2. සුජාත ජාතකය (352)
‘කින්නු සන්තරමානොව’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වෙසෙන සේක්, පියා මළ කෙළෙඹි පුත්‍රයකු අරබයා වදාළ සේක. ඒ කෙළෙඹි පුත්‍රයා සිය පියා මළ කල්හි, වැලපෙමින් කල්ගත කරයි. ශෝකය බැහැර කරගැනීමට ඔහු අපොහොසත් විය. මේ අතර බුදුරජාණන් වහන්සේ සෝවාන් වීමට තරම් වූ ඔහුගේ උපනිශ්‍රය සම්පත් දැක, තවත් තෙර කෙනකුන් සමග සැවැත් නුවරට පිඬු පිණිස වැඩ, ඉහත කී කෙළෙඹි පුත්‍රයාගේ නිවෙසට පැමිණ පනවන ලද අසුනක වැඩහුන් සේක. කෙළෙඹි පුත්‍රයා බුදුරදුන් වෙත එළඹ වැඳ, එකත්පස්ව හිඳ ගත්තේය. බුදුරජාණන් වහන්සේ ඔහු අමතා, ‘උපාසකය, ඔබ ශෝකයෙන් පසු වෙහිදැ’යි ඇසූ සේක. ‘එසේය, ස්වාමීනි,’ උපාසකය, පැරැණි උතුමෝ පඬිවරුන්ගේ බණ අසා සිය පියා මළ කල්හිත්, ශෝක නොකළාහු යැ’යි වදාරා, කෙළෙඹි පුත්‍රයා විසින් ආරාධනා කරන ලදුව, මේ අතීත කථා පුවත දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ කිසියම් කෙළෙඹි පවුලක උපන්නේය. ඔහු ‘සුජාත’ කුමාරයා නමින් ප්‍රකට විය. ඔහුගේ තරුණ වියේදී, සිය පියාගේ පියා වන මුත්තණුවන් මිය ගියේය. මුත්තාගේ වියෝව පියාට ඉවසිය නොහැක්කක් විය. මුත්තා මළ තැන් පටන්, ශෝකයෙන් පීඩිත වූ පියා, ආදාහන මලුවට නිතර යයි. දිනක් ඔහු ආදාහන මලුවෙන් සිය පියාගේ ඇටකටු ගෙදර ගෙනැවිත්, වත්තේ කොණක මැටිවලින් ස්ථූපයක් සාදා, එහි ඇටකටු තැන්පත් කොට, එතැනට නිතර යමින් ද, මල් පූජා කරමින් ද, සෑය වටේ යමින් ද, වැලපේ. එපමණක් නොව ඔහු කෑම ද, නෑම ද, සැරසීම ද, රැකියාව ද යන මේ සියල්ල අත්හැර දැමුවේය. මේ දුටු බෝසත් තරුණයා, ‘මගේ මුත්තා මළ දා සිට ශෝකයෙන් පීඩිතව හැසිරෙයි. ඔහු දැනුම්පත් කොට, ශෝකයෙන් මුදා ගන්නට, මා හැර අන් කිසිවෙක් සමත් නොවේ. එබැවින් කිසියම් උපායකින්, ඔහුගේ ශෝකය දුරු කරන්නෙමි’යි ඉටා ගත්තේය. මේ අතර අල්ලපු ගමේ, ගොනකු මළ බව දැන ගත්, සුජාත කුමාරයා තණකොළ මිටියක් ද, වතුර භාජනයක් ද, රැගෙන එහි ගොස් තණකොළ, මළ ගොනාගේ මුව ළඟ තබා ‘කන්න කන්න යැ’යි කියයි. අනතුරුව වතුර ගොනාගේ මුවට ළංකොට ‘බොන්න බොන්න යැ’යි කියයි. එතැනට පැමිණි මිනිස්සු එය දැක, ‘යහලු සුජාතයෙනි, කිමෙක් ද, උමතු වූවෙහිද? මළ ගොනකුට දිය හා තණවලින් ඇති කාරිය කුමක්දැ’යි විචාළහ. සුජාත ඊට කිසිදු පිළිතුරක් නොදුන්නේය. ඉන්පසු ඒ මිනිස්සු සුජාතාගේ පියා හමුවේ, පුතාගේ අමුතු ක්‍රියා සියල්ල නො වළහා කීහ. එය අසා සිටි කෙළෙඹියාගේ පීතෘ ශෝකය පහ විය. ඒ වෙනුවට පුත්‍ර ශෝකයක් හට ගත්තේය. අනතුරුව ඔහු වේගයෙන් පුතා ළඟට පැමිණ, ‘පුත්‍ර සුජාතයෙනි, නුඹ පණ්ඩිතයකු නොවේද? කුමන කරුණක් නිසා, මළ ගොනෙකුට තණ හා ජලය දේ දැ’යි, කියා මේ ගාථා දෙක පැවසීය.
කින්නු සන්තරමානොව ලායිත්වා හරිතං තිණං,
ඛාද ඛාදති විලපි ගතසත්තං ජරග්ගවං
ඛාද ඛාදති විලපි ගතසත්තං ජරග්ගවං
වහ වහා කොළ පැහැති තණකොළ කපා ගෙනවුත්, පණගිය මහලු ගොනකුට කව, කව යි කියමින් නන්දොඩවනුයේ කුමක් නිසාද?
