3. කායවිච්ඡන්ද ජාතකය (293)
ඵුට්ඨස්ස මෙ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක්තරා පුරුෂයෙකු අරබයා වදාළ සේක. සැවැත්නුවර වනාහි එක් පුරුෂයෙකු අරබයා වදාළ සේක. සැවැත්නුවර පාණ්ඩු රෝගයෙන් පෙළෙන එක් පුරුෂයෙක් වෙදුන් විසින් ප්රතික්ෂේප කරන ලද්දේය. ඔහුගේ අඹුදරුවෝ කවරෙකු මොහුට පිළියම් කරන්නට හැකිවෙත්දැයි සිතූහ. මගේ මේ රෝගය සුව වුවහොත් මම පැවිදි වන්නෙමි යන අදහස් ඔහුට ඇතිවිය. ඔහු කීප දිනකින්ම කිසියම් යෝග්ය ආහාර ලබා නිරෝගී වී දෙව්රමට ගොස් පැවිද්ද ඉල්ලුවේය. ඔහු බුදුරජාණන් වහන්සේ සමීපයෙන් පැවිද්ද හා උපසම්පදාව ලැබ නොබෝ දිනකින්ම රහත් බවට පැමිණියේය. ඉක්බිති එක්දිනක්, භික්ෂූහු “ඇවැත්නි, අසවල් පාණ්ඩු රෝගියා එම රෝගයෙන් සුවපත්ව පැවිදි වන්නෙමියි සිතා පැවිදි බවට ද පත්ව රහත් බවටද පැමිණියේය යනුවෙන් කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ වැඩමවා මහණෙනි! කවර කථාවකින් යුතුව මෙහි දැන් සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යැයි කී කල්හි මහණෙනි, මොහු පමණක් නොව පෙර පණ්ඩිතයෝද මෙසේ කියා රෝගය සුවපත්ව පැවිදිව තමන්ගේ දියුණුව ඇතිකර ගත්තාහුයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ බමුණු කුලයෙහි ඉපදී වැඩිවියට පැමිණියේ පවුල් ජීවිතයට පත්ව වසන කල්හි පාණ්ඩු රෝගියෙක් වූහ. වෛද්යවරුද සුවපත් කරන්නට අසමත් වූහ. අඹුදරුවෝද පසුතැවිලි වූහ. ඔහු මේ රෝගය සුව වුවහොත් පැවිදි වන්නෙමියි සිතා ගැලපෙන කිසියම් දෙයක් ලැබ (අනුභව කොට) සුවපත් වී හිමවතට ඇතුල් වී තවුස් පැවිද්දෙන් පැවිදි විය. ඔහු සමාපත්ති හා අභිඥා උපදවාගෙන ධ්යාන සුවයෙන් වාසය කරමින් මෙතෙක් කලකට මෙබඳු සැපයක් නොලද්දෙමියි සතුට පළකරමින්,
පුට්ඨස්ස මෙ අඤ්ඤතරෙන ව්යාධිනා, රොගෙන බාළ්හං දුඛිතස්ස රුප්පතො,
පරිසුස්සති ඛිප්පමිදං කළෙබරං, පුප්ඵං යථා පංසුනි ආතපෙ කතං
පරිසුස්සති ඛිප්පමිදං කළෙබරං, පුප්ඵං යථා පංසුනි ආතපෙ කතං
අජඤ්ඤං ජඤ්ඤං සංඛාතං අසුචිං සුචිසම්මතං,
නානා කුණප පරිපූරං ජඤ්ඤරූපං අපස්සතො
නානා කුණප පරිපූරං ජඤ්ඤරූපං අපස්සතො
ධිරත්ථු තං ආතුරං පූතිකායං, ජෙගුච්ඡියං අසුචිං ව්යාධි ධම්මං,
යත්ථප්පමත්තා අධිමුච්ඡිතා පජා, හාපෙන්ති මග්ගං සුගතූප පත්තියා
යත්ථප්පමත්තා අධිමුච්ඡිතා පජා, හාපෙන්ති මග්ගං සුගතූප පත්තියා
යන මේ ගාථා කීය.
