3. වෙනසාඛ ජාතකය (353)
‘නයිදං නිච්චං භවිතබ්බං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ‘භග්ග’ රට ‘සුංසුමාර ගිරියෙහි ‘භේසකලා’ වනයෙහි වාසය කරන සේක්, ‘බෝධිරාජ’ කුමාරයා අරබයා වදාළ සේක. ‘උදේන’ රජුගේ පුතා වන බෝධිරාජ කුමාරයා, එකල සුංසුමාර ගිරියෙහි වාසය කෙළේය. එක්දිනක් මැනවින් ශිල්ප හදාළ වඩුවකු තමා වෙතට කැඳවූ ඔහු කිසිම රජ කෙනෙකුට නැති විදිහේ ප්රාසාදයක් තනවා, එය ‘කෝක නද’ නමින් නම් කෙළේය. පහය සෑදීමෙන් අනතුරුව එහි විභූතිය දුටු, බෝධිරාජ කුමාරයා තවත් එවැනි ප්රාසාදයක් ඉදි කෙරේය, යන බියෙන් හා ඊර්ෂ්යාවෙන් වඩුවාගේ ඇස් උපුටා දැම්මවීය. මේ ක්රියාව දින කිහිපයක් ඇතුළත මහා සංඝයා අතර ද ප්රකට විය. දම්සභාවෙහි රැස් වූ භික්ෂූහු, බෝධිරාජ කුමාරයාගේ කර්කශ බව, නපුරුකම, සාහසිකත්වය ගැන කථා කරමින් හුන්හ. එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ගෙන්, සාකච්ඡා කළ කරුණු ගැන අසා දැන, ‘මහණෙනි, බෝධිරාජ කුමාරයා කර්කශ නපුරු සාහසික පුද්ගලයකු වූයේ, දැන් පමණක් නොවේ. පෙර ද ඔහු දරුණු බිහිසුණු පුද්ගලයෙක්ව, රජවරුන් දහසකගේ ඇස් උගුල්ලවා, ඔවුන්ගේම මසින් බිලිපූජා කරවී යැ’යි වදාරා, මේ අතීත කථා පුවත දේශනාකොට වදාළ සේක.**
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, බෝසත් තෙමේ තක්ෂිලාවෙහි දිසාපාමොක් ඇදුරුව, ඉපිද සිටියේය. දඹදිව බොහෝ රාජ කුමාරවරු ද, බමුණු කුමාරවරු ද, එතුමාගෙන් ශිල්ප උගත්හ. ඒ අතර බරණැස් රජුගේ පුත් වූ, බ්රහ්මදත්ත කුමාරයාද ඇදුරිඳු වෙතින්, ත්රිවේදය උගත්තේය. මේ කුමාරයා ස්වභාවයෙන් ම කර්කශ පරුෂ සාහසික පුද්ගලයකු විය. බෝසත් ඇදුරුතුමා අංග විද්යාවට අනුව බලා කුමරාගේ තත්ත්වය ඇති සැටියෙන් තේරුම්ගෙන ‘පුතණුවනි, නුඹ සැබවින්ම කර්කශය. පරුෂය, සාහසිතය. එබන්දකු ගේ ඉසුරුමත් බව වැඩි කලක් නො පවතී. බිඳුණු නැවකට මුහුදේ දී පිහිටක් නැතිවාක් මෙන් යස ඉසුරු අහිමි වූ තැනැත්තාට ද, කිසිදු පිහිටක් නැත. එබැවින් ඔබේ චරිත ලක්ෂණ වහා වෙනස් කරගත යුතු යැ’යි අවවාද කරමින්, මෙසේ ද කීය.
නයිදං නිච්චං භවිතබ්බං බ්රහ්මදත්ත, ඛෙමං සුභික්චං සුඛතාව කායෙ,
අත්ථච්චයෙ මා අහු සම්පමූළ්හො, භින්න පලවො සාගරස්සෙව මජ්ඣෙ
අත්ථච්චයෙ මා අහු සම්පමූළ්හො, භින්න පලවො සාගරස්සෙව මජ්ඣෙ
බ්රහ්මදත්තය, ක්ෂේමභාවය, සුභික්ෂා භාවය, ශරීර සුවතාවය යන මේවා, සැමදා පවතින දේවල් නොවේ. බිඳුන නැවකට මුහුද මැද දී පිහිටක් නැත්තේ යම් සේ ද, වස්තුව අහිමි වූ කල්හි ද, එසේය. එබැවින් මෝඩයෙක් නො වෙව.
යානි කරොති පුරිසො තානි අත්තනි පස්සති,
කල්යාණකාමී කල්යාණං පාපකාරීව පාපකං,
යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙඵලං
කල්යාණකාමී කල්යාණං පාපකාරීව පාපකං,
යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙඵලං
පුරුෂයෙක් යම් දෙයක් කරයි ද, ඔහු ඒවා තමා කෙරෙහිම දකී. යහපත කරන්නා යහපත දකී. අයහපත කරන්නා අයහපත දකී. යම් බඳු බීජයක් වපුරයි ද? එබඳුම ඵලයක් ලබයි.
