, නොහැඬීය. නොවැලපුනේය. බිඳෙන දේවල්, කවදා නමුත් බිඳේ. මැරෙන අය ද මැරෙති. සියලු සංස්කාරයෝ මරණය උරුම කොට ඇත්තාහුයැ’යි යන අනිත්යභාවයම සලකා, නැවත කුඹුර සීසාන්නට පටන් ගත්තේය. කුඹුර සී සාමින් සිටි බෝසත්තුමාට, ඒ අසලින් ගමන් කරන අසල්වැසියකු දක්නට ලැබුණි. ඔහුට කථා කළ, බෝසත් තෙමේ ‘පුතණුවනි, නුඹ අපගේ ගෙවල් පැත්තට යන්නෙහිදැ’යි ඇසීය. ‘එසේය, පියාණෙනි’ ‘එසේ නම්, අපේ ගෙදරට ගොස්, මාගේ බිරිඳ වන බැමිණියට ‘අද කුඹුරට කෑම ගෙනෙනා විට, පෙර මෙන් දෙදෙනෙකුට නොව, එක් අයකුට පමණක් ආහාර ගෙනෙන්නැ’යි කියනු මැනවි. එපමණක් නොව වෙනදා මෙන් කෑම අතට දී, දාසිය පමණක් නොඑවා, සතර දෙනාම සුදුවත් හැඳ, සුවඳ-මල් ගත් අත් ඇතිව, පැමිණෙන්නට කියනු මැනවැ’යි, බෝසත් තෙමේ තම අසල්වැසියාගෙන් ඉල්ලා සිටියේය. අසල්වැසියාද ‘යහපතැ’යි කියා පිළිගෙන බෝසත් බමුණුතුමාගේ ගෙදරට ගොස්, බමුණා කී පරිද්දෙන් ම සියලු දෑ කෙළේය. එවිට බැමිණිය කථා කරමින් ‘පුත, මේ පණිවුඩය නුඹට දුන්නේ කවුදැ’යි ඇසුවාය. ‘උත්තමාවිය, පණිවුඩකරු ඔබේ සැමියා යැ’යි අසල්වැසියා පිළිතුරු දුන්නේය. මෙයින්ම බැමිණිය සිය පුත්රයා මියගිය බව තේරුම් ගත්තාය. නමුත් ඒ ගැන ඇයට කම්පන මාත්රයක්වත්, ඇති නොවීය. මෙසේ වඩනා ලද සිත් ඇති ඇය, සුදුවත් හැඳ සුවඳ මල් ආදිය ගත් අත් ඇතිව, ආහාරද සකසාගෙන සෙසු අය ද කැටුව, කුඹුර වෙත ගියාය. මේ සිව්දෙනා අතුරෙන් අඬන-වැළපෙන එක් අයකුවත්, කිසිවකුට දැකගත නොහැකි විය.
බෝසත් බමුණා සිය පුත්රයාගේ මළසිරුර හොවා ඇති, ගස් සෙවනෙහිම හිඳ, ආහාර අනුභව කෙළේය. ආහාර ගැනීමෙන් අනතුරුව, සියලු දෙනාම එකතු වී දරගොඩ ගසා චිතකයක් සකස්කොට, මළසිරුර එහි තබා, සුවඳ-මල් ආදියෙන් පූජා පවත්වා, සිරුර ආදාහනය කළහ. කිසිදු කෙනකුගේ ඇස්වල එකදු කඳුලු බිංදුවක්වත් නොවීය. ඒ සියලු දෙනාම, මරණානුස්සති භාවනාව පුරුදු පුහුණු කළ අය බැවිනි. මේ අතර මේ පස්දෙනාගේ ශීල තේජසින් සක්දෙවිඳුගේ අසුන රත් විය. ‘සිය අසුන උණු වූයේ කුමක් නිසාද? මා මෙතැනින් පහ කරන්නට උත්සාහ ගනුයේ කවරෙක්දැ’යි විමසන, ශක්රයා ඉහත කී බ්රාහ්මණ පවුලේ ඇත්තන්ගේ සිල් තෙදින්, එසේ වූ බව තේරුම්ගෙන, පැහැදුණු මනසින් යුතුව, ඔවුන් හමුවට යන්නටත්, ඔවුන් ඉදිරියේ ශ්රේෂ්ඨ දේශනාවක් පවත්වන්නටත් පමණක් නොව, ඔවුන්ගේ නිවෙස සත්රුවනින් පුරවන්නටත්, අදිටන් කරගත්තේය. එසේ කිරීම ඉතා යෝග්ය කටයුත්තක් යැ’යි සැලකූ, සක්දෙව් රජ වහා ගොස් ආදාහනය සිදුවන ස්ථානයේ පසෙකට වී බලා සිට, බමුණුතුමා සමීපයට විත් ‘පුත්රයා, ඔබ කුමක් කෙරෙහිදැ’යි ඇසුවේය. ‘ස්වාමීනි, මිනියක් දවමු’යි බමුණා කීය. ‘ඔබ මේ දවන්නේ මිනිසකු නොව ඔබ විසින් මරණ ලද සතකු යැ’යි සිතා සිටියෙමි.’ ‘නැත ස්වාමීනි, මම මිනිසකු ම ආදාහන කරමි.’ ‘එසේ වී නම් මේ ඔබේ තරහකාරයකු විය යුතුය.’ ‘නැත ස්වාමීනි, මේ මගේම අතිජාත පුත්රයා ය.’ ‘එසේ නම් ඔහු අප්රිය පුත්රයකු විය යුතුය.’ ‘නැත ස්වාමීනි, මේ මාගේ ප්රාණ ප්රිය එකම පුතාය’ ‘එසේ නම් ඔබ නොහඬන්නේ මන්ද?’ ‘සක්දෙවිඳුගේ මේ පැනයට පිළිතුරු දෙන බෝසත් බමුණා නොහැඬීමට හේතුව දක්වමින් මෙසේ කීය.
