8. උදුම්බර ජාතකය (298)
උදුම්බරාචිමෙපක්කා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක්තරා භික්ෂු කෙනෙකු අරබයා වදාළ සේක. උන්වහන්සේ වනාහි එක්තරා පිටිසර ගමෙක විහාරයක් කරවා වාසය කරන සේක. සිත්කලු විහාරයකි. ගල් තලාවක් මත පිහිටියේය. ඇමදීමට ඇත්තේ සුළු ප්රමාණයකි. ජල පහසුව ඇත. ගොදුරු (දානය ලැබෙන) ගමද නුදුරෙහි ඇත. සතුටෙන් මිනිස්සු දන් දෙති. ඉක්බිති එක් භික්ෂු නමක් චාරිකාවෙහි හැසිරෙමින් ඒ විහාරයට වැඩියේය. එහි නේවාසික තෙරුන් වහන්සේ ආගන්තුක භික්ෂුවට ආගන්තුක වත් දක්වා පසුදින උන්වහන්සේත් රැගෙන ගමට පිඬු පිණිස පිවිසියහ. මිනිස්සු ආගන්තුක භික්ෂුවට දානය දී හෙට දිනටත් ආරාධනා කළාහුය. ආගන්තුක භික්ෂුව කීපදිනක් වළඳා එක් උපායකින් නේවාසික භික්ෂුව රවටා නෙරපා මේ විහාරය ගන්නෙමියි සිතුවේය. ඉක්බිති නේවාසික තෙරුන්ට උපස්ථාන පිණිස පැමිණි ආගන්තුක භික්ෂුව ඇවැත්නි, බුද්ධ උපස්ථානය නොකළෙහිදැයි විමසීය. ස්වාමීනි, මේ විහාරය රැකබලා ගන්නා කෙනෙකු නැති නිසා මම නොගියෙමියි කීය. ආගන්තුක භික්ෂුව නුඹවහන්සේ බුද්ධෝපස්ථානයට ගොස් එනතුරු මම විහාරය රැකබලා ගන්නෙමියි කීය. හොඳමයි ස්වාමීනියි කියූ නේවාසික භික්ෂුව මම එනතුරු තෙරුන් වහන්සේට අවශ්ය දේ සපයා රැකබලා ගන්නා ලෙස මිනිසුන්ට කියා ගියේය.
එතැන් පටන් ආගන්තුක භික්ෂුව නේවාසික භික්ෂුවගේ මේ මේ දොස් ඇතැයි කියා ඒ මිනිසුන් බිඳවීය. නේවාසික භික්ෂුවද බුදුරජාණන් වහන්සේට වැඳ ආපසු වැඩියේය. එවිට ආගන්තුක භික්ෂුව උන්වහන්සේට සේනාසනය නුදුන්නේය. උන්වහන්සේ එක් ස්ථානයක වාසයකොට පසුදින පිඬු පිණිස ගමට වැඩියහ. මිනිස්සු සතුටු සාමීචි කතාවක් වත් නොකළාහුය. උන්වහන්සේ පසුතැවිලි වී නැවත ජේතවනාරාමයට වැඩම කර ඒ කාරණය භික්ෂූන් වහන්සේලාට සැලකර සිටියහ. උන්වහන්සේලා දම්සභාවෙහිදී ඇවැත්නි, අසවල් භික්ෂුව අසවල් නම් භික්ෂුව විහාරයෙන් නෙරපාහැර තමා එහි වාසය කරතියි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ මහණෙනි, මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි, මහණෙනි, දැන් පමණක් නොව පෙරත් ආගන්තුක භික්ෂුව ඔහු වාසය කරන ස්ථානයෙන් නෙරපා හරින ලදැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කැලයෙහි රුක් දෙවියෙක් වී උපන්හ. එහි වැසි කාලයේ සත් සතියක් වැසි වැස්සේය. ඉක්බිති එක්තරා රිලවෙක් නොතෙමෙන එක්තරා ගල් ගුහාවක වාසය කරමින් එක්දිනක් ගුහා දොරටුවෙහි නොතෙමෙන ස්ථානයක සැපසේ හුන්නේය. එහි එක කළු මුහුණක් ඇති ලොකු වඳුරෙක් තෙමී සීතලෙන් පෙළෙමින් හැසිරෙන්නේ එසේ සිටින ඔහු දැක උපායෙන් ඌ බැහැරකොට මෙහි වසන්නෙමියි සිතා බඩ එල්ලාගෙන පලතුරු කා සතුටට පත්වූ බවක් පෙන්වමින් ඔහු ඉදිරියේ සිට
උදුම්බරාචිමෙ පක්කා නිග්රොධාච කපිත්ථනා,
එහි නක්ඛම භුඤ්ජස්සු කිං ජිගච්ඡාය මියසි
එහි නක්ඛම භුඤ්ජස්සු කිං ජිගච්ඡාය මියසි
යන පළමු ගාථාව කීවේය.
විලිකුන් ඵල (ඉදුණු ගෙඩි) ඇති දිඹුල්, නුග, දිවුල් යන මේ ගස් පලබරින් නැමී ඇත. තෝද ගොස් අනුභව කරව. සාගින්නේ මැරෙන්නේ කුමටද?
