1. මණිකුණ්ඩල ජාතකය (351)
‘ජිනො රථස්සමණිකුණ්ඩලෙ ච’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන කල්හි, කොසොල් රජුගේ අන්තඃපුරයෙහි සියලු කටයුතු භාර, දුෂ්ට ඇමැතියකු අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා පුවත මීට ඉහත දක්වන ලදි. මේ ජාතකයට අයත් බෝසත් තෙමේ බරණැස් රජුව ඉපිද සිටියේය. ඉහත කී කොසොල් රජුගේ දුෂ්ට ඇමතියා කොසොල් රජු කැටුව කසීරටට අවුත්, එම රට බලහත්කාරයෙන් අල්වාගෙන, අනතුරුව බරණැස් රජු ද, අත්අඩංගුවට ගෙන බන්ධනාගාරයෙහි සිරකොට තබන්නට සැලැස්වීය. බන්ධනාගාරගත වූ බරණැස් රජතුමා එහිදී ධ්යාන වඩා, අහසෙහි පලක් බැඳ වාඩි වී, හුන්නේය. මේ දුටු සතුරු රජු වන කොසොල් රජුගේ සිරුර පුරා, දාහයක් ඇතිවිය. ඔහු වරණ රජු වෙත එළඹ මේ ගාථාව කීවේය.
ජිනො රථස්ස මණිකුණ්ඩලෙව, පුත්තෙව දාරෙව තථෙව ජිනො,
සබ්බෙසු භොගෙසු අසෙසිතෙසු, කස්මා න සන්තප්පසි සොක කාලෙති
සබ්බෙසු භොගෙසු අසෙසිතෙසු, කස්මා න සන්තප්පසි සොක කාලෙති
රථය, අශ්වයන්, මිණිකොඬොල් අහිමි විය. එසේම දරුවන් ද අඹුවන් ද, අහිමි විය. සියලු සම්පත් ඉතිරි නොකොට හැර ගන්නා ලදි. (මේ හේතූන් නිසා) ශෝක කළයුතු කාලයෙහි, කුමක් නිසා සන්තාපයට පත් නොවෙහිද?
මෙහි ‘ජිනො රථස්ස මණිකුණ්ඩලෙ ච’ යනු ‘මහරජතුමනි, ඔබගෙන් (ඔබට අයත්) රථය, අසුන්, මිණිකොඬොල් යන මේවා පැහැර ගන්නා ලද යන අර්ථය. ‘රථෙ ච මණිකුණ්ඩලෙ ච’ යනුවෙන් ද, පාඨයක් ඇත යන අර්ථයි. ‘අසෙසිතෙසු’ යනු ‘ඉතිරි නොකොට’ යන අර්ථයි.
මේ ඇසූ බෝසත් රජතුමා මේ ගාථා දෙක, පිළිතුරු වශයෙන් පැවසීය.
2. සියල්ල කැමැත්තාණෙනි, සම්පත් පළමුකොට සත්ත්වයා හැර දමයි. ඊටත් පෙරාතුව සත්ත්වයා සම්පත් හැර දමයි. සම්පත් වූ කලී, සැමදා පවතින්නක් නොවෙයි. ඒ නිසා ශෝක කළයුතු කල්හි, මම ශෝක නො කරමි.
3. පසමිතුරාණෙනි, සඳ උදාවෙයි. ක්රමයෙන් පිරිපුන් වෙයි. පසුව ගෙවී යයි. හිරු පොළොව ආලෝකවත් කොට බැස යයි. මෙසේ මා විසින් ලෝකධර්මයෝ අවබෝධ කරන ලදහ. එබැවින් ශෝක කළයුතු කාලයෙහි මම ශෝක නො කරමි.