මෙහි ‘සුඛතා ච කායෙ’ යනු ‘පුත බ්රහ්මදත්තය’, ක්ෂේම යැ’යි කියා හෝ ‘සුභික්ෂ යැ’යි කියා හෝ, කයේ සුව පහසුව කියා හෝ, යමක් වේද? මේ සියල්ල සත්ත්වයන්ට නිරතුරුව හැමකල්හිම, නො ලැබේ. මේවා අනිත්ය බැවින්, නැසෙනසුලුය’ යන අර්ථයි. ‘අත්ථච්චයෙ’ යනු ‘ඒ ඔබ අනිත්යතාවයට අනුව වස්තුව නැති වූ කල්හි, තමාගේ ධනය විනාශ වීමෙන් පසුව, යම් සේ බිඳුන නැවක් ඇති මිනිසෙක් මුහුද මැද දී, පිළිසරණක් නොලැබෙන කල, සිහි එළවා ගත නොහැකි වේද? එසේ සිහි මුළා නොවෙව’, යන අදහසයි. ‘තානි අත්තනි පස්සතී’ යනු ‘ඒ කර්මයන්ගේ විපාක විඳිමින්, ඒවා තමා කෙරෙහිලා බලයි’, යන අර්ථයි.
පසුකලෙක ශිල්ප ඉගෙනීම නිමා කළ බ්රහ්මදත්ත කුමාරයා, සිය ගුරුවරයාට වැඳ අවසර ගෙන, පෙරළා බරණැසට ගොස්, තම පියරජුට ශිල්ප දක්වා, යුවරජු තනතුර ද ලැබ, පසුව පියාගේ ඇවෑමෙන්, රාජ්යත්වයට පත්විය. මේ නව රජතුමාට ‘පිංගිය’ නමින් පුරෝහිතයෙක් විය. ඔහු ද රජු මෙන් ම කර්කශ නපුරු සාහසික පුද්ගලයකු විය. යසඉසුරට ලොල් වූ ඔහු, දිනක් ‘මම මේ රජු ලවා මුළු දඹදිව ම රජවරුන් යටත් කොට, ඔහු මුළු දඹදිව එකම රජු බවට පත් කරන්නෙමි. එවිට මා ද මුළු දඹදිවේ ම, එකම පුරෝහිතයා බවට අත් වේයැ’යි සිතා, තම ‘සිතැඟි රජුට දන්වා සිය මතය ඒත්තු ගැන්වීය. රජතුමා ද, පැකිලීමකින් තොරව එය පිළිගත්තේය. මද කලකට පසු රජතුමා මහත් සේනාවක් ගෙන නික්ම, සමීප රාජ්යයේ රජුද, බලය ද අල්ලා ගත්තේය. අනතුරුව බ්රහ්මදත්ත රජතුමා, දහසක් පමණ වූ යටත් රජවරුන් ද, කැටුව තක්ෂිලා රාජ්යය අල්ලා ගැනීමේ අටියෙන් ඒ නුවර බලා පිටත් විය. බෝසත් ඇදුරුතුමා, ඒ වනවිට තක්ෂිලා නගරය ප්රතිසංස්කරණය කොට, කිසිවකුටත් නොබිඳිය හැකි පරිද්දෙන් ශක්තිමත් කොට තැබුවේය.
මේ අතර බරණැස් රජතුමා ‘ගංගා’ නදිය ඉවුරෙහි, මහත් වූ නුග ගසක් මුල කඳවුරු බැඳ තිරවලින් වට කරවා, උඩුවියන් බඳවා, යහනක් සකසවා, නවාතැන් ගෙන හුන්නේය. දඹදිව සියලු රජුන් ජය ගත්තත්, තක්ෂිලාව යටත්කොට ගැනීමට අපොහොසත් වූ බරණැස් රජතුමා පුරෝහිතයා කැඳවා ‘ඇදුරුතුමනි’, අපි රජවරුන් ඇතුළු විශාල සේනාවක් පිරිවරාගෙන මෙහි පැමිණියත්, තක්ෂිලාව අල්ලා ගැනීමට, නොහැකි වූයෙමු. දැන් කුමක් කළ යුතුදැ’යි ඇසීය. ‘මහරජතුමනි, මේ රජවරුන් සියලු දෙනාගේ ඇස් ගලවා මරණයට පත්කොට, ඔවුන්ගේ බඩවල් පලා පංච මධුර මාංස (සිරුරෙහි පස් තැනෙක පිහිටා ඇති මිහිරි රසැති මස්) ගෙන මේ නුග ගසේ හිඳින දේවතාවාට බිලිපූජා කොට, බඩවැල් ගස වටේ ඔතා එම රජදරුවන්ගේ ලේ එකතුකොට, එයින් අත් තෙමා ගසේ කඳෙහි අත් සලකුණු තබා පූජා පවත්වමු. එවිට නොපමාව අපට ජය අත්වන්නේ යැ’යි පුරෝහිතයා පිළිතුරු දුන්නේය. මේ සියල්ල අසා සිටි රජතුමා, බිලි පූජාව සිදුකිරීමට එකඟ විය. පසුව තිරවලින් වටකරන ලද ස්ථානයක, බල ස්ථානයක මල්ල යෝධයන් යොදවා, එක්කෙනා බැගින් රජවරුන් ඇතුළට කැඳවා, නිලයක් අල්ලා සිහිවිසංඥ කොට ඇස් ගලවා මරා, අවශ්ය කොටස් ගෙන, ඉතිරි කොටස් නදියේ පාකර හරින්නට, රජතුමා නියෝග කෙළේය. මේ අයුරෙන් පුරෝහිතයාගේ උපදෙස් අනුව බිලිපූජාව සිදුකොට, බිලිපූජා බෙරහඬ පතුරුවා, පූජාවෙන් අනතුරුව යුද්ධය පිණිස සියලුදෙනා නික්මුණහ.