6. සමුද්ද ජාතකය (296)
කොනායං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක් උපනන්ද තෙරුන් වහන්සේ අරබයා වදාළ සේක. හෙතෙම බොහෝ අනුභව කරන මහත් තෘෂ්ණා ඇත්තෙක් විය. ගැල් පුරවා ප්‍රත්‍යය ලැබුණත් සෑහීමට පත් කරන්නට නොහැකිය. වස් ආරාධනා කරන කාලයේදී දෙතුන් විහාරයක වස් එළඹ ඒ තැන්වලින් එක් ආරාමයක පාවහන් තබයි. එක් තැනක සැරයටියද තවත් තැනක පැන් කෙණ්ඩියද තබා එක් ආරාමයක තමන් වාසය කරයි. ජනපදවල විහාරවලට ගොස් වටිනා පිරිකර ඇති භික්‍ෂූන් දැක අරියවංස කථාව දේශනාකොට උන්වහන්සේලාට පාංශුකූල සිවුරු ගන්නට සලස්වා තමා උන්වහන්සේලාගේ සිවුරු ගනියි. මැටි පාත්‍රා ගන්නට සලස්වා කැමති කැමති පාත්‍ර ද තැලිද ගනියි. ඒවා එකතුකර යානාවක පුරවාගෙන ජේතවනාරාමයට එයි. ඉක්බිති එක්දිනක භික්‍ෂූහු දම්සභාවෙහිදී “ඇවැත්නි, උපනන්ද ශාක්‍ය පුත්‍රයා බොහෝ අනුභව කරන මහත් තෘෂ්ණා ඇත්තෙකි. අනුන් හට ප්‍රතිපත්ති කියා ශ්‍රමණ පිරිකර යානාවක පුරවාගෙන එන්නේය”යි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි, මම මෙහි එන්නට පෙර නුඹලා කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා, මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි, උපනන්ද විසින් අයුක්තියක් කරන ලදි. අනුන්ට අරියවංස දේශනාව කරන තැනැත්තා විසින් පළමුකොට තමා විසින් ස්වල්පයක් කැමති වීමෙන් අල්පේච්ඡ පුද්ගලයෙකු වී පසුව අන් අයට අරියවංස ප්‍රතිපදාව කීම සුදුසුයයි,
අත්තානමෙව පඨමං පතිරූපෙ නිවෙසයෙ,
අථඤ්ඤමනුසාසෙය්‍ය නකිලිස්සෙය්‍ය පණ්ඩිතො
යන ගාථාව කීය.
තමන් පළමුව සුදුසු ගුණයෙහි පිහිටා සිට අනතුරුව අන් අයට ඒ ගැන අනුශාසනා කරන්නේය. එසේ කරන නුවණ ඇත්තා නොකෙලෙසෙයි.
මේ ධම්මපදයේ ගාථාව දේශනාකොට උපනන්ද භික්‍ෂුවට රහා මහණෙනි, උපනන්ද භික්‍ෂුව දැන් පමණක් මහත් ආසා ඇත්තේ නොවෙයි. පෙරත් මහමුහුදේ ජලය රැකගත යුතුයයි සිතීයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ මුහුදට අරක් ගත් දෙවියෙක් වී උපන්හ. ඉක්බිති එක් දියකාවෙක් මුහුද මතුපිටින් යන්නේ මුහුදෙහි ජලය පමණට බොන්න. ආරක්ෂා කරගෙන බොන්නැයි මාලු සමූහයා හා කුරුළු සමූහයා වළක්වමින් හැසිරෙයි. ඒ කථාව දැක මුහුදු දෙවියා,
කොනායං ලොණතොයස්මිං සමන්තා පරිධාවති,
මච්ඡෙ මකරෙ ච වාරෙති ඌමිසුච විහඤ්ඤති
යන පළමු ගාථාව කීය.
