4. ජම්බුඛාදක ජාතකය (294)
කොයං බින්‍දුස්සරො වග්ගු යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දේවදත්ත තෙරුන් වහන්සේ සහ කෝකාලික තෙරුන් වහන්සේ අරබයා වදාළ සේක. එකල්හි දෙව්දත් තෙරුන් වහන්සේ පිරිහුණු ලාභ සත්කාර ඇති කල්හි කෝකාලික තෙර නිවෙස්වලට ගොස් දෙව්දත් තෙරුන් වහන්සේ මහා සම්මත පරම්පරාවෙහි ඔක්කාක රාජ වංශයෙහි උපන් නොබිඳුණු ක්‍ෂත්‍රිය වංශයෙහි වැඩුණාහ. ත්‍රිපිටකධාරීය, ධ්‍යානලාභීය, මිහිරි කථා ඇති ධර්ම කථිකයෙකි. ඒ නිසා උන්වහන්සේට දන් දෙන්න කළයුතු දේ කරන්න යනුවෙන් දෙව්දත් තෙරුන්ගේ ගුණ වර්ණනාව කියයි. දෙව්දත් තෙරුන් වහන්සේද කෝකාලික තෙරුන් වහන්සේ උසස් බමුණු කුලයෙන් නික්ම පැවිදිව බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකි. ධර්ම කථිකයෙකි. උන්වහන්සේට දන් දෙන්න උපකාර කරන්න යනුවෙන් කෝකාලික තෙරුන්ගේ ගුණ වර්ණනාව කියන සේක. මෙසේ ඔවුනොවුන්ගේ වර්ණනාව කියා කුල ගෙවල වළඳමින් හැසිරෙත්. ඉක්බිති එක් දිනක් භික්‍ෂූහු දම්සභාවෙහිදී “ඇවැත්නි, දේවදත්ත, කෝකාලික දෙනම ඔවුනොවුන්ගේ නැති ගුණ කියා වළඳමින් හැසිරෙති” යනුවෙන් කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මා එන්නට පෙර කවර කථාවකින් යුතුව මෙහි සිටියාහුදැයි විචාරා, මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! ඔවුන් දැන් පමණක් නැති ගුණ කියා නොවළඳති. පෙරත් වැළඳූහයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ එක්තරා දඹ වනයක රුක් දෙවියෙක් වී උපන්හ. එහි එක් කපුටෙක් දඹ අත්තක හිඳිමින් දඹගෙඩි කයි. ඉක්බිති එක් හිවලෙක් අවුත් උඩ බලමින් කපුටා දැක මම මුගේ නැති ගුණ කියා දඹ කන්නෙමි නම් මැනවැයි සිතා උගේ වර්ණනාව කියමින්,
කොයං බින්‍දුස්සරො වග්ගු පවදන්තාන මුත්තමො,
අච්ඡුතො ජම්බුසාඛායං මොරච්ඡාපොව කූජති
යන මේ ගාථාව කීය.
බින්දුවක් මෙන් වටකුරු වූ ස්වර ඇති මිහිරි නාද ඇති හඬන්නවුන් අතුරෙන් උතුම් වූ ජම්බු අත්තක සිට මොණර පැටියෙකු සේ නාද කරන තැනැත්තා කවරෙක්ද?
එහි, බින්‍දුස්සරො යනු බින්දුවක් මෙන් වූ නොවිසුරුණා වූ පිඬු වූ ස්වරයෙන් යුක්ත වූයේ. වග්ගු යනු මොළොක් මිහිරි හඬ ඇති, අච්චුනො යනු ඉවත් නොවූයේ, මනාව හුන්නේ. මොරච්ඡාපොව කූජති යනු තරුණ මොණරකු සේ මිහිරි ස්වරයෙන් මේ නාද කරන්නේ කවරෙක්දැයි කියයි.
ඉක්බිති කපුටා හිවලාට පෙරළා ප්‍රශංසා කරමින්,
කුල පුත්තොව ජානාති කුල පුත්තෙ පසංසිතුං,
ව්‍යග්ඝච්ඡාපසරීවණ්ණො භුඤ්ජ සම්ම දදාමි තෙ
යන දෙවන ගාථාව කීය.
කුලපුතුන් පසසන්නට කුල පුතෙක්ම දනී. ව්‍යාඝ්‍ර පැටියෙකුට සමාන පැහැයෙන් යුත් මිතුරු ඔබ (දඹ) අනුභව කරන්න. ඔබට දෙමි.