උරගොව තචං ජිණ්ණං භිත්වා ගච්ඡති සංතනුං,
එවං සරීරෙ නිබ්භොගෙ පෙතෙ කාලකතො සති
එවං සරීරෙ නිබ්භොගෙ පෙතෙ කාලකතො සති
දිරූ හැව හැරයන උරගයකු මෙන්, සත්ත්වයා සිය සිරුර හැර යයි. මෙසේ ශරීරයේ ජීවිතින්ද්රිය හැරගිය කල්හි, මෙලොව හළ කල්හි, කලුරිය කළ කල්හි,
ඩය්හමනිනා න ජානාති - ඤාතීනං පරිදෙවිතං,
තස්මා එතං නසොචාමි - ගතො යො තස්ස යාගති
තස්මා එතං නසොචාමි - ගතො යො තස්ස යාගති
සොහොනේ ගින්නෙන් දැවෙන සත්ත්වයා නෑයින්ගේ වැලපීම් ගැන, කිසිත් නො දනී. එබැවින් මොහු ගැන ශෝක නොකරමි. ඔහුගේ ගතිය යම් සේද? එසේ ඔහු ගියේය.
මෙහි ‘සංතනුං’ යනු ‘සිය සිරුර යි’ ‘නිබ්භොගෙ’ යනු ‘ජීවිතින්ද්රිය නැති කල්හි භෝග රහිත කල්හි’, යන අර්ථයි. ‘පෙතෙ’ යනු ‘පරලොවට පෙරළා ගිය කල්හි’, යන අර්ථයි. ‘කාලකතෙ’ යනු ‘වැඩ කළ කාලය අවසන් වූ කල්හි’, යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අදහසයි. එනම් ‘ස්වාමීනි, දිරූ හැව ඉවත දමා, ඒ දෙසවත් නොබලා, ඒ ගැන අපේක්ෂා රහිතව, අත්හැර දමා යන උරගයකු මෙන්, මගේ පුතා සිය සිරුර හැරදමා යයි. ඔහුගේ සිරුරෙහි ජීවිතින්ද්රිය රහිත වූ කල්හි, එනම් නිර්භෝග වූ කල්හි, ඒ මගේ පුතා මෙලොවෙන්, පරලොවට පෙරළා ගිය කල්හි, මළ කල්හි, ඒ ගැන කම්පා වීමෙන් හෝ වැලපීමෙන් කවර ප්රයෝජනයක්ද?’ යන අර්ථයි. ‘උලකින් අනිමින් දවනු ලබන ඔහුගේ සිරුරට, සැප දුක් නො දැනේ. එසේම සිය නෑයින්ගේ වැලපීම් ගැනද, නොදනී. මම, මේ කරුණු අනුව ඔහු ගැන ශෝක නොකරමි. ඔහුගේ ගතිය යම්සේද? ඔහු ඒ අනුව ගියේය’, යන අර්ථයි.
ශක්රයා බෝසතුන්ගේ වචන අසා සිට, බැමිණිය දෙසට හැරී ‘මෑණියනි, මළ තැනැත්තා, ඔබගේ කවුද?’ ‘ස්වාමීනි, දසමසක් කුසේ තබා රැකගත් පසුව, කිරි පොවා, අත්-පා-මුහුණ-කට ආදිය පවා සකසා, හදා වැඩූ මගේම පුතාය.’ ‘මෑණියනි, දරුවාගේ පියා පුරුෂයකු බැවින් නො හැඬුවාවේ. එහෙත් මවු කෙනකුගේ හදවත මෘදුය. එබැවින් ඔබ නොහඬන්නේ කුමක් නිසාද? සක්දෙවිඳුගේ මේ පැනයට පිළිතුරු දෙන බමුණු මාතාව, මෙසේ කීවාය.