2. සුපත්ත ජාතකය (292)
බාරාණස්ස මහාරාජා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් බිම්බා දේවියට සැරියුත් මහතෙරුන් වහන්සේ විසින් ගෙනවිත් දෙන ලද රෝහිත මාලු, හා අළුත් ගිතෙල් මිශ්‍රවූ ඇල්හාලේ බතක් අරබයා වදාළ සේක. කථාවස්තුව මුලින් කියන ලද අභ්‍යන්තර ජාතකයේ කථා වස්තුවට සමානය. එකල්හි තෙරණියගේ උදර වාතය කිපුනේය. රාහුල තෙරුන් වහන්සේ සැරියුත් තෙරුන් වහන්සේට සැලකර සිටියහ. සැරියුත් මහතෙරුන් වහන්සේ රාහුල තෙරුන් ආසන ශාලාවෙහි වඩාහිඳුවා කොසොල් රජුගේ මාලිගාවට වැඩමවා රෝහිත මාලු සහ අළුත් ගිතෙල් මිශ්‍ර ඇල්හාලේ බත් ගෙනවුත් රාහුල තෙරුන්ට දුන්හ. උන්වහන්සේ මව් තෙරණියට දුන්හ. තෙරණිය ඒවා වැළඳූ මොහොතේම උදර වාතය සංසිඳුණේය. රජතුමා පුරුෂයන් යවා පරීක්‍ෂා කරවා එතැන් පටන් තෙරණියට එබඳු බත් දුන්නේය. ඉක්බිති එක්දවසක් භික්‍ෂූහු දම්සභාවෙහිදී ඇවැත්නි, දම්සෙනෙවි සැරියුත් මහරහතන් වහන්සේ තෙරණියට මෙබඳු වූ බොජුනකින් සංග්‍රහ කළ සේකැයි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි, කවර කථාවකින් යුතුව දැන් මෙහි සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! සැරියුත් රාහුල මාතාවට පැතූ දේ සපයා දුන්නේ දැන් පමණක් නොවේ. පෙරත් දුන්නේමැයි වදාරා අතීතය ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කපුටු යෝනියෙහි ඉපදී වැඩිවියට පත්ව කපුටන් අසූදහසකට නායක වූ සුපත්ත නම් කපුටු රජවූහ. කවුඩාගේ අගමෙහෙසිය වනාහි සුඵස්සා නම් කපුටිය වූවාය. සෙන්පතියා සුමුඛ නම් විය. හෙතෙම අසූ දහසක් කපුටන් පිරිවරන ලද්දේ බරණැස් නුවර ඇසුරුකොට වාසය කළේය. හෙතෙමේ එක්දිනක් සුඵුස්සා රැගෙන ගොදුරු සොයමින් බරණැස් රජුගේ මුළුතැන් ගෙයි වහළ උඩින් ගියේය. අරක්කැමියා රජතුමාට නොයෙක් ආකාර මස් මාලු ව්‍යඤ්ජන පිරිවරන ලද භෝජනය සපයා බඳුන් ටිකක් ඇර තබා උණුසුම නිවෙන තෙක් සිටියේය. සුඵස්සා මස් මාලු සුවඳ ආඝ්‍රාණය කොට රජබොජුන් කනු කැමතිව එදින නොකියා පසුදින එන්න සොඳුරිය! කෑම සෙවීම පිණිස යමුයි කියන ලදුව කිය න නුඹවහන්සේ යන්න. මට එක් දොළක් (ආසාවක්) ඇතැයි කියා කිනම් දොළදුකක්දැයි ඇසූ කල බරණැස් රජුගේ භෝජනය කනු කැමැත්තෙමියි කීවාය. මට එය යම් විදියකින් ලබා ගන්නට නොහැකි වී නම් ඒ නිසා ජීවිතය පරිත්‍යාග කරන්නෙම් දේවයන් වහන්ස යයි කීවාය. බෝසතාණන් වහන්සේ සිතමින් හුන්හ. සුමුඛ නම් සෙන්පතියා අවුත් මහරජතුමනි! නොසතුටු සිතින් සිටින්නේ ඇයිදැයි විචාළේය. කපුටු රජ ඒ කාරණය සැල කළේය. සෙන්පතියා, මහරජතුමනි, ඒ ගැන නොසිතන්නැයි ඒ දෙදෙනාම සනසා අද නුඹ වහන්සේ මෙහිම සිටිනු මැනවි. අපි බත් රැගෙන එන්නෙමුයි කියා ගියේය.