එහි, ව්‍යග්ඝච්ඡාපසරීරවණ්ණො යනු මට ඔබ ව්‍යාඝ්‍ර පැටියෙකුට සමාන පැහැයෙන් යුක්ත වූවෙක් ලෙස වැටහෙයි. හිතවත, එහෙයින් ඔබට ව්‍යාඝ්‍ර පැටියෙකුට සමාන පැහැයෙන් යුක්ත කෙනෙකැයි කියමි. භුඤ්ජසම්ම දදාමි තෙ යනු යහලුව, කැමැති තාක් ඉදුණු දඹගෙඩි කන්න මම ඔබට දෙමියි කීය.
මෙසේද කියා අඹ දත්ත සොළවා ගෙඩි බිම හෙලුවේය. ඉක්බිති ඒ දඹ ගසෙහි උපන් දෙවියා නැති ගුණ කියා දඹ කන ඒ දෙදෙනා දැක
චිරස්සං වත පස්සාමි මුසාවාදී සමාගතෙ,
වන්තාදං කුණපාදඤ්ච අඤ්ඤමඤ්ඤං පසංසකෙ
යන තුන්වන ගාථාව කීය.
බොරු කියන, හමුවූ කල ඔවුනොවුන් ප්‍රශංසා කරගන්නා වූ වමනය කන කපුටා ද මළකුණු කන හිවලා ද බොහෝ කලකින් දකිමි.
එහි, වන්නාදං යනු අනුන්ගේ වමනය කළ බත් කන. කුණපාදඤ්ච යනු මළසිරුරු කන්නා වූ හිවලාද, මේ ගාථාව කියා ඒ දෙවියා භයානක රූපයක් පෙන්වා ඔවුන් එතැනින් පළවා හැරියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව ගළපා නිමාවට පත්කළ සේක. එකල හිවලා දෙව්දත්ය. කපුටා කෝකාලිකය. රුක්ඛ දේවතාවා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
5. අන්ත ජාතකය (295)
උසභස්සෙව තෙ ඛන්‍ධො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ එහිම වැඩවාසය කරනසේක් ඒ තෙරුන් වහන්සේලා දෙනමම අරබයා වදාළ සේක. වර්තමාන කථාව පෙර පරිදිමය.
අතීතයේ වනාහි බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ එක් ගව් සීමාවක එරඬු ගසෙක දෙවියෙකු වී උපන්හ. එකල එක් ගමෙක මළා වූ මහලු ගවයෙකු බැහැරකොට ගම්සීමාවෙහි එරඬු වනයෙහි ඉවත දැමූහ. එක් හිවලෙක් අවුත් ඌගේ මස් කෑවේය. එක් කපුටෙක් අවුත් එරඬු ගසෙහි සැඟවුනේ හිවලා දැක මම මොහුගේ නැති ගුණ කියා මස් කන්නේ නම් යෙහෙැකයි සිතා
උසභස්සෙව තෙ ඛන්‍ධො සීහස්සෙව විජම්භිතං,
මිගරාජ නමොත්‍යත්‍ථු අපි කිඤ්චි ලභාමසෙ
යන පළමු ගාථාව කීය.
නුඹේ කඳ (ශරීරය) වෘෂභ රාජයෙකුගේ වැනිය. ඇඟ කිළිපෙලීම සිංහයෙකුගේ වැනිය. මෘගරාජය, තොපට නමස්කාර වේවා! අපටත් යමක් ලැබෙනවා නම් මැනවි.
එහි, නමොත්‍යත්‍ථු යනු (නමො තෙ අත්‍ථු) ඔබට නමස්කාර වේවා!
ඒ අසා හිවලා,
කුල පුත්තොව ජානාති කුලපුත්තෙ පසංසිතුං,
මයූර ගීව සංකාස ඉතො පරියාහි වායස
යන දෙවන ගාථාව කීය.
කුලපුත්‍රයන් පසසන්නට කුලපුත්‍රයෙක්ම දනී. මොණරකුගේ බෙල්ල වැනි බෙල්ලක් ඇති කවුඩාණෙනි, මෙහි එන්න.
එහි, ඉතො පරියාහි යනු එරඬු ගසෙන් බැස මා සිටින මෙතැනට අවුත් මස් කන්නැයි කියයි.
ඒ දේවතාවා ඔවුන්ගේ ක්‍රියාව දැක ඒ රුක් දේවතාවා
මිගානං කොත්‍ථුකො අන්තො පක්ඛීනං පන වායසො,
එරණ්ඩො අන්තො රුක්ඛානං තයො අන්තාසමාගතා
යන තෙවන ගාථාව කීය.
මෘගයන් අතුරෙන් හිවලා හීනය. පක්‍ෂීන් අතුරෙන් කවුඩා හීනය. වෘක්‍ෂයන් අතුරින් එරඬුගස හීනය. හීනයෝ තිදෙනෙක් එක්වූහ.
එහි, අන්තො යනු හීන පහත් වූ.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල සිවලා දෙව්දත්ය. කපුටා කෝකාලිකය. රුක්දෙවියා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.