මෙහි ‘පුබ්බෙව මච්චං’ යනු ‘සම්පත් මුලදීම, එනම් පළමුකොටම සත්ත්වයා අත්හරී, සත්ත්වයා ද, ඒ සම්පත් ඊටත් කලින් අත්හරී යන අර්ථයි. ‘කාමකාමි’ යනු සතුරු රජු ඇමතීමයි. කාම වස්තූන්ට ආශා කරන්නා ‘කාමකාමි’ නම් වෙයි. වස්තුව නම්, ලොව සදාකල්හි පවතින්නක් නොවෙයි. පොහොසතුන් වස්තුව නැතිවූ කල්හි, ජීවත් වුවත්, දුප්පත්තු වෙති. විටෙක වස්තුව ඉතිරි කොට, මිනිස්සු පරලොව යති. එබැවින් සෙසු අයට, ශෝකය දනවන කාලයක් වුවත්, එම කාලයෙහි මම ‘ශෝක නො කරමි’, යන අර්ථයි. ‘විදිතා මයා සත්තක ලොකධම්මා’ යන මෙය සතුරු රජු අමතා කියන්නකි. පින්වත් පසමිතුරාණෙනි, ලාභ-අලාභ, අයස-යස ආදී ලෝකධර්මයෝ මා විසින් අවබෝධ කරගන්නා ලදහ. යම් සේ සඳ උදාවෙයිද? දිනෙන් දින පිරේද? නැවත දිනෙන් දින ගෙවී යා ද? යම් සේ හිරු, අඳුර දුරු කෙරෙමින් ලොව මහත් වූ ප්රදේශයක් ආලෝකවත් කොට, නැවත සවස් වනවිට, අස්තයට යා ද? එනම් නොපෙනී යා ද? එපරිද්දෙන් සම්පත් ඇතිවෙයි. නැතිවෙයි. ඒ ගැන ශෝක කිරීමෙන් කවර ප්රයෝජනයක්ද? එබැවින් ශෝක නොකරමි’. යන අර්ථයි.
මෙසේ බෝසත්තුමා සතුරු රජුට දහම් දෙසා, නැවත ඔහුගේ ක්රියාවට ගරහමින් මෙසේද, කීය.
අලංසා ගිහී කාමභෝගී න සාධූ, අසඤ්ඤතො පබ්බජිතෙන න සාධූ,
රාජා න සාධූ අනිසම්මකාරි, යො පණ්ඩිතො කොධනො තං න සාධු
රාජා න සාධූ අනිසම්මකාරි, යො පණ්ඩිතො කොධනො තං න සාධු
කාමභෝගී අලස ගිහියා හොඳ නැත. අසංවර පැවිද්දා ද හොඳ නැත. අපරීක්ෂාකාරී රජු ද හොඳ නැත. යම් පණ්ඩිතයෙක් කිපෙනසුලු වෙයි නම්, ඔහු ද හොඳ නැත.
නිසම්ම ඛත්තියො කයිරා, නානි සම්ම දිසම්පති,
නිසම්මකාරිතෙ රඤ්ඤා, යසො කිත්ති වඩ්ඪතී
නිසම්මකාරිතෙ රඤ්ඤා, යසො කිත්ති වඩ්ඪතී
දිසාවන්ට අධිපති රජතුමා, පරීක්ෂාකාරීව ක්රියා කළ යුත්තේය. අපරීක්ෂාකාරීව ක්රියා නොකළ යුතුය. නුවණින් පිරික්සා බලා කටයුතු කරන රජුගේ යශස ද, කීර්තිය ද වැඩේ.