නහි අන්නෙන පාණෙන මතො ගොණෙ සමුට්ඨභෙ,
ත්වඤ්ච තුච්ඡං විලපසි යථා තං දුම්මතී තථා ති
ත්වඤ්ච තුච්ඡං විලපසි යථා තං දුම්මතී තථා ති
ආහාර පානයෙන් මළ ගොනකු නැගිටුවාලිය නොහැකිය. නුඹ මෝඩයකු මෙන්, තේරුමක් නැති දේකට වැලපෙහි
මෙහි ‘සන්තරමානොව’ යනු ‘නන් දොඩවයි’, යන අර්ථයි. ‘ගතසත්තං ජරග්ගවං’ යනු ‘පහ වූ ජීවිත ඇති, මහලු ගොනකු’, යන අර්ථයි. ‘යථාතං’ යන මෙහි ‘තං’ යනු නිපාතයෙකි. ‘යථා දුම්මති’ යනු ‘මඳ නුවණ ඇත්තෙක් යම් සේ නන්දොඩවයිද? එසේ නැතිදේකට, හිස් දේකට නන්දොඩවයි’, යන අර්ථයි.
මෙය අසා සිටි බෝසත් කුමරා, මේ ගාථා දෙක කීවේය.
3. හිස ද අත්-පා ද වලිගය ද පෙර පරිදිම ඇත. කන් දෙක ද පෙර පරිදිමය. එබැවින් ගොනා නැගිටී යැයි, සිතමි.
4. මුත්තාගේ හිස-අත්-පා යන මේවා නොපෙනේ. එබැවින් නුවණ මඳ වූයේ, මැටි ස්ථූපයකට හඬන ඔබට නොවේද?
මෙහි ‘තථෙව’ යනු ‘පෙර, යම්සේ තිබුණේ ද දැනුදු එසේම තිබේ ය’ යන අර්ථයි. ‘මඤ්ඤෙ’ යනු ‘මුගේ හිස ආදිය, එසේ ම ඇති බැවින් මේ ගොනා නැගිටින්නේ යැයි හඟිමි’, යන අර්ථයි. ‘නෙවය්යකස්ස සීසං’ යනු ‘මුත්තාගේ හිස හෝ අත්-පා හෝ නො පෙනේ’ යන අර්ථයි. ‘පිට්ඨිපාදා න දිස්සරෙ’ යනු ද පාඨයකි. ‘නනු ත්වඤ්ඤෙව දුම්මති’ යනු ‘මම හිස ආදිය දකිමින් මෙසේ කරමි, ඔබට කිසිවක් නො පෙනේ. දර සෑයෙන් ඇටකැබලි ගෙනවුත්, ස්ථූපයක් සාදාගෙන හඬයි. ඒ අනුව මට වඩා සියදහස් ගුණයෙන්, නුවණ මඳ වූයේ ඔබටයි. නැසෙනසුලු සංස්කාරයෝ බිඳෙති. එහිලා කවර වැලපීම් ද?’ යන අර්ථයි.
මේ අසා සිටි බෝසතුන්ගේ පියා, ‘මගේ පුතා පණ්ඩිතයෙකි. මෙලෝ පරලෝ කටයුතු දනී. මා දැනුම්වත් කිරීම සඳහා ඔහු මේ ක්‍රියාව කෙළේ යැ’යි අවබෝධ කොටගෙන, ‘පුත, සුජාත පණ්ඩිතයෙනි, සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වෙකැයි, මා විසින් දැන් අවබෝධ කරගන්නා ලදි. මෙතැන් පටන් ශෝක නොකරන්නෙමි. පියකුගේ ශෝකය දුරුකරන පුතෙක් නම්, ඔබ වැන්නකු විය යුතු යැ’යි, කියා සිය පුතුට ස්තුති කරමින්, මෙසේ කීය.
5. ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් ශෝකයෙන් දැවුණු මා ඒකාන්තයෙන් පැන් ඉසින්නාක් මෙන් නිවා දැමීය.
6. යමෙක්, සොවින් පෙළුණු මගේ පීතෘ ශෝකය දුරු කෙළේද? ඔහු ඒකාන්තයෙන්, මා හදෙහි ඇනී තිබූ ශෝක නමැති හුල උදුරා දැමීය.
7. දරුව, ඔබට ඇහුම්කන් දුන් මම, ඉදිරූ හුල් ඇත්තේ වෙමි. ශෝකය දුරු කෙළෙමි. නොකැළඹෙමි, දුක් නොවෙමි, නොහඬමි.
8. යම් කෙනෙක් අනුකම්පා දක්වත්ද? අනුන් ශෝකයෙන් වළකන ඒ නුවණැත්තෝ, එසේ කෙරෙති. සුජාත මෙ පියකු වැනිය.
මෙහි ‘නිබ්බාපයෙ’ යනු ‘නිවා දැමීය’, යන අර්ථයි. ‘දරං’ යනු ‘ශෝක පීඩාව’යි. ‘සුජාතො පිතරං යථා’ යනු ‘යම් සේ මගේ පුතා වන සුජාත, සිය නුවණින් පියා වූ මා සොවින් වළකී ද? එසේ අන් නුවණැත්තෝ ද අන් අය සොවින් වළකත්’, යන අර්ථයි.