9. කොමායපුත්ත ජාතකය (299)
පුරෙ තුවං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ පූර්වාරාමයෙහි වැඩවාසය කරනසේක් කෙළිලොල් භික්‍ෂූන් අරබයා වදාළ සේක. ඒ භික්‍ෂූහු බුදුරජාණන් වහන්සේ ප්‍රාසාදයෙහි මතු මහලෙහි වැඩවාසය කරද්දී ප්‍රාසාදය යට ඇසූ දුටු දේවල් ආදිය කතා කරමින් හෝ කලහ කරමින් කෙළිකවටකම් කරමින් හුන්නාහුය. බුදුරජාණන් වහන්සේ මහ මුගලන් තෙරුන් වහන්සේ අමතා මුගලන් එන්න, භික්‍ෂූන් තැති ගන්වන්නැයි වදාළහ. තෙරුන් වහන්සේ අහසට පැන නැගී පාදයෙහි මහපට ඇඟිල්ලෙන් ප්‍රාසාදයෙහි මුදුන්කොතට පහරදී දිය කෙළවර කොට ඇති ප්‍රාසාදය සෙලවූ සේක. ඒ භික්‍ෂූන් වහන්සේලා බර බියෙන් බියපත්ව නික්ම පිටතට වී සිටියහ. භික්‍ෂූන් වහන්සේලාගේ ඒ කෙළිලොල් බව භික්‍ෂූන් වහන්සේලා අතරෙහි ප්‍රකට විය. ඉක්බිති එක්දිනක් භික්‍ෂූහු දම්සභාවෙහිදී ඇවැත්නි, ඇතැම් භික්‍ෂූහු සසරින් එතර කරවන සසුනෙහි පැවිදිව කෙළිලොල් වී හැසිරෙත්. අනිත්‍යයි, දුකයි, අනාත්මයයි යනුවෙන් විදසුන් වැඩීමට ක්‍රියා නොකරති යනුවෙන් කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි, මහණෙනි, දැන් පමණක් නොව පෙරත් ඔවුහු කෙළිලොල් වූවෝම යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ එක් ගමෙක බමුණු කුලයක උපන් සේක. “කෝමායු පුත්‍රයා” යයි ඔහු හැඳින්වූහ. ඔහු පසුකලෙක ගිහිගෙන් නික්ම තාපස පැවිද්දෙන් පැවිදිව හිමාලය වන ප්‍රදේශයේ වාසය කළේය. ඉක්බිති වෙනත් කෙළිලොල් තාපසවරු හිමවත් පෙදෙසේ අසපුවක් තනාගෙන විසූහ. කසිණ භාවනා මාත්‍රයක්වත් ඔවුන්ට නැත. කැලයෙන් ලොකු කුඩා පළතුරු ගෙනවිත් කා වසමින් නොයෙක් ආකාර සෙල්ලම් කරමින් කල් ගෙවත්. ඔවුන් සමීපයෙහි වඳුරෙක් ද සිටියි. ඒ වඳුරාද කෙළිලොල්ව කට ඇදකිරීම් ආදී මුඛ විකාර ආදිය කරමින් තාපසයන්ට නොයෙක් විදියේ සෙල්ලම් දක්වයි. තාපසවරු කලක් එහි වාසය කොට ලුනු ඇඹුල් සෙවීම පිණිස මිනිස් වාසයට ගියාහුය. ඔවුන් ගිය කාලයේ පටන් බෝසතාණන් වහන්සේ ඒ ස්ථානයට අවුත් වාසය කළ සේක. වඳුරා කලින් තවුසන්ට මෙන් ඔහුටද සෙල්ලම් දක්වයි.
බෝසතාණන් වහන්සේ අසුරක් ගසා හික්මුණු පැවිද්දන් ළඟ වසන තැනැත්තෙකු විසින් නම් ආචාරශීලීව කායාදියෙන් තැන්පත්ව ධ්‍යානාදියෙහි යෙදුණු කෙනෙකුව සිටීම සුදුසුය යනුවෙන් ඔහුට අවවාද දුන් සේක. ඒ වඳුරා එතැන් පටන් සිල්වත්ව යහපත් පැවතුම් ඇත්තෙක් විය. බෝසතාණන් වහන්සේද ලුනු ඇඹුල් සොයාගෙන ඒ ස්ථානයට ආවාහුය. වඳුරා පෙර පරිද්දෙන් ඔවුන්ට සෙල්ලම් නොදක්වයි. ඉක්බිති තාපසවරු කලින් නම් ඔබ අප ඉදිරියේ සෙල්ලම් කළෙහිය. දැන් නොකරහි. ඒ කුමන කරුණක් නිසාදැයි විමසමින්,
පුරෙ තුවං සීලවතං සකාසෙ, ඔක්කන්‍දිකං කීළසි අස්සමම්හි,
කරො හරෙ මක්කටියානි මක්කටං, නතං මයං සීලවතං රමාම
යන පළමු ගාථාව කීවාහුය.
බොල වඳුර! පෙර තෝ කෙළිලොල් අප හමුවෙහි පැන පැන සෙල්ලම් කළෙහිය. අපගේ අසපුවෙහිදී වැඳිරි මුහුණ පෙන්නීම ආදී ක්‍රීඩා කළෙහිය. වානරය, ක්‍රීඩාව ස්වභාව කොට ඇති ඔබ ගැන අපි නොඇලෙමු. එයට හේතු කිම,
එහි, සීලවතං සකාසෙ යනු කෙළිලොල් වූ අප සමීපයේ, ඔක්කන්‍දිකං මුවකු වගේ පැන පැන සෙල්ලම් කළෙහිය. කරොහරෙති (කරොහි) කරව, අරේ යනු ආමන්ත්‍රණයයි. මක්කටියානි යනු මුඛ විකාරාදි වඳුරු සෙල්ලම්. නතං මයං සීලවතං රමාම යනු පෙර ඔබේ කෙළිලොල් බව (දැන් නැත. එහෙයින්) අපි (ඔබ ගැන) නොඇලෙමු. ඔබද අප ගැන නොඇලෙන්නෙහිය. එයට හේතුව කුමක්ද?
එය අසා වඳුරා,
සුතා හි මය්හං පරමා විසුද්ධි, කොමාය පුත්තස්ස බහුස්සුතස්ස,
මාදානි මං මඤ්ඤි තුවං යථා පුරෙ, ඣානානුයුත්තා විහරාම ආවුසො.
යන දෙවන ගාථාව කීය.
ඇවැත්නි, බහුශ්‍රැත වූ කෝමායු පුත්තගේ උසස් ධ්‍යාන විශුද්ධිය මා විසින් අසන ලදි. තෙපි පෙර පරිදි මා පිළිබඳව නොසිතව. අපි ධ්‍යාන ඇතිව වසමු.
එහි, මය්හං යනු කරණාර්ථයෙහි සම්ප්‍රදාන විභක්තියයි. විසුද්ධි යනු ධ්‍යානයෙන් පිරිසිදු වීම. බහුස්සුතස්ස යනු බොහෝ කසිණ භාවනාද, අෂ්ට සමාපත්තීන්ද ඇසීමෙන් මෙන්ම අවබෝධ කළ බැවින්ද බොහෝ ඇසූ පිරූ තැන් ඇති. තුවං යනු ඔවුන්ගෙන් එක් තාපසයෙකුට අමතමින් නුඹ මා පෙර පරිද්දෙන් දැන් හඳුනා නොගන්න. මම පෙර පරිදි නොවෙමි. මවිසින් ගුරුවරයෙක් ලැබීයයි දක්වයි.