ලවණ ජලයෙහි හාත්පස දුවයි. මාලුවන් හා මෝරුන් වළකයි. රැළෙහිද ගැටේ. මේ කවරෙක්ද?
එහි, කොනායං (කොනු අයං) යනු මේ කවරෙක්ද?
ඒ අසා මුහුදු කපුටා (දියකාවා),
අනන්තපායී සකුණො අතිත්තොති දිසාසුතො,
සමුද්දං පාතුමිච්ඡාමි සාගරං සරිතං පතිං
යන දෙවන ගාථාව කීය.
ගංගාවන්ට ස්වාමී වූ මුහුද බොන්නට රිස්සෙමි. එහෙයින් අනන්තපායී පක්‍ෂියා වෙමි. සපුරන්නට නොහැකි ආසාවෙන් යුත් හෙයින් අතෘප්ත යයි දිශාවන්හි ප්‍රසිද්ධ වෙමි.
එහි අර්ථය, මම අනන්ත සාගරය බොන්නට කැමැත්තෙමි. එහෙයින් අනන්තපායී නාම සකුණො අනන්තපායී නම් පක්‍ෂියා වෙමි. පිරවිය නොහැකි තණ්හාවෙන් යුක්ත බැවින් අනිත්තො අතෘප්තිමත් කෙනෙකැයිද මම දිසාසුතො (ඒ ඒ දිශාවල අයට අසන්නට ලැබීමෙන්) ප්‍රකට වූවෙක් වෙමි. ඒ මම මේ මුළු සමුද්‍රය සුන්දර වූ රත්නවලට ආකරයක් වන බැවින් හෝ සාගර නම් සෘෂිවරයා විසින් සාරන ලද බැවින් සාගර සාගරය නම් වූ ගංගාවන්ට ස්වාමියෙක් (අධිපතියෙක්) වූ බැවින්. සරිතං පතිං පාතුමිච්ඡාමි ගංගාවන්ට ස්වාමී වූ (ගඟපති වූ) සමුද්‍රය බොන්නට කැමැත්තෙමි.
එය අසා සමුද්‍ර දේවතාවා,
ස්වායං හායති චෙව පුරතෙ ච මහොදධි,
නාස්ස නායති පීතන්තො අපය්‍යො කිර සාගරො
මේ සාගරය දිය බස්නා වේලාවෙහි බසී. වැඩෙන වේලාවෙහි පිරෙයි. සාගරය බීමෙන් අඩු නොවේ. (පානය කොට අවසන් කළ නොහැකි) හෙයින් සයුර ‘අපෙය්‍ය’ නම් වේ.
එහි, ස්වායං යනු ඒ මේ සාගරය. හායතිචෙව යනු ජලය පසුබසින වේලාවෙහි අඩු වේ. (බාදිය) නික්මෙන වේලාවෙහි පිරෙයි. (වඩදිය) නාස්ස නායති යනු ඉදින් මේ මහ මුහුදෙහි ජලය සියලු ලෝ වැසියන් පානය කළත් මෙයින් මෙපමණක් ජලය බීවේ යයි කෙළවරක් නොපෙනේ. අපෙය්‍යො කිර යනු මේ සාගරය කිසිවෙකු විසින් ඉවර වෙන්න බොන්නට නොහැකිය.
මෙසේද කියා වනාහි බියජනක රූපයක් දක්වා මුහුදු කපුටා පලවා හැරියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල මුහුදු කපුටා උපනන්දය. දේවතාවා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
7. කාමවිලාප ජාතකය (297)
උච්චෙ සකුණ ඩෙමාන යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක් පැරණි භාර්යාවකගේ පෙළඹවීමක් අරබයා වදාළ සේක. වර්තමාන කථා වස්තුව පුප්ඵරත්ත ජාතකයෙහි මතු සඳහන් වන්නේය. අතීත කථාව ඉන්‍ද්‍රිය ජාතකයෙහි මතු සඳහන් වන්නේය. ඒ පුරුෂයා වනාහි පණපිටින් උලෙහි තැබූහ. එහි හුන්නා වූ ඔහු අහසින් යන කපුටෙකු දැක පළමුකොට ඒ දරුණු වේදනාවවත් ගණන් නොගෙන ප්‍රිය බිරිඳට හසුනක් යැවීමට කපුටාට අමතමින් මේ ගාථා කීවේය.