මේ ගාථා දෙකම මීට ඉහතින් විස්තර කරන ලදි. මේ දේශනාවෙන් පසු සතුරු රජතුමා, බෝසතුන් සමා කරවාගෙන, රජය නැවත ඔහුට පවරා, සිය රටට පෙරළා ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ දම්දෙසුම ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. තවද එකල කොසොල් රජතුමා නම්, ආනන්ද තෙරණුවෝය. බරණැස් රජතුමා වූ කලී, ‘මම ම වීමි’යි, බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
2. සුජාත ජාතකය (352)
‘කින්නු සන්තරමානොව’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වෙසෙන සේක්, පියා මළ කෙළෙඹි පුත්රයකු අරබයා වදාළ සේක. ඒ කෙළෙඹි පුත්රයා සිය පියා මළ කල්හි, වැලපෙමින් කල්ගත කරයි. ශෝකය බැහැර කරගැනීමට ඔහු අපොහොසත් විය. මේ අතර බුදුරජාණන් වහන්සේ සෝවාන් වීමට තරම් වූ ඔහුගේ උපනිශ්රය සම්පත් දැක, තවත් තෙර කෙනකුන් සමග සැවැත් නුවරට පිඬු පිණිස වැඩ, ඉහත කී කෙළෙඹි පුත්රයාගේ නිවෙසට පැමිණ පනවන ලද අසුනක වැඩහුන් සේක. කෙළෙඹි පුත්රයා බුදුරදුන් වෙත එළඹ වැඳ, එකත්පස්ව හිඳ ගත්තේය. බුදුරජාණන් වහන්සේ ඔහු අමතා, ‘උපාසකය, ඔබ ශෝකයෙන් පසු වෙහිදැ’යි ඇසූ සේක. ‘එසේය, ස්වාමීනි,’ උපාසකය, පැරැණි උතුමෝ පඬිවරුන්ගේ බණ අසා සිය පියා මළ කල්හිත්, ශෝක නොකළාහු යැ’යි වදාරා, කෙළෙඹි පුත්රයා විසින් ආරාධනා කරන ලදුව, මේ අතීත කථා පුවත දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, බෝසත් තෙමේ කිසියම් කෙළෙඹි පවුලක උපන්නේය. ඔහු ‘සුජාත’ කුමාරයා නමින් ප්රකට විය. ඔහුගේ තරුණ වියේදී, සිය පියාගේ පියා වන මුත්තණුවන් මිය ගියේය. මුත්තාගේ වියෝව පියාට ඉවසිය නොහැක්කක් විය. මුත්තා මළ තැන් පටන්, ශෝකයෙන් පීඩිත වූ පියා, ආදාහන මලුවට නිතර යයි. දිනක් ඔහු ආදාහන මලුවෙන් සිය පියාගේ ඇටකටු ගෙදර ගෙනැවිත්, වත්තේ කොණක මැටිවලින් ස්ථූපයක් සාදා, එහි ඇටකටු තැන්පත් කොට, එතැනට නිතර යමින් ද, මල් පූජා කරමින් ද, සෑය වටේ යමින් ද, වැලපේ. එපමණක් නොව ඔහු කෑම ද, නෑම ද, සැරසීම ද, රැකියාව ද යන මේ සියල්ල අත්හැර දැමුවේය. මේ දුටු බෝසත් තරුණයා, ‘මගේ මුත්තා මළ දා සිට ශෝකයෙන් පීඩිතව හැසිරෙයි. ඔහු දැනුම්පත් කොට, ශෝකයෙන් මුදා ගන්නට, මා හැර අන් කිසිවෙක් සමත් නොවේ. එබැවින් කිසියම් උපායකින්, ඔහුගේ ශෝකය දුරු කරන්නෙමි’යි ඉටා ගත්තේය. මේ අතර අල්ලපු ගමේ, ගොනකු මළ බව දැන ගත්, සුජාත කුමාරයා තණකොළ මිටියක් ද, වතුර භාජනයක් ද, රැගෙන එහි ගොස් තණකොළ, මළ ගොනාගේ මුව ළඟ තබා ‘කන්න කන්න යැ’යි කියයි. අනතුරුව වතුර ගොනාගේ මුවට ළංකොට ‘බොන්න බොන්න යැ’යි කියයි. එතැනට පැමිණි මිනිස්සු එය දැක, ‘යහලු සුජාතයෙනි, කිමෙක් ද, උමතු වූවෙහිද? මළ ගොනකුට දිය හා තණවලින් ඇති කාරිය කුමක්දැ’යි විචාළහ. සුජාත ඊට කිසිදු පිළිතුරක් නොදුන්නේය. ඉන්පසු ඒ මිනිස්සු සුජාතාගේ පියා හමුවේ, පුතාගේ අමුතු ක්රියා සියල්ල නො වළහා කීහ. එය අසා සිටි කෙළෙඹියාගේ පීතෘ ශෝකය පහ විය. ඒ වෙනුවට පුත්ර ශෝකයක් හට ගත්තේය. අනතුරුව ඔහු වේගයෙන් පුතා ළඟට පැමිණ, ‘පුත්ර සුජාතයෙනි, නුඹ පණ්ඩිතයකු නොවේද? කුමන කරුණක් නිසා, මළ ගොනෙකුට තණ හා ජලය දේ දැ’යි, කියා මේ ගාථා දෙක පැවසීය.