7. කාමවිලාප ජාතකය (297)
උච්චෙ සකුණ ඩෙමාන යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක් පැරණි භාර්යාවකගේ පෙළඹවීමක් අරබයා වදාළ සේක. වර්තමාන කථා වස්තුව පුප්ඵරත්ත ජාතකයෙහි මතු සඳහන් වන්නේය. අතීත කථාව ඉන්‍ද්‍රිය ජාතකයෙහි මතු සඳහන් වන්නේය. ඒ පුරුෂයා වනාහි පණපිටින් උලෙහි තැබූහ. එහි හුන්නා වූ ඔහු අහසින් යන කපුටෙකු දැක පළමුකොට ඒ දරුණු වේදනාවවත් ගණන් නොගෙන ප්‍රිය බිරිඳට හසුනක් යැවීමට කපුටාට අමතමින් මේ ගාථා කීවේය.
උච්චෙ සකුණ ඩෙමාන පත්තයාන විහංගම,
වජ්ජාසි ඛො ත්‍වං චාමූරුං චිරං ඛො සා කරිස්සති
ඉදං ඛො සා නජානාති අසිංසත්තිඤ්ච ඔඩ්ඩිතං,
සා චණ්ඩී කාහති කොධං තං මෙ තපති නො ඉධ
එස උප්පල සන්නාහො නික්ඛමුස්සීසකෙ කතං,
කාසිකඤ්ච මුදුං වත්‍ථං තප්පතු ධනකාමිකා
යන මේ ගාථා කීවේය.
ඉහළ පියාඹන්නා වූ පක්‍ෂිය, පියාපත් යානය කොට ඇති පක්‍ෂිය, ඔබ කෙසෙල් කඳක් වැනි (සිනිඳු, පැහැපත්) කලවා ඇති තැනැත්තියට මා උලෙහි උන් බව කියව. ඈ බොහෝ කලක සිට මා ගැන සිහි කරයි.
කඩුවට හා තෙබට (උල් ආයුධයෙන්) සමාන වූ උලට මා නංවන ලද බව ඕ තොමෝ නොදනී. චණ්ඩ වූ ඇය මට ක්‍රෝධ නොකරයි. ඇගේ කෝපය මා තවයි. උල තැබීමෙන් ඇතිවන දුක මා නොතවයි.
කොට්ටය ළඟ තැබූ උපුලක් සමාන මේ සන්නාහයද රන් පහකින් කළ මුද්දද මොළොක් සළු දෙකද මේ වස්තු කැමති වන මාගේ ප්‍රිය බිරිඳ මෙයින් තෘප්තිමත් වේවා!
එහි, ඩෙමාන යනු යන, හැසිරෙන, පත්තයාන යනු කපුටාටම අමතයි. විහංගම යනුද එසේය. ඌ වනාහි පියාපත් යානාවක් කොට යන බැවින්, පත්තයාන නම් ද අහසෙහි ගමන් කරන බැවින් ‘විභංගම’ නම්ද වෙයි. වජ්ජාසි යනු කියන්නෙහිය. චාමූරුං යනු කෙසෙල්කඳක් සමාන වූ (සිනිඳු, පැහැපත්, උඩසිට පහළට සිහින් වූ) කළවා ඇති බිරිඳට මා උළමත සිටින බව කියන්න. චිරං ඛො සා කරිස්සති යනු ඈ මේ සිද්ධිය නොදන්නා බැවින් මගේ පැමිණීමට බොහෝ කල්ගත වන්නේය, පිටව ගිය මගේ ප්‍රිය සැමියාට බොහෝකල් ගතවිය. (එහෙත්) නොඑන්නේයයි මෙසේ සිතන්නීය යන අර්ථයි.
අසිං සත්තිඤ්ච යනු කඩුවට සමාන නිසාද තෙබට (අණින ආයුධය) සමාන නිසාද උල සඳහාම කියයි. එය වනාහි ඔහුට තැති ගැන්වීම පිණිස අටවන ලද තබන ලද එකකි. චණ්ඩී යනු කිපෙනසුළු, කොධං යනු ඉතා පමාවන්නේ යයි මා කෙරෙහි ක්‍රෝධ කරන්නේය. තං මේ තපති යනු ඇගේ ඒ කිපීම මාව තවයි (මට තැවීමක් ඇති කරයි). නො ඉධ මෙහි මේ උල මාව නොතවයි යනුවෙන් දක්වයි.