උච්චෙ සකුණ ඩෙමාන පත්තයාන විහංගම,
වජ්ජාසි ඛො ත්‍වං චාමූරුං චිරං ඛො සා කරිස්සති
ඉදං ඛො සා නජානාති අසිංසත්තිඤ්ච ඔඩ්ඩිතං,
සා චණ්ඩී කාහති කොධං තං මෙ තපති නො ඉධ
එස උප්පල සන්නාහො නික්ඛමුස්සීසකෙ කතං,
කාසිකඤ්ච මුදුං වත්‍ථං තප්පතු ධනකාමිකා
යන මේ ගාථා කීවේය.
ඉහළ පියාඹන්නා වූ පක්‍ෂිය, පියාපත් යානය කොට ඇති පක්‍ෂිය, ඔබ කෙසෙල් කඳක් වැනි (සිනිඳු, පැහැපත්) කලවා ඇති තැනැත්තියට මා උලෙහි උන් බව කියව. ඈ බොහෝ කලක සිට මා ගැන සිහි කරයි.
කඩුවට හා තෙබට (උල් ආයුධයෙන්) සමාන වූ උලට මා නංවන ලද බව ඕ තොමෝ නොදනී. චණ්ඩ වූ ඇය මට ක්‍රෝධ නොකරයි. ඇගේ කෝපය මා තවයි. උල තැබීමෙන් ඇතිවන දුක මා නොතවයි.
කොට්ටය ළඟ තැබූ උපුලක් සමාන මේ සන්නාහයද රන් පහකින් කළ මුද්දද මොළොක් සළු දෙකද මේ වස්තු කැමති වන මාගේ ප්‍රිය බිරිඳ මෙයින් තෘප්තිමත් වේවා!
එහි, ඩෙමාන යනු යන, හැසිරෙන, පත්තයාන යනු කපුටාටම අමතයි. විහංගම යනුද එසේය. ඌ වනාහි පියාපත් යානාවක් කොට යන බැවින්, පත්තයාන නම් ද අහසෙහි ගමන් කරන බැවින් ‘විභංගම’ නම්ද වෙයි. වජ්ජාසි යනු කියන්නෙහිය. චාමූරුං යනු කෙසෙල්කඳක් සමාන වූ (සිනිඳු, පැහැපත්, උඩසිට පහළට සිහින් වූ) කළවා ඇති බිරිඳට මා උළමත සිටින බව කියන්න. චිරං ඛො සා කරිස්සති යනු ඈ මේ සිද්ධිය නොදන්නා බැවින් මගේ පැමිණීමට බොහෝ කල්ගත වන්නේය, පිටව ගිය මගේ ප්‍රිය සැමියාට බොහෝකල් ගතවිය. (එහෙත්) නොඑන්නේයයි මෙසේ සිතන්නීය යන අර්ථයි.
අසිං සත්තිඤ්ච යනු කඩුවට සමාන නිසාද තෙබට (අණින ආයුධය) සමාන නිසාද උල සඳහාම කියයි. එය වනාහි ඔහුට තැති ගැන්වීම පිණිස අටවන ලද තබන ලද එකකි. චණ්ඩී යනු කිපෙනසුළු, කොධං යනු ඉතා පමාවන්නේ යයි මා කෙරෙහි ක්‍රෝධ කරන්නේය. තං මේ තපති යනු ඇගේ ඒ කිපීම මාව තවයි (මට තැවීමක් ඇති කරයි). නො ඉධ මෙහි මේ උල මාව නොතවයි යනුවෙන් දක්වයි.