එහි, කපිත්ථිනා යනු පුලිල ගස් (දිවුල්) එහිනික්ඛම යනු මේ දිඹුල් ආදී ගස් ඵල බරින් නැමුනේ මමද ඒවා කා සතුටට පත්ව ආවෙමි. නුඹද යන්න, භුඤ්ජස්සු යනු අනුභව කරන්න.
රිලවාද ඌගේ කීම පිළිගෙන ලොකු කුඩා ගෙඩි කනු කැමැත්තේ නික්මී ඒ ඒ තැන හැසිරී කිසිවක් නොලැබ නැවත අවුත් ගල් ගුහාවක පිවිස සිටින වඳුරා දැක ඔහු වංචා කරන්නෙමියි සිතා ඔහු ඉදිරියේ සිට
එවං සො සුහිතො හොති යො වද්ධමපචායති,
යථාහමජ්ජ සුහිතො දූමපක්කානි මාසිතො
යථාහමජ්ජ සුහිතො දූමපක්කානි මාසිතො
යන දෙවන ගාථාව කීය.
අද මම රුක්ඵල (ගස් ගෙඩි) කා සුවපත් වූයෙම්ද එලෙස යමෙක් වැඩිමහල්ලන් පුදයිද ඒ තැනැත්තා සුවපත් වේ.
එහි, දුමපක්කානිමාසිතො යනු දිඹුල් ආදී ගස් ගෙඩි කා ආහාරයෙන් තෘප්තියට පැමිණි සතුටට පැමිණියේ ඇත්තේය.
ඒ අසා මහ වඳුරා,
යං වනෙජො වනෙජස්ස වඤ්චෙය්ය කපිනො කපි,
දහරොපි තං නසද්ධෙය්ය නහි ඡිණ්ණො ජරාකපි
දහරොපි තං නසද්ධෙය්ය නහි ඡිණ්ණො ජරාකපි
යන තුන්වන ගාථාව කීය.
වනයේ උපන් වඳුරා වනයේ උපන් වඳුරාට යම් රැවටීමක් කරන්නේද එය තා වැනි ළදරු වඳුරෙක් නොඅදහන්නේය. ජරාපත් මා වැනි මහලු වඳුරෙක් නොඅදහන්නේමැයි.
වනයෙහි උපන් කපි වඳුරා වනයෙහි උපන් කපිනො වඳුරාට යං යම් වංචාවක් රැවටීමක් කරන්නේ ද එය දහරොපි ළදරු ඔබ වැනි වඳුරෙක් පවා නො අදහන්නේය. මා වැනි ඡිණ්ණො ජරාකපි මහලු දිරාගිය වඳුරෙක් නොඅදහන්නේමය. හත්වාරයක් කියන ඔබ වැන්නෙකුගේ වචනය පවා නො අදහයි. මේ පළාතෙහි සියලු පලාඵල වැස්සෙන් නරක් වී වැටී ඇත. නැවත ඔබට මේ ස්ථානය ලැබීමක් නැත (එහෙයින්) යන්නැයි කීය. රිලවා එයින්ම ඉවත්ව ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල රිලවා (කුඩා වඳුරා) නේවාසික භික්ෂුව විය. කලු මහ වඳුරා ආගන්තුක භික්ෂුවයි. රුක් දෙවියා වනාහි මම්ම වූයෙමියි වදාළ සේක.
9. කොමායපුත්ත ජාතකය (299)
පුරෙ තුවං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ පූර්වාරාමයෙහි වැඩවාසය කරනසේක් කෙළිලොල් භික්ෂූන් අරබයා වදාළ සේක. ඒ භික්ෂූහු බුදුරජාණන් වහන්සේ ප්රාසාදයෙහි මතු මහලෙහි වැඩවාසය කරද්දී ප්රාසාදය යට ඇසූ දුටු දේවල් ආදිය කතා කරමින් හෝ කලහ කරමින් කෙළිකවටකම් කරමින් හුන්නාහුය. බුදුරජාණන් වහන්සේ මහ මුගලන් තෙරුන් වහන්සේ අමතා මුගලන් එන්න, භික්ෂූන් තැති ගන්වන්නැයි වදාළහ. තෙරුන් වහන්සේ අහසට පැන නැගී පාදයෙහි මහපට ඇඟිල්ලෙන් ප්රාසාදයෙහි මුදුන්කොතට පහරදී දිය කෙළවර කොට ඇති ප්රාසාදය සෙලවූ සේක. ඒ භික්ෂූන් වහන්සේලා බර බියෙන් බියපත්ව නික්ම පිටතට වී සිටියහ. භික්ෂූන් වහන්සේලාගේ ඒ කෙළිලොල් බව භික්ෂූන් වහන්සේලා අතරෙහි ප්රකට විය. ඉක්බිති එක්දිනක් භික්ෂූහු දම්සභාවෙහිදී ඇවැත්නි, ඇතැම් භික්ෂූහු සසරින් එතර කරවන සසුනෙහි පැවිදිව කෙළිලොල් වී හැසිරෙත්. අනිත්යයි, දුකයි, අනාත්මයයි යනුවෙන් විදසුන් වැඩීමට ක්රියා නොකරති යනුවෙන් කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි, මහණෙනි, දැන් පමණක් නොව පෙරත් ඔවුහු කෙළිලොල් වූවෝම යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.