හෙතෙම කපුටන් රැස්කරවා ඒ කාරණය කියා එව් බත් ගෙනෙන්නෙමුයි කපුටන් සමග බරණැස් නුවරට පිවිස මුළුතැන් ගේ නුදුරෙහි කවුඩන් කොටස් කොටස් කොට ඒ ඒ තැන ආරක්ෂාව පිණිස තබා තෙමේ කවුඩු යෝධයන් අටදෙනෙකු සමග රජතුමාට බත්ගෙන යන වේලාව බලමින් මුළුතැන් ගෙයි වහළ මත හිඳ ගත්තේය. ඒ කපුටන්ට රජතුමාට බත් ගෙන යද්දී මම භාජන පෙරළන්නෙමි. භාජන වැටුණු කල්හි මගේ ජීවිතය නැත. (ඉතිරි නොවෙයි) නුඹලා අතරින් හතර දෙනෙක් කටපුරා බත්ද හතර දෙනෙක් මස් මාලුද ගෙන ප්‍රජාපතිය (දේවිය) සහිත කවුඩු රජතුමාව අනුභව කරවව්. සේනාපතියා කොහිදැයි ඇසූ කල්හි පසුව එති’යි කියන්නැයි කීය. ඉක්බිති අරක්කැමියා බත් හා ව්‍යඤ්ජන සම්පාදනය කොට කදෙහි තබාගෙන රජමැදුරට පිටත් විය. ඔහු රජමිදුලට ගියකල්හි කපුටු සෙන්පතියා කපුටන්ට සංඥාවක් දී ඉගිලී ගොස් අරක්කැමියාගේ පපුවෙහි වසා නියපොතුවලින් පහර දී හෙල්ලක් වැනි තුඩින් ඔහුගේ නාසය අගට පහරදී නැගිට පා දෙකින් ඔහුගේ මුහුණ වැසුවේය. රජතුමා සඳලුතලයේ සක්මන් කරමින් ලොකු වා කවුළුවෙන් බලා ඒ කපුටාගේ ක්‍රියාව දැක අරක්කැමියාට ශබ්දයක් කොට එම්බල අරක්කැමිය, භාජන විසිකොට කපුටාම අල්ලා ගන්නැයි කීවේය. ඔහු භාජන ඉවත දමා කපුටා දැඩිව අල්ලා ගත්තේය. රජතුමා (ඔහුට) මෙහි එන්නැයි කීය.
ඒ අවස්ථාවෙහිදී කපුටෝ ඇවිත් තමන් ඇති තරම් අනුභවකොට සෙස්ස කියන ලද ක්‍රමයට ගෙන ගියාහුය. ඉක්බිති සෙසු කපුටෝ ඇවිත් ඉතිරි ඒවා අනුභව කළහ. ඒ කපුටන් අටදෙනා ගොස් දේවිය සහිත රජතුමාට කැවූහ. සුඵස්සාවගේ දොළදුක සන්සිඳුනේය. අරක්කැමියා කපුටා රජතුමා වෙත ඉදිරිපත් කළේය. ඉක්බිති රජතුමා කපුටාගෙන් “එම්බා කපුට, තෝ මා ගැන සිතාවත් ලජ්ජාවට පත් නොවූයෙහිය. අරක්කැමියාගේද නාසය තුවාල කළෙහිය. බත් භාජනද බින්දේය. තමන්ගේ ජීවිතයද නොරැක්කෙහිය. කුමක් නිසා මෙබඳු ක්‍රියාවක් කළෙහිදැයි විමසීය. කපුටා කියන්නේ මහරජතුමනි, අපගේ රජ්ජුරුවෝ බරණැස් නුවර ඇසුරුකොට වසයි. මම ඔහුගේ සේනාපතියා වෙමි. රජුගේ සුඵස්සා නම් බිරිඳ දොළදුක් ඇතිව ඔබවහන්සේගේ භෝජනය කනු කැමැත්තීය. අපේ රජතුමා ඇගේ දොළදුක මට කීවේය. මම එහිදීම මගේ ජීවිතය පරිත්‍යාගකොට (ජීවිත ආශාව හැරදමා) ආවෙමි. දැන් මා විසින් ඇයට භෝජනය යවන ලදි. මගේ මනදොළ මුදුන් පැමිණියේය. මේ කාරණය නිසා මා විසින් මෙබන්දක් කරන ලදී යයි දක්වමින්,
බාරාණස්සං මහාරාජ කාකරාජා නිවාසිකො,
අසීතයා සහස්සෙහි සුපත්තො පරිවාරිතො