එස උප්පල සන්නාහො යනු ආදියෙන් දෙර කොට්ටය ළඟ තබන ලද තමන්ගේ භාණ්ඩයක් කියයි. එහි උප්පලසන්නාහො යනු උපුලම සන්නාහයයි. උපුලකට සමානව කරන ලද එයද සන්නාහයක් ලෙස පිළියෙල කරන ලද්දකි යන අර්ථයි. නික්ඛං යනු රන් පහකින් කළ ඇඟිලි මුද්ද. කාසිකඤ්ච මුදුං වත්‍ථං යනු මෘදු වූ කසී සළු දෙකක් සඳහා කීය. එපමණ දේවල් ඔහු විසින් කොට්ටය ළඟ තබන ලදි. තප්පතු ධනකාමිකා යනු මේ සියල්ල ගෙන ධනය ඇති ප්‍රිය බිරිඳ මේ ධනයෙන් තෘප්තිමත් වේවා! පිරුණු සතුටින් යුක්ත තැනැත්තියක් වේවා.
හෙතෙම මෙසේ වැළපෙමින්ම කලුරියකොට නරකයෙහි උපන්නේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යයන් ප්‍රකාශකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාව කෙළවර කලකිරුණු භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල භාර්යාව දැනුත් භාර්යාවයි. ඒ කාරණය දක්නා ලද දිව්‍යපුත්‍රයා මම ම වූයෙමි යි වදාළ සේක.
8. උදුම්බර ජාතකය (298)
උදුම්බරාචිමෙපක්කා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක්තරා භික්‍ෂු කෙනෙකු අරබයා වදාළ සේක. උන්වහන්සේ වනාහි එක්තරා පිටිසර ගමෙක විහාරයක් කරවා වාසය කරන සේක. සිත්කලු විහාරයකි. ගල් තලාවක් මත පිහිටියේය. ඇමදීමට ඇත්තේ සුළු ප්‍රමාණයකි. ජල පහසුව ඇත. ගොදුරු (දානය ලැබෙන) ගමද නුදුරෙහි ඇත. සතුටෙන් මිනිස්සු දන් දෙති. ඉක්බිති එක් භික්‍ෂු නමක් චාරිකාවෙහි හැසිරෙමින් ඒ විහාරයට වැඩියේය. එහි නේවාසික තෙරුන් වහන්සේ ආගන්තුක භික්‍ෂුවට ආගන්තුක වත් දක්වා පසුදින උන්වහන්සේත් රැගෙන ගමට පිඬු පිණිස පිවිසියහ. මිනිස්සු ආගන්තුක භික්‍ෂුවට දානය දී හෙට දිනටත් ආරාධනා කළාහුය. ආගන්තුක භික්‍ෂුව කීපදිනක් වළඳා එක් උපායකින් නේවාසික භික්‍ෂුව රවටා නෙරපා මේ විහාරය ගන්නෙමියි සිතුවේය. ඉක්බිති නේවාසික තෙරුන්ට උපස්ථාන පිණිස පැමිණි ආගන්තුක භික්‍ෂුව ඇවැත්නි, බුද්ධ උපස්ථානය නොකළෙහිදැයි විමසීය. ස්වාමීනි, මේ විහාරය රැකබලා ගන්නා කෙනෙකු නැති නිසා මම නොගියෙමියි කීය. ආගන්තුක භික්‍ෂුව නුඹවහන්සේ බුද්ධෝපස්ථානයට ගොස් එනතුරු මම විහාරය රැකබලා ගන්නෙමියි කීය. හොඳමයි ස්වාමීනියි කියූ නේවාසික භික්‍ෂුව මම එනතුරු තෙරුන් වහන්සේට අවශ්‍ය දේ සපයා රැකබලා ගන්නා ලෙස මිනිසුන්ට කියා ගියේය.
එතැන් පටන් ආගන්තුක භික්‍ෂුව නේවාසික භික්‍ෂුවගේ මේ මේ දොස් ඇතැයි කියා ඒ මිනිසුන් බිඳවීය. නේවාසික භික්‍ෂුවද බුදුරජාණන් වහන්සේට වැඳ ආපසු වැඩියේය. එවිට ආගන්තුක භික්‍ෂුව උන්වහන්සේට සේනාසනය නුදුන්නේය. උන්වහන්සේ එක් ස්ථානයක වාසයකොට පසුදින පිඬු පිණිස ගමට වැඩියහ. මිනිස්සු සතුටු සාමීචි කතාවක් වත් නොකළාහුය. උන්වහන්සේ පසුතැවිලි වී නැවත ජේතවනාරාමයට වැඩම කර ඒ කාරණය භික්‍ෂූන් වහන්සේලාට සැලකර සිටියහ. උන්වහන්සේලා දම්සභාවෙහිදී ඇවැත්නි, අසවල් භික්‍ෂුව අසවල් නම් භික්‍ෂුව විහාරයෙන් නෙරපාහැර තමා එහි වාසය කරතියි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ මහණෙනි, මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි, මහණෙනි, දැන් පමණක් නොව පෙරත් ආගන්තුක භික්‍ෂුව ඔහු වාසය කරන ස්ථානයෙන් නෙරපා හරින ලදැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.