10. වක ජාතකය (300)
පරපාණරොධා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක් පැරණි ඇතිරිල්ලක් අරබයා වදාළ සේක. කථා වස්තුව විනය පිටකයේ විස්තර වශයෙන් දක්වා ඇත. මේ වනාහි එහි සාරාංශයයි. ආයුෂ්මත් උපසේන තෙරුන් වහන්සේ උපසම්පදාවෙන් වස් දෙකක් ඇති කෙනෙක්ව එක් වසක් ඇති සද්ධි විහාරික ශිෂ්‍ය භික්‍ෂුව සමග බුදුරජාණන් වහන්සේ වෙත එළඹ බුදුරජාණන් වහන්සේ විසින් ගරහන ලද්දේ වැඳ ආපසු ගොස් විදර්ශනා වඩා රහත් භාවයට පත්ව අල්පේච්ඡතා ආදී ගුණවලින් යුක්තව තෙළෙස් ධුතාංග සමාදන්ව පිරිසඳ තෙළෙස් ධුතංගධාරීන් කොට භාග්‍යවතුන් වහන්සේ තුන්මසක් විවේකීව වැඩ වෙසෙද්දී පිරිවර සහිතව බුදුරජාණන් වහන්සේ වෙත එළඹ පිරිස නිසා පළමුව නින්දා ලබා අදැහැමි කතිකාවට අනුව නොපැවතීම නිසා දෙවනුව සාධුකාර ලබා මෙතැන් පටන් ධුතාංගධාරී භික්‍ෂූහු කැමති පරිදි එළඹ මා බලත්වායි ශාස්තෲන් වහන්සේ විසින් කරන ලද අනුග්‍රහ (අනුමැතිය) ඇතිව නික්ම භික්‍ෂූන්ට ඒ කරුණ සැල කළේය. එතැන් පටන් භික්‍ෂූහු ධුතාංගධාරීන් බවට පත්ව ශාස්තෲන් වහන්සේ දැකීමට එළඹ ශාස්තෲන් වහන්සේ විවේක සුවයෙන් නැගිටි කල්හි ඒ ඒ තැන පංසුකූල සිවුරු දමා තමන්ගේ සිනිඳු සිවුරුම ගත්තාහුය. බුදුරජාණන් වහන්සේ බොහෝ භික්‍ෂූන් සම සේනාසනවල චාරිකාවල හැසිරෙමින් ඒ ඒ තැන වැටී තිබුණු පංසුකූල සිවුරු දැක විමසා ඒ කරුණ අසා මහණෙනි, මේ භික්‍ෂූන්ගේ (ධුතංග නම් වූ) වත සමාදන් වීම චිරකල් නොපැවතියේය. වක නම් දිවියාගේ පෙහෙවස් සමාදන්වීම හා සමාන වේයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ සක්දෙව් රජ වූ සේක. ඉක්බිති එක් වක නම් දිවියෙක් ගංතෙර ගල් තලාවක වාසය කරයි. ඉක්බිති ගඟට ජලය ඇවිත් ඒ ගල ජලයෙන් වටවිය. වක නම් දිවියා ගලට නැග ගල්තලාව මත වැතිර ගත්තේය. ඔහුට ආහාර නැත. ආහාර සඳහා ගමන් මගක්ද නැත. ජලය වැඩිවෙයි. ඌ මට ආහාර නැත. ඒ සඳහා ගමන් මගක්ද නැත. වැඩක් නැතිව නිදනවාට වඩා පෙහෙවස් රැකීම උතුම්යයි සිතා සිතින්ම පෙහෙවස් අධිෂ්ඨානකොට සිල් සමාදන්ව නිදාගත්තේය. එකල සක්දෙවිඳු ආවර්ජනා කරමින් ඔහුගේ ඒ දුර්වල සිල් ගැනීම දැනගෙන මේ වක දිවියා වෙහෙසට පත් කරන්නෙමියි සිතා එළුවෙකුගේ වේශයෙන් අවුත් ඌගේ නුදුරෙහි සිට තමන් පෙනී සිටියේය. වක දිවියා ඌ දැක වෙනත් දිනයක පෙහෙවස් රැකීම දැනගන්නෙමියි නොනැගිට ඌ අල්ලා ගන්නට පැන්නේය. එළුවාද ඒ මේ අතට පැන තමන් අල්ලා ගන්නට නුදුන්නේය. වක දිවියා ඌ අල්ලා ගන්නට නොහැකිව නැවතී අවුත් මගේ උපෝසථය තවමත් නොබිඳුනේ යයි එහිම නැවත නිදා ගත්තේය. ශක්‍රයා ශක්‍ර ආත්ම භාවයෙන්ම අහසෙහි සිට නුඹ වැනි දුර්වල අදහස් ඇතියෙකුගේ උපෝෂථ කර්මයෙන් කවර ඵලයක්ද? නුඹ මගේ ශක්‍රභාවය නොදැන එළුමස් කනු කැමැත්තේ වීදැයි ඌ වෙහෙසවා ගරහා දෙව්ලොවටම ගියේය.
පරපාණරොධා ජීවන්තො මංසලොහිත භොජනො,
වකො වතං සමාදාය උපපජ්ජ උපොසථං
තස්ස සක්කො වතඤ්ඤාය අජරූපෙනුපාගමි,
වීතතපො අජ්ඣප්පත්තො භඤ්ජි ලොහිතපො තපං
එවමෙවං ඉධෙකච්චෙ සමාදනස්මිං දුබ්බලා,
ලහුං කරොන්ති අත්තානං වකොව අජකාරණා
යන ගාථා තුන බුදුබවට පත්ව දේශනා කරන ලද ගාථාය.
පර පණ නැසීමෙන් මස් ලේ අනුභව කොට ජීවත් වන්නා වූ වෘකයා පෙහෙවස් සමාදන් විය. ශක්‍රයා උගේ ව්‍රතය දැන එළු වෙසින් ළඟට ආවේය. (එවිට) තපස පහව ගියේය. ලේ බොන ඌ තපස බිඳගත්තේය. එපරිදි මෙලොව ඇතැම් කෙනෙක් සමාදන් වූ සීලය රැක ගැනීමට සමත් නොවෙති. එළුවා නිසා සැහැල්ලු බවට පත් වෘකයා මෙන් තමා සැහැල්ලු (හෑල්ලු) කරති.
එහි, උපපජ්ජ උපොසථං යන පෙහෙවස් විසීමට එළඹියේය. වතඤ්ඤයා යනු ඒ දුර්වල ව්‍රතය දැනගෙන, වීතතපො අජ්ඣප්පත්තො යනු පහවූ තපස් ඇත්තෙක්ව පැමිණ ඒ එළුවා කෑමට පැන්නේය යන අර්ථයයි. ලොහිතපො යනු ලේ බොනු කැමතිව, තපං යනු තමන්ගේ ඒ සමාදාන වූ තපස බින්දේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල ශක්‍රයා මම ම වූයෙමි යි වදාළ සේක.
පස්වැනි කුම්භ වර්ගය නිමියේය.
තික නිපාත වර්ණනාව නිමාවිය.