එක්තරා රෝගයකින් දැඩි පීඩාවට පත් වූ නිසාම දුකට පත්වූ පීඩාවට පත්වූ මාගේ ශරීරය අව්ව වැටී ඇති වැල්ලෙහි දමන ලද මලක් මෙන් වහා මැලවී ය යි.
මනාප නොවූ (එහෙත් මෝඩයන් විසින්) මනාප යැයි සැලකෙන අපවිත්ර වූ (එහෙත්) පවිත්ර යැයි සම්මත වූ කේශාදී නොයෙක් කුණපයෙන් පිරුණු මේ ශරීරය නුවණින් නොදක්නා හට මනාප වශයෙන් වැටහෙන්නේය.
(රාගාදී කෙලෙස් නිසා) මේ ශරීරයෙහි අතිශයින් මුළා වූ සත්ත්වයෝ සුගතියෙහි ඉපදීමට ඇති මාර්ගය නැතිකර ගනිති. එසේ වූ නිතර ගිලන් වූ පිළිකුල් කළයුතු වූ අපවිත්ර වූ ව්යාධි ස්වාභාවය ඇති මේ කුණු කයට නින්දා වේවා!
එහි, අඤ්ඤතරෙන යනු අනූඅටක් රෝගයන් අතුරෙන් පණ්ඩුරෝගය නමැති එක් ව්යාධියකින්. රොගෙන යනු රිදෙන ස්වභාවයෙන් යුත් නිසා මෙසේ ලබන ලද නමින්. රුප්පතො යනු ගැටෙන බැවින්, පෙලෙන බැවින්. පංසුනි ආතපෙකතං යනු වාතයෙන් අව්වෙන් රත්වූ වැල්ලෙහි තබන ලද සියුමැලි මලක් වියැලී යන්නා සේ වියලී යන්නේය යන අර්ථයි.
අජඤ්ඤං ජඤ්ඤාසංඛාතං යනු පිළිකුල් වූයේ අමනාප වූයේම (එහෙත්) බාලයන්ගේ මනාපයට ලක්වූ, නානාකුණප පරිපූරං යනු කෙස් ආදී දෙතිස් කුණපයන්ගෙන් පිරුණා වූ, ජඤ්ඤරූපං අපස්සතො යනු නුවණින් නොබලන්නා වූ අඳබාල පුහුදුන් පුද්ගලයාට (මේ කුණපය) මනාප වූ යහපත් වූ ස්වරූප ඇති පරිභෝගයට සුදුසු ස්වභාවයෙන් යුක්ත වූ ශරීරයක් ලෙස වැටහෙයි. ඇසෙන් කබ ආදී වශයෙන් ප්රකාශ කරන ලද මේ ශරීරයෙහි ස්වභාවය බාලයන්ට (මෝඩයන්ට) නොවැටහෙයි.
ආතුරං යනු නිරන්තරයෙන් ගිලන් වූ. අධිමුච්ඡිතා යනු කෙලෙස් මුළාවෙන් අතිශයින් මුසපත් වූ. පජා යනු අන්ධ බාල පුහුදුන් ජනයා. හාපෙන්ති මග්ගං සුගතූපත්තියා යනු මේ කුණු ශරීරයෙහි ඇලී ඇලී සිටියවුන් බවට පත්ව අපාය මාර්ගය පුරවමින් දෙව්මිනිස් වශයෙන් ප්රභේද ඇති සුගතියෙහි ඉපදීමේ මාර්ගය පිරිහෙළා ගනිති.
මෙසේ මහා සත්ත්වයන් වහන්සේ නොයෙක් ආකාරයෙන් අපිරිසිදු බව ද නිතර රෝගාබාධවලට ගොදුරු වන බව ද පරීක්ෂා කරමින් කයෙහි කලකිරී දිවි ඇතිතෙක් සතර බඹ විහරණ වඩා බඹලොව උපන් සේක.